Tag: world

  • කලාව සමාජ නැඟිටීම් සඳහා මෙවලමක් ,ලෙබනනය අරගලය සහ කලාව

    කලාව සමාජ නැඟිටීම් සඳහා මෙවලමක් ,ලෙබනනය අරගලය සහ කලාව

    2019 ව‍සරේ ඔක්තෝබර් දාහත්වැනිදා ලෙබනනයේ ජනතාව, වෙන කිසි දිනෙක නොවූ වීරූ එකමුතු බවකින් යුතුව වීදි බැස්සේ, 1990 වසරේ හමුදා ගැටුම් වලින් පසු ලෙබනනයේ ස්ථාපිත වුණු දේශපාලනික හා ආර්ථික බල ව්‍යුහය අහෝසි කරන ලෙස එකම හඬින් බල කරමිනි. ඔවුහු ඒ වන විට දැඩි ආර්ථික දුෂ්කරතාවලින් හෙම්බත් වී සිටියහ. බො‍හෝ දෙනෙකුගේ රැකියා අහිමි වී තිබුණි, තවත් පිරිසකට නිවසේ කුලිය ගෙවා ගත නොහැකි නිසා උන් හිටි තැන් අහිමිවද, තවත් සමහරෙක්ට එදා‍ වේල පවා සරි කර ගැනීමට නොහැකි තත්වයක් ද උදා වී තිබුනි. එහෙත් ඔක්තෝබර් දාහත්වැනිදා ආණ්ඩුවට එරෙහි කෝපය එකවරම පුපුරායාමට ආසන්නතම හේතුව වූයේ, ලොව පුරා අන්තර්ජාලය ඔස්සේ නොමිලේ ලබා ගත හැකි ‘වට්ස්ඇප්’ ඇමතුම් සඳහා ලෙබනනය තුළ විශේෂ බද්දක් අය කිරීමට එවකට කැබිනට් මණ්ඩලය තීරණය කිරීම සමඟය.

    දීර්ඝ කාලයක් පීඩනය දරාගෙන සිට, එවැනි පසුබිමක් තුළ වීදි බැස්ස ජනතාව එතෙක් විඳි අසාධාරණකම් වලට එරෙහිව, අධ්‍යාපනය ලැබීමට, ‍සෞඛ්‍ය සේවාවන් ලැබීමට, වැඩ කිරීමට අයිතිය, අතුරුදහන් වූවන්ගේ පවුල් වලට සත්‍ය තොරතුරු දැනගැනීමට සහ නීතියේ පිළිසරණ පැතීමේ අයිතිය ඇතුළු මානව අයිතීන් ගණනාවක් ඇතුළත් සාධාරණ සමාජයක් ඉල්ලා සිටින්නට වුහ. කෙටියෙන් පවසතොත් සිවිල්, ආර්ථික, දේශපාලනික, සමාජ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මුලික දේශපාලනික හා සමාජ ව්‍යුහාත්මක වෙනස්කමක් ඔවුහු ඉල්ලා සිටියෝය.

    2019 වසරේ ඔක්තෝබර් දාහත්වැනිදා ලෙබනනය පුරා ඇරඹුනු උද්ඝෝෂණ රැල්ලත් සමඟ දුෂිත ආණ්ඩුව නිසා පීඩාවට පත් ජනතාව බීරූට් නගර මධ්‍යයේ අරගල කඳවුරක් නිර්මාණය කළ අතර ඔවුන් එහි පුරා මාස පහක් අඛණ්ඩව රැඳී සිටියේ, රට පුරා ඇලලී ගිය අරගල මානසිකත්වයකට උත්තේජනය සපයමිනි. 2020 වසරේ, මාර්තු මස වන විට, එම කඳවුරු භූමිය අතහැර ජනතාවට විසිර යාමට සිදු වූයේ කොරෝනා වසංගතය රට තුළ හිස එසවීමත් ආණ්ඩුව විසින් නිරෝධායන නීති දැඩි කිරීමත් නිසාය.

    බීරූට් නගරයේ ගොඩ නැඟුණු අරගල කඳවුරේත් රට පුරාත්, සාමාන්‍ය ජනතාව සමඟ අරගල භූමියට පැමිණි කලාකරුවන් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කලේත්, අරගලයට සහය දුන්නේත් තමන්ට හුරු පුරුදු කලා මාධ්‍යයන්ම භාවිතයට ගනිමිනි. එම නිසා සිත්තරුවන්, බිතු සිතුවම් නිර්මාණකරුවන්, ගායකයන්, නාට්‍යකරුවන් අරගල භූමියේ පමණක් නොව සමාජ මාධ්‍ය තුළින්ද පොදු අරගලකරුවාට මහත් ශක්තියක් සපයමින් රට පුරාම එකම අරගල මානසිකත්වයක් පවත්වා ගැනීමට සහය දුන්හ.

    මෙහි පහතින් දැක්වෙන්නේ “ලෙබනන අරගලය තුළ කලාව දේශපාලනික ආයුධයක් වූයේ කෙසේදැයි” යන සිරස්තලයෙන් යුතුව The newarab නම් වෙබ් අඩවියේ, 2019 ඔක්‍තෝබර් දාහත්වැනිදා ආරම්භ වුණු ලෙබනන ජන අරගලයට අවුරුද්දක් පිරෙන දා එනම් 2020 ඔක්තෝබර් මස දාසය වැනිදා පළවුනු ලිපියක සංක්ෂිපත පරිවර්තනයකි.

    ඔක්තෝබරයේ එක් දිනෙක, වැහි අන්ධකාරය විසින් ලෙබනනයේ අගනගරය වෙලා ගන්නා විට, තමාරා නසර්, එදා බීරූට් නගර මධ්‍යයේ පැවති විරෝධතාවට මුළු දවස පුරාම තම සහභාගීත්වය ලබා දී, සවස්කල සිය නිවෙසට යමින් සිටියාය.

    රේද්- එල්- සොල් චතුරස්‍රයේ පඩිපේලි නඟිමින් ඇය යන විට, එකවරම කිසියම් සිතුවිල්ලක් ඇය ගේ හිස මත කඩා පාත් වූයේය. “ අපි කොහේ යන්නෙමුද?” එදින පාරවල් වල අතුරු සිදුරු නැතිව එක් රැස් වූ සහ තමන්ගේ රටේ අනාගතය කොයිබට ගමන්කරනු ඇද්දැයි සිතූ බොහෝ ලෙබනන ජාතිකයන්ගේ සිත් තුළ වද දුන් ප්‍රශ්නය ඇය වදන් වලට පෙරළුවාය.

    2019 වසරේ ඔක්තෝබර් මස, ලෙබනන් ජාතිකයෝ සිය නිවසේ වලින් එළියට බැස වීථි පුරා උද්ඝෝෂණය කරන්නට පටන් ගත්හ. දිගු කාලයක් පුරා විඳවමින් සිටි රැකියා විරහිතභාවය, දුගීභාවය සහ අදූරදර්ශි කළමණාකරණයත්, දූෂණයත් නිසා කඩා වැටෙමින් තිබූ ආර්ථිකය තත්වයත් නිසා ඔවුහු දහස් ගණනින් බීරුට් සහ වෙනත් නගරවල එක් රැස් වූහ. ‍උද්ඝෝෂකයෝ ආරක්ෂක අංශ හා ගැටුනු අතර පාලක පංතිය ඔවුන්ගේ කෝපය සමනය කිරීමට උත්සාහ කලේ නිෂ්ඵල ප්‍රකාශ නිකුත් කරමින් සහ ප්‍රචණ්ඩත්වය යොදාගනිමිනි. ‍එම නිසා පතාක බැනර සේම, තාප්ප සහ ගොඩනැගිලි අරා නැඟි වීදි සිතුවම් එකවරම මතුවන්නට වූ අතර සමාජ මාධ්‍යය හරහා ඡායාරූප සහ චිත්‍ර විශාල වශයෙන් බෙදා හැරෙමින් ලෙබනන ජාතික කලාකරුවන්, විරෝධතාවේ හඩ තීව්ර කිරීම සඳහා ඔවුන්ගේ කලා කෞශල්‍යය උපරිමයෙන් වශයෙන් භාවිතා කරන්නට වූහ.

    තමාරා යනු එසේ තම කලා කුසලතාව විරෝධතාවය වෙනුවෙන් යොදාගත් ලෙබනන් කලාකාරියකි. ඔක්තෝබර් අරගලයේ පළමු වර්ෂ සැමරුමේ දී ඒ දෙස නැවත හැරී බලන ඇය, ඒ දිනවල වීථිවල පිරීගිය හැඟීම්, ආවේගයන් සහ සිතුම් පැතුම් ග්‍රහණය කොට ගැනීමට ඇය කැන්වසය අතට ගත් සැටි මෙසේ සිහිපත් කරන්නීය.

    “ඔක්තෝබර් දාහත්වැනිදා විරෝධතාවය පටන් ගැන්මේ සිටම, කලාව සමාජ නැඟීටීම් සඳහා මෙවලක් වූ බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. ඔවුන් මෙතෙක් කල් පැවසීමට බියෙන් සිටි ඔවුන්ගේ සමහර අදහස්, මහ හඬින් කෑ ගසා පවසන්න තරම් ඔවුන් දැන් නිර්භිත වෙලා තියෙනවා, කලාවේ සෑම ස්වරූපයක්ම, වචන වලින් හෝ සටන් පාඨ වලින් ප්‍රකාශ කරන්න නොහැකි කෝපයත්, අභිමානයත් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයන් බවට පත් වෙලා.”

    “මෙතෙක් කල් බිය නිසා නිහඬව පාලකයාගේ නොහැකියාව ඉවසා සිටීම ප්‍රතික්ෂේප කරමින්, අරගලය සියළු සීමා මායිම් සහ ප්‍රාකාර බිඳ දමමින් තිබුණා. අරගලය තුළ ඔවුන් නොසැලී සිටින බව දැනවීමටත්, විරෝධතාකරුවන්ගේ ශක්තිය පිළිබිඹු කිරීමටත් කලාකරුවන් නොබියව ඔවුන්ගේ කලාව යොදා ගනිමින් තිබුනා.” ඇය පවසන්නීය.

    අපි කොහේ යන්නෙමුද?

    ඔක්තෝබර් අරගලය නිසා විථි බැස තිබුනු මිලියන 2.5 ක් පමණ වූ, එනම් ලෙබනනයේ මුළු ජනගහණයෙන් අඩක් පමණ වූ ජනතාවක් නිසා රටේ සියළු ක්‍රියාවන් හදිසියේ ඇණ හිට තිබුණි.

    “හැම පාරක්ම අවහිර වෙලා, ආයතනවල වැඩ නැවතිලා, බැංකු වසා දමලා. මම බය වෙලා උන්නෙ, මේක කොහෙන් නවතීද කියන කාරණය ගැන” තමාරා සිහිපත් කරන්නීය.

    “විප්ලවීය සමයක නිර්මාණකරණයේ යෙදෙන කලාකාරියක් ලෙස නිතරම විරෝධතාවල බලසම්බන්නබව, එහි ජිවමයබව සහ අනාගතය පිළිබඳ තිබුණු අපේක්ෂාවන් උපරිමයෙන් ප්‍රකාශ කිරීම පිළිබඳ කිසියම් පීඩනයක මම උන්නෙ. එවැනි අදහස් තමයි මාධ්‍ය තුළ පුපුරා ගිහින් ජනතාවගේ ජීව ගුණය ආරක්ෂා කළේ. ඒත් මෙහි ආරම්භයේදී නම් මට ශක්තිමත් බවක්වත්, බලසම්පන්න බවක්වත් දැනු‍නේ නෑ.”

    ‘අපි කොයේ යන්නෙමුද’ ලෙස නම් කොට තිබුණු ඇයගේ සිතුවම තුළින් ඒ වැසිබර ඔක්තෝබර්යේ, ඒ දවසේ ඇයගේ රට කොයි දෙසට ගමන් කරමින් සිටින්නේ ද යන අවිනිශ්චිතතාව මනාව පිළිඹිබු වූයේය.

    “එළැඹීමට නියමිත වූ දේවලට සම්මුඛ වෙමින් මට අවශ්‍ය වුනා අප මුහුණ දෙමින් සිටි අවදානම්කාරී ස්වභාවයත්, මා තුළ තිබුණු අවිනිශ්චිතතාවත් අනෙක් අය සමඟ බෙදා ගන්න. ඒත් ඒවගේම මට අවශ්‍ය වුනා උද්ඝෝෂකයන් ඔවුන්ගේ හඬ ඇසෙනු වස් නගර චතුරස්‍රවල ඔවුන් කෑ මොර දෙද්දී, ඒ මේ අරගලයේ ආරම්භක ‍මොහොත නිසා ඔවුන්ගේ ක්‍රියාවන් පිලිබඳ නැවත සිතා බලන්න, ඒවගේම ඔවුන් ඉල්ලා සිටින්නේ කුමක්ද යන්න පිළිබඳව තව තවත් සිතන්න ඔවුන්ව දිරිමත් කරවන්න”

    විරල එකමුතු බව

    ලෙබනනය වෙලාගෙන තිබුනේ කල්ලිවාදී බෙදීම් වලිනි. එක් එක් කණ්ඩායම් ලෙලවූයේ ඔවුන්ගේම කොඩියකි. එහෙත් ලෙබනනයේ කොඩිය අතැති තරුණ ජනතාව යනු විරල දසුනකි. චිත්‍ර ශිල්පිනියක වන ඇලෙක්සැන්ද්‍රා හෙලවු එම පුදුම එළවනසුළු දර්ශනය සුබ අනාගතයක පෙරනිමිත්තක් ලෙස දුටුවාය.

    “ලෙබනනයේ විවිධ සමාජ පසුබිම්, විවිධ ආගම් නියෝජනය කරන සෑම පරම්පරාවකටම අයිති ලෙබනන් ජාතිකයන් අරගලය තුළ දැකීම විසින් ඔප්පු කරනු ලැබුවා, ඔවුන් තවදුරටත් කල්ලිවාදී ලෙස සිතීම අත්හැර ඇති බව.”

    ඇලෙක්සැන්ද්‍රා තවදුරටත් මෙසේ පවසනවා.

    “කල්ලිවාදය තමයි රට මේ තත්වයට පත් කළේ, බලලෝභී දේශපාලකයන් විසින් ගොඩනඟන ලද එම කෘතීම ප්‍රාකාරය බිඳ දමමින් සියළුදෙනාම එකම අරමුණකට වැඩ කිරීමෙන් ලෙබනනය නැවත ගොඩනඟන්න පුළුවනි”

    ඇලෙක්සැන්ද්‍රා විසින් රටේ අලුතින් ඇතිවුණු එක්සත්භාවය කියා පෑමට ඈ ‘Uni(ca)ted’ නම් සිතුවම්ක් නිර්මාණය කළාය. එය ඈ නිර්මාණය කලේ ලෙබනනය තුළ මිලදී ගැනීමට ඇති Unica නම් සුප්‍රසිද්ධ චොක්ලට් නිශ්පාදනයක වෙළඳ නාමය ඇසුරිනි. එම නිර්මාණය තුළින් ඇය 2019 විප්ලවයේදී, දූෂිත පාලක පංතියට එරෙහිව පැන නැඟි එක්සත්භාවය, සහයෝගීතාව සහ එකමුතුකම සංකේතවත් කළාය.

    “සැබවින්ම ජනතාවගේ සිතුවිලි සහ හැඟීම්, වීදියේ සහ සමාජ මාධ්‍යයන් තුළ පහසුවෙන් බෙදා ගැනීමේ සහ පහසුවෙන් අවබෝධකරගැනීමේ අරමුණින් නිරූපණය කිරීමේදී, කලාවේ සියළුම ස්වරූපයන් ඉතා වැදගත් මෙහෙයක් ඉටු කලා” ඇය පවසන්නීය.

    “පෙරදී ලංවීමටවත් සිතිය නොහැකි පාලක පිරිසක් සමච්චලයට ලක් කිරිම මඟින්, පීඩනයට පත් වුණු ජනතාවකගේ හැඟුම්, සිතුවිලි නිදහසේ ප්‍රකාශයට පත් වූණා, ඔවුන් එම පාලකයන්ට නොබියව ආණ්ඩුවෙන් ඉවත්වන්නැයි බල කළා, එය සැබවින්ම සුලු පිරිසක් විසින් පාලනය කරන ලබන දූෂිත ලෙබනන පාලනයට එරෙහිව සිදුවුනු ප්‍රබල විරෝධයක්”

    පින්සල් තුඩේ විප්ලවය

    ඔක්තෝබර් නැඟිටීම තවත් පසෙකින් මහජන අවකාශ තුළ සහ විරෝධතාවන් පැවති නගර චතුරස්‍රවල බිතුසිතුවම් බහුල ලෙස පැන නැඟීමට හේතුවක් විය. අවසන් ජයග්‍රහණය දක්වා විරෝධතාව පවත්වාගැනීමට අධිෂ්ඨාන ශක්තිය සපයමින්, ලෙබනන ජාතික රොවුලා අබ්දෝ නම් සිත්තරිය විසින් අඳින ලද බිතු සිතුවම් එම අරගල සමයේ ඉ‍තා ජනප්‍රියත්වයට පත් වූයේය.

    ඇය විසින් අඳින ලද “අපි පසු කරන්නෙමු” ලෙස නම් කරන ලද චිත්‍රයේ දැක්වෙන්නේ විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට ඇතුළුවීම වැළැක්වීම සඳහා එය වටා පාලන අධිකාරිය විසින් තනන ලද කොන්ක්‍රීට් ප්‍රාකාර අත්දෙකකින් වැර යොදා මෑත් කරන අයුරකි.

    “බීරුට් නගර මධ්‍යයට සහ නෙජ්මේ චතුරස්‍රයට යන ප්‍රවේශන් සියල්ල අවුරා නව ප්‍රාකාර තැනීමෙන් දින කිහිපයකට පසු, ජනවාරි මාසයේ දි තමයි මා මෙය ඇන්දේ.” රොවුලා පවසන්නීය.

    “මට මෙම සිතුවම මඟින් පෙන්වන්න ඕනෑකම තිබුනේ, අපිව නවත්වන්න ඔවුන් කොයිතරම් උස ප්‍රාකාර බැන්දත් යහපත් අභිලාෂයන් සතර ඇති පැතිරී ගොස් අපි එය පසු කරනවා කියන එකයි”

    එම කලාපයේ බොහෝමයක් රටවල් මෙන් කොරෝනා වසංගතය ලෙබනනයටද ඉතා තදින් බලපෑවේය. ඒ වනවිටත් දුර්වල තත්වයේ පැවතුණ සෞඛ්‍ය සේවා, බලාපොරොත්තු නොවූ පීඩනකාරී තත්වය නිසා තවත් ඇද වැටුණ අතර එය ආර්ථික අර්බූදය උග්‍ර කිරීමට ද හේතු වූයේය.

    රජය විසින් පනවන ලද සංචරන සීමා නිසා, අරගලකරුවන්ට සීසීකඩ විසිර යන්නට සිදු වූ අතර, සමහර පිරිස්වලට නිවසේ රැඳී සිටිමේ විශේෂ නියෝගද ලැබිණි. එහෙයින් ප්‍රජා වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාව නිසා අරගලකරුවන් එම නීති වලට අවනතවීම දක්නට ලැබුණි.

    කොරෝනා වසංගතයෙන් තරමක් දුරට හිස එසවූ පසු අරගලකරුවන් මුහුණ දුන් පළමු ගැටළුව වූයේ අරගලයේ ජිවය නොනැසී පවත්වා ගැනීමය.

    රොවුලා පවසන පරිදි එම දුෂ්කර අවස්ථාවේදී අරගල ව්‍යාපාරයේ ජවය අඩු නොකර ගෙන පවත්වා ගැනීමේ කර්තව්‍යයේදී කලාකරුවා සුවිශේෂි මෙහෙවරක් ඉටු කළ බවයි.

    “මම අරගලය ආරම්භ වූ මොහොතේ සිට බිතු සිතුවම් ඇන්දා, ජනතාව තුළ අරගලය සඳහා උත්තේජනයක් ඇති කිරීමෙන්, අපේක්ෂාවන් ඇති කිරීමෙන්, පළමු වතාවේ ඔවුන් ඇයි පාරට බැස්සෙ කියන එක සිහිපත් කර දීමෙන් මම හිතනවා මෙවැනි අරගලයකදී විසම්මුති කලාව සුවිශේෂී මෙහෙයක් ඉටු කරනවා කියලා”

    ලෙබනනයේ විශේෂයෙන් ආණ්ඩුව තුළ දැකිය හැකි කල්ලි වාදී ක්‍රමය ඉතා දිගු කාලයක සිට රටේ පුරවැසියන්ගේ චෝදනාවට ලක් වු කාරණයකි, එසේම දේශපාලන පක්ෂ වල ඇති ආගමික නැඹුරුව ආණ්ඩුව තුළ සිදුවන දුෂණ යට ගසන මුවාවක් ලෙසද ක්‍රියා කලේය. එසේම රට තුල ක්‍රියාත්මක වෙන ආගමික කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ සෞදි අරාබිය ඇමරිකාව ඉරානය වැනි ලෝක බලවතුන් සමඟ විවිධ ආකාරයෙන් සමීප සබඳාවන් ගොඩ නඟා නැඟීම නිසා විදේශීය බලපෑම්වල අතපෙවීමක්ද රට තුළ දැකිය හැකි විය.

    අරගලය ආරම්භයේ සිටම අරගලකරුවන් වෙත නඟන ලද චෝදනාවක් වූයේ ඔවුන්ගේ අරගල ව්‍යාපාරය කුමක් හෝ කණ්ඩායමක් මඟින් මෙහෙයවන ලද බවයි. එසේම ඒ අතරිනුත් ඔවුන් වෙත එල්ල වෙන පොදු චෝදනාවක් නම් ඔවුන් කිසියම් විදේශීය හස්තයක් මඟින් පාලනය කරනු ලබන බවයි.

    “දේශපාලන ක්‍රියාදාමයකදී සැබෑ සංවාදයක් ඉතාමත් අත්‍යවශයයි.” රොවුලා පවසන්නේ, සංවාද නිර්මාණය කිරීමට කලාව මඟින් වැදගත් මෙහෙවරක් ඉටු කල හැකි බවයි.

    “මම බිත්ති මත සිතුවම් කරන්නේ මගේ දේශපාලන ආස්ථානය පමණක් නොවෙයි, ඉන් සැබවින්ම විථිවල උද්ඝෝෂණයේ යෙදෙන ජනතාවගේ සිතුම් පැතුම් ද පිළිඹිබු වෙනවා” ඇය පවසයි. “එසේම දෘශ්‍ය ප්‍රකාශනය, කතාව සහ වචන වලට වඩා වැඩියෙන් බලපෑම් සහගත බව මම විශ්වාස කරන නිසා මෙම කලා නිර්මාණ සමාජය තුළ සංවාද ගොඩනඟන්නටත්, අපි සිටින තත්වය ජනතාවට කිරා මැන බලන්නටත් එළඹුමක් ලබා දෙනවා යැයි මම සිතනවා”

    “අරගලය තුළ කලාව ප්‍රධාන භූමිකාවක් අත්පත් කරගෙන තිබෙනවා. ලෝකය පුරාම සිදුවූ සෑම විප්ලවයකදීම ජනතාවගේ ඉල්ලීම් සහ අරගලකරුවන්ගේ ප්‍රකාශනය වීදි කලාව ලෙස දෘශමය ලෙස ඉදිරිපත් කෙරෙන, විරෝධී කලාවක් අපට මුණ ගැසෙනවා.”

    “අරගලය, චින්තාවක් සහ නිර්මාණශීලිත්වයක් ලෙස හුවා දක්වන මෙම ‘විරෝධයේ කලාව’ අරගලයේ තවත් පැති කඩක්”

    උපුටා ගැනීම අනිද්ද පුවත්පත

    සුභාෂිණී චතුරිකා

     

  • පැය 105 න් කිලෝමීටර් 75 ක තාර කාපටි පාරක් – ඉන්දියාවෙන් ගිනස් වාර්තාවක්

    පැය 105 න් කිලෝමීටර් 75 ක තාර කාපටි පාරක් – ඉන්දියාවෙන් ගිනස් වාර්තාවක්

    ලංකාවෙි ? අපොයි නෑ ! ලංකාවෙ කිලෝ මීටර් 5 ක් හදන්න මාසයක් යනව ! මෙික හදල තියෙන්නෙ අපේ අසල්වැසියා ඉන්දියාව දින 5ක් තුළ කිලෝමීටර් 75 ක අධිවේගී මාර්ගයක් තැබීම සඳහා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවයි.

    එම කණ්ඩායම ජුනි 3 වැනිදා උදේ 7.27 ට මාර්ගය ඉදිකිරීම ආරම්භ කළ අතර ජුනි 7 සවස 5 ට කිලෝමීටර 75 ක දුරක් ඉදිකිරීම අවසන් කළේ පැය 105 යි මිනිත්තු 33 ක වාර්තාගත කාලයකිණි.

    කිලෝමීටර් 75 ක් දිග මාර්ගය මහාරාෂ්ට්‍රයේ අමරාවතී සහ අකෝලා දිස්ත්‍රික්ක අතර පිහිටා ඇත. අඛණ්ඩව තාර කොන්ක්‍රීට් අතුරා ඇති දිගම මාර්ගය ඉදිකිරීම සඳහා ඉන්දියාව ගිනස් වාර්තාවලට ඇතුළත් වී ඇති බව ඉන්දියාවෙි මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග පිළිබඳ මධ්‍යම අමාත්‍ය නිතින් ගඩ්කාරි නිවේදනය කළේය. අමරාවතී සිට අකෝලා දක්වා කොටස ජාතික මහාමාර්ග-53 හි කොටස වන අතර වැදගත් නැගෙනහිර-බටහිර කොරිඩෝවකි. ඒ පිලිබදව ඉන්දීය මාර්ග හා ප්‍රවාහනය භාර ඇමති සමාඡමාධ්‍ය ඔස්සේ මෙම සටහන තබා තිබුණි.

    Nitin Gadkari (@nitin_gadkari) 2022 ජූනි 7
    , “මුළු ජාතියටම අභිමානවත් මොහොතක්! කිලෝමීටර් 75 ක දුරක් තාර කාපටි දමා අඛණ්ඩව පැය 105 කින් නිමාවට පත්කර ගිනස් ලෝක වාර්තාව ලබා ගැනීම සම්බන්ධයෙන් NHAI, උපදේශකයින් සහ සහනදායක, රාජ්පාත් ඉන්ෆ්‍රාකොන් ප්‍රයිවට් ලිමිටඩ් සහ ජග්දීෂ් කඩම් යන අපගේ සුවිශේෂී කණ්ඩායමට සුබ පතන්නට ලැබීම ගැන මම ඉතා සතුටු වෙමි. අමරාවතී සහ අකෝලා අතර NH-53 කොටසේ තනි මංතීරුවක කොන්ක්‍රීට් පාර. මෙම අසාමාන්‍ය ජයග්‍රහණය ලබා ගැනීම සඳහා දිවා රෑ වෙහෙස මහන්සි වූ අපගේ ඉංජිනේරුවන්ට සහ කම්කරුවන්ට මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙමි.”

  • කංචන විජේසේකර ඉන්දියාවට විදුලිය දෙන්න පනත් සම්මත කරන්න යයි

    කංචන විජේසේකර ඉන්දියාවට විදුලිය දෙන්න පනත් සම්මත කරන්න යයි

    තරගකාරී ටෙන්ඩර් ක්‍රියා පටිපාටියෙන් බැහැරව විදුලිය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සපයන නව විදුලිබල පනත් සංශෝධන කෙටුම්පතට හෙට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බව අද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා සිටියා.

    හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දෙවැනි වර කියවීමේ විවාදයෙන් පසුව සම්මත කර ගැනීමට සූදානම් වන සංශෝධනයට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විරෝධය පලකරනවා. එපමණක්ද නොව අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත ට එරෙහිව වෘත්තීයය ක්‍රියාමාර්ග ගැනීමට ද ඔවුන් තීන්දු කර තියෙනවා. විදුලිබල බලශක්ති අමාත්‍යවරයා අද වෘත්තීය සමිති නායකයන් හට ඒ සම්බන්ධයෙන් කතාබහ කිරීමට අවස්ථාව සලසා දී තිබුණු අතර එහිදී මාත්‍යවරයා දැඩි ලෙස පෙනී සිට තිබෙන්නේ පනත සම්මත කර ගැනීමේ අරමුණ ඇතිවයි.

    වෘත්තීය සමිති චෝදනා කරන්නේ මෙම පනත හරහා සිදුකිරීමට නියමිතව තිබෙන්නේ අදානි සමාගමේ අවශ්‍යතාවය බවත් පනත සම්මත වූවායින් පසුව සමාගම්වලට කිසිදු බාධාවකින් තොරව විදුලි බිල වැඩි කිරීමේ අවස්ථාව සැලසෙන බවයි. ඒ අනුව දුෂ්කරතාවයට පත් වී සිටින ජනතාව තවදුරටත් පීඩාවට පත් කිරීම සඳහා මෙම පනත ඉදිරියේ දී ක්‍රයාත්මක වනු ඇතැයි ඔවුන් පෙන්වා දෙනවා.

    මෙම පනතට විරුද්ධ වන්නන් බලශක්ති ඇමති හඳුන්වන්නේ ඉන්ධන බලාගාර වලට සහාය දක්වන්නන් සහ ඉන් කොමිස් මුදල් ලබා ගන්නා ඉංජිනේරුවන් ලෙසයි.

    මෙලෙස හෙට දින සම්මත කරගැනීමට අර අදින්නේ අප්‍රියල් මස 29 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ විදුලි බල සංශෝධන පනත් කෙටුම්පතයි .මෙම පනත් සංශෝධනය සිදු වීමෙන් පසුව ඉන්දියාවට අතිරික්ත විදුලි බලය ලබාදීමට ද හැකියාව ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරනු ලැබුවා. කංචන විජේසේකර අමාත්‍යවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව කළත් මෙය බොහෝ පැරණි විහිළුවකි.

    හෙට සම්මත කර ගැනීමට නියමිත පනත් කෙටුම්පත

    Click to access 203-2022_S.pdf

     

  • මේ දවස්වල විශාල ජන ඝාතක රැල්ලක් යනවා

    මේ දවස්වල විශාල ජන ඝාතක රැල්ලක් යනවා

    මේ දවස්වල විශාල ජන ඝාතක රැල්ලක් යනවා ඇමෙරිකාවේ. තුවක්කුවක් රැගෙන එන තනි පුද්ගලයෙක් වෙළඳ ආයතනවල බඩු ගනිමින් ඉන්න පිරිස්වලට, පාසල්වල ළමුන්ට, ආපන ශාලා වල කෑම ගනිමින් සිටින පිරිස්වලට, රෝහල්වල සිටින පිරිස්වලට ආදී විශාල පිරිසකට වෙඩි තබා මරා දමනවා.

    පිරිස් රැස් වෙන තැන් මේ වෙඩික්කරුවෝ සිය මානය අල්ලන නමුත් එහිදී මුලික වෙන්නේ කළු ජාතික පිරිස් හෝ සංක්‍රමණික ප්‍රජාව ලෙස හැඳින්වෙන සුදු නොවන පිරිස් ගැවසෙන තැන්. ඇත්තටම මේ වෙඩි තැබීම් සුදු ජාතිකයන් කළු ජාතිකයන්ට කෙරෙන හිංසනයක් ලෙස වර නගන්නට හැකි උනත් පසුගිය සතියේ ටෙක්සාස්හි පාසලක සිටින ළමුන් 19 දෙනෙක් හා ගුරුවරුන් දෙදෙනෙක් මරා දැමු අව්රුදු 18 තරුණයා සුදු ජාතිකයෙක් නෙමෙයි. ඉතින් ඒ වර නැගීම ටිකක් සංකීර්ණ කරනවා!

    ඒ තතු කෙසේ වෙතත් බොහෝ සුදු වෙඩික්කරුවන්ගේ ඉලක්කය කළු ජාතිකයන්. හරියට ඔවුන් විසින් කළු ජාතිකයන්ට අත් පත් කරලා දීලා තියෙන ඉරණම මදි වගෙයි. සුදු ජාතිකයන් විසින් කළු ජාතිකයන්ට එරෙහිව කරන ලද වාර්ගික හිංසනයේ ප්‍රතිපල, එය ක්‍රමයක් විදියට විහිදී ගිය ඇති අන්දම ඇස් ඉදිරිපිට පෙනෙනවා එහෙ බන්ධනාගාරවලට ගියාම. ඊට හේතුව එම බන්ධනාගාරවල බහුතරය කළු ජාතිකයන්. 2016 දී කරන ලද 13TH documentary එකට අනුව, 1960 ජිම් ක්‍රෝ නීතිය හඳුන්වා දීමත්, ඉන් පසුව දියත් වූ “මත්ද්‍රව්‍ය යුද්ධය” නාමයෙන් කල සිරගත කිරීම් වලට අනුව සෑම කළු ඇමෙරිකානුවන් තුන් දෙනෙක්ගෙන් එක් අයෙකු සිර භාරයේ සිටින බවට හෝ සිර ගත වීමට නියමිත බවට සදහන් කරනවා.

    මම විශ්වවිද්‍යාලයේ මගේ ආචාර්ය උපාධිය අවසන් කරන ගමන්, විශ්වවිද්‍යාලයේ මෙන්ම ඇමෙරිකාව තුල උපරිම ආරක්ෂාව සහිත බන්ධනාගාර දෙකක ඉගැන්නුවා. ඉන් එකක ශිෂ්‍යන් 27ක් හිටියා, ඉන් තුන් දෙනෙක් සුදු අය, එක්කෙනෙක් මෙක්සිකන්, අනෙක් සියලු දෙනා කළු ජාතිකයන්. පසුගිය මාසයේ අවසන් වූ පන්තියේ 12 දෙනාගෙන් දෙන්නෙක් සුදු ජාතිකයන් ඉතිරිය කළු ජාතිකයන්.

    බන්ධනාගාරයේ ඉගැන්වීම මට මානසික සහ ශාරීරක වඳ හිංසනයක්. ඒකට හේතුව පන්ති කාමරයට යන තෙක් බන්ධනාගාර නිලධාරීන්ගේ අසීමිත පරීක්ෂාවට ලක් වීම. ඒ කාලය විනාඩි 25ක් සිට පැයක කාලයක් වගේ කාලයක්. මම වරදක් නොකර තිබුනත්, මම කෝනෙල් විශ්වවිද්‍යාලයේ ගුරුවරියකට අදාළ සංකේතීය වටිනාකම සහිතව ගියත්, ඔවුන් මට බොහෝ විට ඒත්තු යවනවා මම වැරදි කාරයෙක් බව! එසේත් නැතිනම් මගේ ගුරු සහායිකාව වරදක් කර ඇති බව! මගේ බ්‍රා එකේ මොනවා හරි සඟවාගෙන යනු ඇතැයි ඔවුන් සිතනවා. ඉතින් එය ගලවා බෑගයක දමා ඔවුනට පෙන්විය යුතුයි. එය ඉතාම හිරිකිත හැගීමක්. ඒ මනුස්සයෙකු ලෙස මට ඇති ලොකුකම් සියල්ල පසෙක දමා, නිලධාරීන්ගේ අණසකට යටත් වීමට සිදු වීම නිසා මට දැනෙන හැඟීම. වරදක් නොකර තිබුනත් මා වරදක් කර ඇතැයි මට සැකයක් පහල වීම!!! මේ බොහෝ අවස්ථාවල අල්තුසර් මට නිතර මතක් වෙනවා. මා විෂයක් විදියට ඔවුනගේ පරීක්ෂාවට ලක්වීමට පෙරමත් මා වැරදි කාරයෙක් වී ඇති බවට සලකුණු කෙරෙන දෘෂ්ටිවාදය පිළිබඳ ඔහුගේ කියවීම නිසයි ඒ. පොලීසිය හේයි කිව්වම, වැරැද්දක් නොකලත් අපි ඔවුන් දෙසට හැරෙනවා!

    කොහොම උනත් මම එහි ඉගැන්වීමට යන්නේ ස්වේච්චාවෙන්. මම කවදාවත් මගේ ශිෂ්‍යයන් කරන ලද වැරදි අහන්නේ නැහැ. ඒ පන්තිය තුල අපි සමානයන් නිසා. ඒවා අධි ආරක්‍ෂිත බන්ධානාගාර නිසා එහි ඉන්නේ මිනි මරපු, මංකොල්ල කන ලද, මත්ද්‍රවය ජාවාරමේ නායකයන් හා ආයුධ වෙළදාමේ නායකයන් ලෙස කටයුතු කරපු පිරිස් බව මට අදහසක් තියෙනවා. එහෙම නැතිනම් අපිට දැනගන්නම ඕනේ නම් එයාලගේ නම් අන්තර්ජාලයෙන් බලාගත හැකියි. මම කවදාවත් ඔවුන්ව චෙක් කරලා නැහැ. ඔවුන් තරම් සංවාදයට දක්ෂ සිසුන් මම දකින්නේ කොනෙල් විශ්ව විද්‍යාලයේ පන්ති කාමරවල පවා අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. ඒත් පන්තිය අවසන් උනාම නිලධාරීන් ඔවුන්ව රැගෙන යන එන තෙක් අපි කතා කරනවා. එක මොහොතක මට ආයුධ වෙළඳාමේ නායකයෙක්ව සිට අව්රුදු 35ක දඬුවමකට ලක්ව ඇති මගේ ශිෂ්‍යයෙක් කියනවා, “මිස් ජී, මගේ දුවට දැන් වයස 12යි, එයා ගිය සතියේ ආපු වෙලේ මම එයාට කිව්වා මම මෙහි ඉන්න හේතුව. ඔයා දන්නවද එයා අහපු ප්‍රශ්නය, එච්චරද තාත්තේ? මම හිතුවා ඔයා කව්රුහරි මරලා කියලා.” (is that all dad?, I thought you killed somebody or something).

    ආයුධ වෙළඳාම ලයිසන් අරන් කරන බහුතරය සුදු අය. ඒ අයගෙන් ආයුධ මිලට අරන් කළු ජාතිකයන් සංක්‍රමණිකයන් මරන්නේ කිසිවක්ම නැති සුදු ජාතිකයන් නෙමෙයි. එහෙම ලයිසන් නැතිව වෙළඳාම කරන බහුතරය ඉන්නේ මගේ වගේ පන්තිවල!

    මම මට වෙන මානසික හිංසනය, සමහරවිට මගේ හුස්ම හිර කරන තරම් ඒ
    නිලධාරීන් කෙරෙහි දැනෙන තරහව දරාගෙන මම මගේ පන්තියට එන පිරිසට උගන්වන්න යන්නේ “අධ්‍යාපනය ලාභ අපේක්ෂාවෙන් තොරව පවතිනවාය” යන අදහස ඔවුන් මට තහවුරු කරන නිසා. මගේ පන්තියේ සමහරු ජීවිතාන්තය දක්වා බන්ධානාගාරයට නියමිත වෙලා ඉන්න අය. ඒත් ඒ අය එනවා මගෙන් මානව විද්‍යාව ඉගෙන ගන්න. ඔවුන් විසින් මට පන්තිය අවසානයේ කියනවා “අපි කැමතිම පන්තිය මේක. මොකද මිස් ජී කවදාවත් අපිට අපි බන්ධානාගාරයේ ඉන්න බව දැනෙන්න දීලා නැහැ.” ඒත් ඇත්තටම මම ඔවුන් වෙනුවෙන් කිසිවක් කරනවා කියලා මට තවමත් දැනිලා නැහැ.

    මේ දවස්වල බන්ධනාගාරයේ තමන්ව එළියෙන් බලන්න එන පිරිස්වලට කෑම බීම, සනීපාරක්ෂක ද්‍රව්‍ය ගෙන ඒම තහනම් කරලා ඔවුන්ට ඒවා බන්ධනාගාරයෙන් මිලට ගන්න තීරණයක් අරගෙන තියෙනවා. ඒවායේ මිල තෙගුණයක් එලියට වඩා. ඒකෙන් කරන්නේ ඔවුන් වැඩ කරලා පැයකට හම්බ කරන ඩොලර් සත 70ත් බන්ධනාගාරයේම තියාගන්න සැලසුම් කරන එක. මගේ ශිෂ්‍යයෝ මට කියනවා මේ සම්බන්ධයෙන් මොනා හරි එළියේ කරන්න කියලා. ඒත් මම මේ වෙන තෙක් ඊට ඇති අවස්ථාවත් බැලුවේ නැහැ!

    මම උගන්වන්න, ඉගෙන ගන්න කැමතියි. ඉතිරි ජීවිත කාලය ඒ වෙනුවෙන් වැය කරන්නයි මගේ අරමුණ. මම පීඩිතයාට පක්ෂව සංවිධානය වෙන හිංසනයට පක්ෂයි. ඒ කවදා හරි දවසක පීඩිත ජනතාව සිය හිංසනයට එරෙහිව නැගිටින දවසක ඔවුන් සමග හිටගන්න අදාළ වෙන කතිකාව මගේ පන්ති කාමරයට එන පිරිස් එක්ක බෙදාගෙන තියාගන්න ඕනේ නිසයි.

    කෙසේ වෙතත් ජන ඝාතකවලට උත්තරය විදියට ඇමෙරිකාවේ සංවාදය දිවෙන්නේ තුවක්කු තහනම් කිරීම වෙනුවෙන්. මම හිතන්නේ ඒ අයට මග හැරෙනවා බරපතල ප්‍රශ්නයක් තමන්ගේ සමාජය පිළිබඳ. ඇමෙරිකාව මහන්සි ගන්න ඕනේ අපි එකිනෙකා විශ්වාස කරන සමාජයක් ගොඩ නගා ගන්න එක වෙනුවෙන් කියලයි මගේ අදහස. ඇමෙරිකාවේ තුවක්කු තියාගන්න පක්ෂ අය කියන්නේ ඒවා තියාගන්නේ අනෙකාගෙන් ආරක්ෂා වෙන්න කියලයි. හරි අඩුවෙන් අහනවා ඇහෙන්නේ මේ ඇත්ත ප්‍රශ්නේ: ඉතින් කාගෙන්ද මේ ආරක්ෂා වෙන්න ඕනේ?

    මම හිතන්නේ සමාජයක මුලික කොන්දේසියක් වෙන්න ඕනේ අපිට අපේ අසල්වැසියා විශ්වාස කරන්න හැකි වීම. එහෙම නොවන තැනක ප්‍රජාවක් නැහැ. ඉතින් මම මගේ ඇමෙරිකානු මිතුරන්ට කියන්නේ ඇමෙරිකාව කියන්නේ මට අනුව මිනිසුන් ජීවත් වන ස්ථානයක්. ඒක තවමත් සමාජයක් නොවෙයි !(It is a place of living beings, not a society!).

    Geethika Dharmasinghe

  • විල්පත්තු වන විනාශය මෙන් 20 ගුණයක වන විනාශයක් ….

    විල්පත්තු වන විනාශය මෙන් 20 ගුණයක වන විනාශයක් ….

    යුද හමුදාව වන වගා කළ වත්තේගම කැබලිත්ත කොටියාගල රක්ෂිත, ඉඩම් හොරුන් විසින් වනසයි. මොණරාගල DIG ත් හවුල් බවට පොලිස් ඇමති ටිරාන් අලස්ට පැමිණිල්ලක් ….

    මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අයත් වත්තේගම කැබලිත්ත කොටියාගල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉතා වටිනා රක්ෂිත වනාන්තර ප්‍රදේශ කාලයක සිට ප්‍රදේශයේ දේශපාලනඥයින්ගේ සහායද ඇතිව හොරෙන්ම අල්ලාගෙන නොයෙක් ආකාරයේ වගාවන් සිදු කිරීම මහා පරිමාණ ව්‍යාපාරිකයින් සහ අතලොස්සක් දූෂිත රාජ්‍ය නිලධාරීන් එකතුව කරගෙන යන්නේ වසර කිහිපයක සිට ය. විජිත් විජිතමුණි දසොයිසා ගේ සිට ශෂීන්ද්‍ර රාජපක්ෂ දක්වා පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගේ සහාය ඇතිව කරගෙන යන මෙම මහා ඉඩම් කොල්ලය විල්පත්තුවේ සිදු වූ අක්කර 3000 ක වන විනාසය මෙන් අවම වශයෙන් විසි ගුණයකට වඩා වැඩි ය.

    කෙසේ නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස මහා පරිමාණ ව්‍යාපාරිකයින් අක්කර 20 සිට 100 දක්වා වන ඉඩම් අල්ලා ගැනීම ක්‍රමිකව නතරකර අදාල රක්ෂිත සංරක්ෂණය කිරීම සඳහා කටයුතු කරමින් තිබුණි. එවන් වටපිටාවක ජනාධිපතිතුමා විසින් පත්කළ ආර්ථික කමිටුවේ එවක ප්‍රධානියා වූ බැසිල් රාජපක්ෂගේ අවශ්‍යතාව මත, හිටපු වන සංරක්ෂණ කැබිනට් අමාත්‍යවරයා වන සී බී රත්නායක සහ එවක ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එස් එම් චන්ද්‍රසේන විසින් පිලිවෙලින් නිකුත්කළ 1/2020 සහ 18/2020 චක්‍රලේඛ හරහා ශ්‍රී ලකාවේ වන ආවරණය තුල පැවතී වන ආවරණයෙන් 3% ක් සහ අවම වශයෙක් හෙක්ටයාර ලක්ෂ 500ක ඉඩම් (අක්කර ලක්ෂ 12කට ආසන්නව) රජයේ රක්ෂිත කැලෑ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරාගන්නා ලද අතර, වත්තේගම කැබලිත්ත කොටියාගල රක්ෂිත ඉඩම්ද මෙම රජයේ කැලෑ ඝනයට අයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාලනය කළ වනාන්තර වේ. ඉහත චක්‍රලේඛ මගින් මෙම වනාන්තර අනාරක්ෂිත කිරීම තුල, ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් දේශපාලන අවශ්‍යතා මත හිතුමතේ ඉඩම් බලපත්‍ර සහ ඔප්පු නිකුත් කිරීම සිදුකළ අතර, බහුතරයක් ව්‍යාපාරිකයින් මෙම වනාන්තර ඉඩම් දිගින් දිගටම ග්‍රහණයට ගමින් තිබුණි.

    ඉහත තත්වය යටතේ 3000 කට ආසන්න ගොවියන් හා ව්‍යාපාරිකයින් (දුෂිත රාජ්‍ය නිලධාරීන්ද ඇතුළුව) ලෙස පෙනී සිටින මෙම සංවිධානය වූ ඉඩම් කොල්ලකරුවන්ට බෙදාදීම පිණිස කිසිවක් සොයා නොබලා අක්කර 25,000 ක් රක්ෂිත ප්‍රදේශවලින් ඉවත්කර සියඹලාන්ඩුව ප්‍රාදේශීය ලේකම් වෙත පවරා ඇත. රජයේ ඉඩම් ආඥා පණත ප්‍රකාරව රජයේ ඉඩම් අක්කර 2කට වඩා ලබාදීම නීතිවිරෝධී ක්‍රියාවකි. ඒ අනුව ගොවිතැනට ඉඩම් දුප්පත් ගොවියන්ට ලබාදුන්නේ නම්, අවශ්‍ය වන්නේ අක්කර 6000 කට ආසන්න ප්‍රමාණයකි. (ලංකාවේ භුමි ප්‍රමාණයෙන් 63% ක් කෘෂිකාර් මික භුමි වන නමුත් අදවන විට ඉන් පලදායී ලෙස භාවිතා කරන්නේ 40% ක් පමණි). ඒ අනුව වැඩිපුර අක්කර 19000ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම් වෙත පවරා ඇත. එසේ තිබියදී, අදා ඉඩම් බෙදාදීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව අදාළ මැනුම් කටයුතු කරන විට, මෙලෙස අක්කර 50 හා 100 බැගින් ඉඩම් සොරාකා අල්ලාගෙන සිටින ව්‍යාපාරික කණ්ඩායම් අදාළ මැනුම් ක්‍රියාවලිය අඩපණ කිරීමට කටයුතු කර ඇත.

    එසේම ඔවුන් තම මුදල් සහ සේවකයින් මෙන්ම ප්‍රදේශයේ ගම්වැසියන් අවුස්සා ඔවුන්ට අක්කර 5ත් 10ත් අතර ඉඩම් ලබාදීමට කටයුතු කරන බව පවසා බලහත්කාරයෙන් වත්තේගම කැබලිත්ත කොටියාගල රක්ෂිත ප්‍රදේශවල ඉඩම් ඇල්ලීමට පොළඹවන ලදී. එසේම මීට ප්‍රදේශයේ භික්ෂුවක් වන කෙසෙල්වත්තේ විමලතිස්ස නම් වන අය සහ පසුගිය මහා මැතිවරණයේදී ප්‍රදේශයෙන් තරඟ කර පරාජයට පත් ඉන්දික විජේබණ්ඩාර අත්තනායක යන අයෙක්ද ඉදිරියට දමාගෙන දිගින් දිගටම අදාල රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවීමටත්, රක්ෂිතයට හානි කිරීමත් දිගින් දිගටම නොයෙක් අවස්තාවලදී සිදුකරයි.

    මෙලෙස ඉඩම් ඇල්ලීමට උත්සාහ කළ අවස්ථා කිහිපයකම එය ව්‍යර්ථ කිරීමට පොලීසිය, විශේෂ කාර්‍ය බලකාය සහ වන සංරක්ෂණ දෙපාර්තමන්තුව එක්ව කටයුතු කළ අතර අදාළ සංරක්ෂණ ක්‍රියාවලියට යුධ හමුදාවෙන් විශාල සහයක් ලැබුණි.

    එපමණක් නොව, ගුවන් හමුදාව පවා බීජ බෝම්බ ව්‍යාපෘතිය හරහා වන වගා කිරීමට ඉහත ප්‍රදේශයේ ගුවනින් ගොස් බීජ බෝම්බ හෙලීම පවා සිදුකරන ලද අතර අදාළ වන වගාවන්ට පවා හානිකිරීමට මෙම සංවිධානාත්මක ඉඩම් කොල්ලකරුවන් අවස්ථා කීපයකදී කටයුතු කරන ලදී.

    කෙසේ වෙතත් නොයෙක් චෝදනා ලැබුවත් වන ජීවී සහ වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එවක විමලවීර දිසානායක මහතා නිදහස් කළ ඉඩම් හැර වෙනත් කිසිඳු රක්ෂිත හෝ යෝජිත් රක්ෂිත ඉඩමක් අනවසර ඉඩම් කොල්ලකරුවන්ට අලාගනීමට ඉඩ නොදුන් අතර ඒවා රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන ලදී.

    එලෙස ඉතා දැඩි පරිශ්‍රමයකින් ආරක්ෂා කළ වනාන්තර ඉඩම් නැවත වතාවක් ඊයේ සහ අද දිනයේ අදාළ සංවිධානාත්මක ව්‍යාපාරික ඉඩම් කොල්ලකරුවන් විසින් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට කටයුතු කරමින් පවතී. බලෙන්ම සිය ගණනක් ට්‍රැක්ටර් බයික් සහ රථවාහනවලින් රක්ෂිතයට ඇතුළු වී වන වගාව සිදුකරන භූමියත් කැලෑ ඉඩමුත් අල්ලාගැනීමත් භුමිය සකස් කිරීමත් අආරම්හ කර ඇත. අද දිනයේදී අදාළ අනීතික ක්‍රියාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ වන සංරක්ෂණ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය වටකොට බලහත්කාරය පෑමට සහ රාජකාරියට බාධාකිරීමට මෙම කොල්ලකරුවන් කටයුතු කරමින් සිටී.

    වන සංරක්ෂණ දෙපාර්තතමේන්තුව තත්වය මැඩපැවැත්වීමට මොනරාගල දිසාව භාර පොලිස්පතිවරයාගෙන් ඉලා ඇති නමුත් ඔහුද අනවසර ඉඩම් ඇත්තෙකු මෙන් අනවසර වගාකරුවන්ට ඉඩම් ලබාදියයුතු යයි පවසා ඇත.

    අප විසින් මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව වර්තමාන වන සංරක්ෂණ අමාත්‍යවරයා වන මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කලේ අදාළ දිසාව භාර පොලිස්පතිවරයා තමා මේ පිළිබඳව විමසා සිටි අවස්තාවේදීද වනාන්තර රකිනවා වෙනුවට ඉඩම් කොල්ලකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවක් ගම්‍ය වූ බවයි. අපට ලැබී ඇති තොරතුරු අනුව පොලිස්පතිවරයා පවා ලිඛිතව අදාළ අනවසර ඉඩම් කොල්ලය වලකාලීමට කටයුතු කරන ලෙස දන්වා ඇතත්, මෙම දිසවභාර පොලිස්පතිවරයා අදාල නියෝගය සහ රාජ්‍ය නිලධාරීන්ට සහයෝගය දෙනවා වෙනුවට තම නිරීක්‍ෂන දන්වා යැවීමක් යයි පවසා අදාල ඉඩම් කොල්ලකරුවන් සාධාරණීකරණය කිරීමට කටටයුතු කර ඇතැයි පැවසේ. ඒ අනුව බොහෝ පාර්ශව සැක කරන්නේ අදාළ දිසා බාර පොලිස්පතිවරයා එක්කෝ අදාළ රක්ෂිත ඉඩමකට කෙළ හලන බවක් හෝ කාගේ හෝ අවශ්‍යතාවකට පරිසර සංරක්ෂණයට අදාළ ආයතනවලට තම සහය නොදී හිතුමතේ කටයුතු කරන බවයි. ඒ අනුව අදාළ රක්ෂිත සංරක්ෂණය සහ ආරක්ෂා කිරීම අදාළ DIG වරයාගේ සහය නොලැබීම මත අපහසු වී ඇති බවයි.

    විල්පත්තු වන විනාශය මෙන් විසි ගුණයකටත් වඩා විශාල මෙම වන විනාශය නැවතීමට වර්තමාන විෂයභාර අමාත්‍යවරයාගේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලීසියේ වගකීම වේ. ලෝකයේ බොහෝ රටවල්වලට සාපේක්ෂව ලංකාවේ ඇත්තේ ඉතා අවම වන ගහනයකි. එය බොහෝ දියුණු රටවල් හා සංසන්ධනය කිරීමේදී පවා අඩකටත් අඩු අගයකි. ලෝක පරිසර දිනය එළඹීමට ඇත්තේ තවත් දින 5 ක් පමණි. එසේ තිබියදේ ලංකාවේ විශාලතම වනාන්තර ඉඩම් කොල්ලය හමුවේ නිහඬව සිටින්නේනම් ශ්‍රී ලංකාව ආර් තික අර්බුධයට එහා ගිය නීතිය බිඳවැටී රටේ වටිනා භුමි සම්පත් සහ පරිසර පද්ධති මංකොල්ලකරුවන් අතට පත්ව පාරිසරික අර්බුධයක් සහ සමාජීය අරබුධයක්ද ගොඩනැගෙනු ඇත.

    ජයන්ත විජේසිංහ ,කැඳවුම්කරු,වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය

  • 21වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පොදු එකගතා

    21වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පොදු එකගතා

    පූර්විකාව

    අපගේ මාතෘභූමිය වන ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙමින් සිටින්නේ ඉතිහාසයේ දරුණුතම සමාජ, ආර්ථික සහ දේශපාලනික අර්බුදයට බව අවිවාදිත ය. මෙම අර්බුදය හේතුවෙන් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ සමස්ත පාලක පක්ෂය ම ජනතාවගේ දැඩි දෝෂදර්ශනයට සහ විරෝධයට ලක් ව සිටින බව ද, එම පාලක ක්‍රමය හැකි ඉක්මනින් අවසාන විය යුතු බව ද ජනතා අරගලයේ මූලික සටන්පාඨය බවට පත් වී ඇත.

    මේ නිශ්චිත මොහොතේ ජනතා අරගලයේ සාධාරණ සටන්පාඨයන්ට ශක්තියක් වීමේ යුතුකම අප හඳුනා ගන්නා අතර ම, අර්බුදයට පාදක වූ මූල හේතූන් ද හඳුනා ගනිමින්, එම මූලික ගැටලු න්‍යායාත්මකව විසඳා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද අපි අවධානය යොමු කළෙමු. රාජ්‍යයේ ස්ථාවරබාවය, ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම, විනිවිදභාවය සහ වගවීම ආදී කරුණු රැසක් එහි ලා අවධානයට බඳුන් විය යුතු ය.

    ශිෂ්ටසම්පන්න පාලන ක්‍රමයක් ඇතිකර ගැනීම සදහා කාලාන්තරයක් තිස්සේ රට තුළ මහජනතාව විසින් ඉල්ලා සිටින ලද දේශපාලන පරිවර්තනයට අදාළව හා ජනතා අරගලයේ බුද්ධිඵලයක් ලෙස නිර්මාණය වී ජනගත වී ඇති විවිධ යෝජනා පිළිබඳව මූලික අවධානය යොමු කරමින් මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇත. මෙම යෝජනාවලිය මගින් වත්මන් අර්බුදයට යම් කොටසකට ප්‍රතිචාර දක්වන අතර ම, මෙවන් අර්බුදයක් අනාගතයේ දී පැන නොනැගීම සඳහා ශක්තිමත් ව්‍යවස්ථාමය සංශෝධන ගෙන ඒම ද අතිශය වැදගත් කාර්යයක් බව අවධාරණය කෙරේ. බලය කේන්ද්‍ර කර ගත් එක් පුද්ගලයකු හෝ කණ්ඩායමකගේ අභිමතය පරිදි රටක් පරිපාලනය කළ හැකි වනවා වෙනුවට, සමාජ සාධාරණත්වය, නීතියේ ස්වාධීනත්වය, පරිපාලනයේ විනිවිදභාවය, නීතිය සහ ජනතාව ඉදිරියේ වගවීම වැනි දියුණු පුරවැසි මූලධර්ම මත පදනම් වූ ව්‍යවස්ථාවක් සහ පරිපාලන රාමුවක් ඇති කිරීම තුළින්, ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය දිනා ගැනීමට සහ එමගින් මෙම සමාජ-ආර්ථික-මානුෂීය අර්බුදයට ඉක්මන් අවසානයක් ගෙන ඒමට මැදිහත් වීම අපගේ අරමුණයි.

    අප රට ජනතාව මුහුණ පා ඇති ආහාර, බලශක්ති, බෙහෙත් සහ විදේශ විනිමය ආදී විවිධ ශෝචනීය තත්ත්වයන් ගෙන් අත්මිදීමේ ආර්ථික අවශ්‍යතා සමාජයේ අස්තායීභාවයට හේතුපාදක වී ඇත. එහෙයින් යහපාලනය සඳහා විවිධ යෝජනාත්, ව්‍යවස්ථාමය වෙනස්කම් කිරීමත් මගින් එකී ශෝචනීය තත්ත්වයන් අඩු තක්සේරුවකට ලක නොකරන බව මෙහිදී අවධාරණය කරමු. ඒවා ක්ෂණිකවමත්, මධ්‍යකාලීනවත් දිගුකාලීනවත් විසඳුම් රජය විසින් සැපයිය යුතු බව උද්දීපනය කරමු.

    මෙම යෝජනාවලිය සැකසීමේ දී මහජනතාව විසින් ඉල්ලා සිටින සමාජ පරිවර්තනයට එළඹීම උදෙසා කෙටිකාලීනව අපේක්ෂා කළ හැකි ව්‍යවස්ථාමය වෙනසක් පිළිබඳවත්, දිගුකාලීනව රටේ පාලන ක්‍රමය දියුණු සංස්කෘතියක් කරා ගෙන යාම උදෙසා සමාජය විසින් විවිධ යෝජනාවලි හරහා මතු කළ මූලික වෙනස්කම් පිළිබඳවත් අවධානය යොමු කර ඇත. කෙසේ නමුත් 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අපගේ ප්‍රමුඛ කාර්යය ලෙස අවධානය යොමුකර ඇත්තේ ජනමත විචාරණයකින් තොරව ඉදිරි මාස කිහිපය තුළ වහා සංශෝධනය කර ගත හැකි මූලික ව්‍යවස්ථාමය සංශෝධන පිළිබඳව ය.

    රටේ බොහෝ පාර්ශ්වයන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වන වත්මන් ජනධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරවම ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ නම්, ඕනෑම අවස්ථාවකදී කළ හැකි බවද , විධායක ජනධිපති ක්‍රමය සංශෝධනය/අහෝසි කිරීමට අදාළව ඇති යෝජනා ජනමත විචාරණයකින් තොරව ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධනයකින් කෙටිකාලීනව සාක්ෂාත් කර ගත නොහැකි බව මෙහි දී අවධානයට ලක් විය.

    අපගේ මෙම සමස්ත වෑයම රට තුළ පවතින අවිනිශ්චිත හා අස්ථාවර දේශපාලන සමාජීය සහ ආර්ථික වටපිටාව හැකි ඉක්මනින් සමථයකට පත් කොට, පීඩාවට පත් මහජනතාවට සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සහිතව සාධාරණ හා යුක්තිසහගත පාලන ක්‍රමයක් තුළ ජීවත් වීමේ අයිතිය තහවුරු කර දීම ය. එමෙන් ම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව ශිෂ්ටසම්පන්නව පාලනය වන රටක් බව තහවුරු කිරීම උදෙසා අවශ්‍ය දේශපාලන පරිවර්තනයන්ට කඩිනමින් එළඹීම ද මෙහි අපේක්ෂාවකි. එබැවින් ඒ උදෙසා දේශපාලනඥයන්ගේ මෙන් ම සමස්ත පුරවැසියන්ගේ සහයෝගය අපි අපේක්ෂා කරමු.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති මෙම සංශෝධන පිලිබඳව පහත ප්‍රධාන අංශ යටතේ සලකා බලා ඇත.

    1. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි කරන ලද, 19 වන ආණ්ඩුක්‍රම සංශෝධනයේ පැවති සාධනීය වුවමනාවන් සහ මේ වන විට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස ඉදිරිපත් වී ඇති කරුණු.
    2. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ දී, එහි පවතින තව දුරටත් අහෝසි නොකර රඳවා තබා ගත යුතු සංශෝධන.
    3. ඉහත 1 හා 2ට ඇතුලත් නොවන නමුත්, ජන අරගලයේ නියමු සංවිධාන, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කර ඇති අත්‍යවශ්‍ය වැදගත්කමකින් යුතු යැයි සැලකිය හැකි සංශෝධන.
      20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉදිරියට ගෙන යා යුතු යෝජනා
      20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අහෝසි කර, අවම තරමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ස්ථාපිත කළ යුතු ය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන නැවත ස්ථාපිත කිරීමත් සමග ම, ආනුෂංගික ව්‍යවස්ථාදායක සභා සහ ස්වාධීන කොමිෂන් සභා ද නැවත ස්ථාපිත විය යුතු අතර එම ආයතනවල මූල්‍ය ස්වාධීනත්වය, විනිවිදභාවය සහ වගවීම තහවුරු කළ යුතු ය.
      එසේම,20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යෝජනා කළ වර්තමාන අභියාචනාධිකරණ හා ශේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව එසේ ම පැවතිය යුතු ය.

    යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අලුතින් එකතු විය යුතු යෝජනා

    1. ජාතික ප්‍රතිපත්ති සැලසුම් සභාවක් ස්ථාපිත කළ යුතු බව

    ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ පරිදි රජය විසින් ජාතික ප්‍රතිපත්ති සම්පාදන සභාවක් පත් කළ යුතු අතර එම සභාව විසින් සකස් කරනු ලබන ජාතික ප්‍රතිපත්තිවලට අනුකූල වන සේ අමාත්‍ය මණ්ඩලය සහ පළාත් සභා ක්‍රියා කළ යුතු ය. මේ සඳහා මෙම සභාවේ පරමාර්ථ, සංයුතිය, මෙහෙයුම්, ලේකම් කාර්යාලයක් ස්ථාපනය, ප්‍රතිපත්ති සාධනයට විශේෂඥ කණ්ඩායම් සේවයට ගැනීම, පළාත් සභා වල නියෝජිතත්ත්වය ඇතුලත්වන පරිදි පාර්ලිමේන්තුවෙන් පනතක් සම්මත කර ගැනීම කළයුතු වේ.

    1.1ස්වාධින ව්‍යවස්ථා සභාවෙ වෘත්තිමයභාවය සහ සංයුතිය

    19 සංශෝධනයට අනුව ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය දහ දෙනෙකුගෙන් සමන්විත වන අතර එයින් 03 පමණක් වෘත්තිමය හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් ගෙන් සමන්විත වේ. ඒ හේතු කොට ගෙන ව්‍යවස්ථාදායක සභාවේ බලය දේශපාලන පක්ෂ සාමාජිකයින් වටා ගොඩනැගී ඇති අතර,හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් ගෙන් සමන්විත වේ. ඒ හේතු කොට ගෙන ව්‍යවස්ථාදායක සභාවේ බලය දේශපාලන
    පක්ෂ සාමාජිකයින් වටා ගොඩනැගී ඇති අතර,වෘත්තියවෙදින් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් සුළුතරය බවට පත්වී ඇත. මේ නිසා බලයට පත්වන පක්ෂයේ එකගතාවන් වලට ඉඩ තැබීම තුල,
    දේශපලන්නකරණයට ඇති ඉඩකඩ ඇතිවේ. එය අවම කිරීම සම්බන්ධයෙන් සාමාජිකයින් 07න් සමන්විත ව්‍යවස්ථා දායක සභාව, කතානායක ,අගමැති , විපක්ෂ නායක ගෙන් සමන්විත වන අතර , වෘත්තිමය හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් හතර දෙනෙකු ඉහත තිදෙනා විසින් පාර්ලිමේන්තු විමසා පත්කරගත යුතුය.

    1.2 ව්‍යවස්ථා සභාවේ බලතල සහ වපසරිය

    පහත සදහන් පත් කිරීම් (යෝජිත 21වන සංශෝධනයේ පත් කිරිම් වලට අමතරව) ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත සිදු කළ යුතු ය.
    – අමාත්‍යංශ ලේකම්වරුන්
    – ආණ්ඩුකාරවරුන්
    – තානාපතිවරුන් සහ දූත මණ්ඩල ප්‍රධානීන්
    – මහ බැංකු අධිපති සහ මුදල් මණ්ඩලය
    – තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව
    – වරාය නගර කොමිෂන් සභාවේ නිලධාරී මණ්ඩලය
    – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
    මෙකී පත් කිරීම්වලට සහ ක්‍රියාත්මක කිරීම්වලට අදාළ පියවර, නිර්ණායක සහ ක්‍රියාමාර්ග ව්‍යවස්ථා සභාව විසින් සකස් කර ගැසට් කළ යුතු ය. ඒමෙන්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත්කිරීම පිලිබඳව විනිවිදබාවයක් සහිත විධිමත් ක්‍රම වේදයක් සකස් කිරීම ව්‍යවස්ථා සභාවේ වගකීමක් විය යුත්තේය.

    1. ජනාධිපති කාර්යය සහ බලතල සීමා කළ යුතු බව

    2.1ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා විධායකයේ ප්‍රධානියා සන්නද්ධ සේවාවෙහි සේනාධි නායකයා විය යුතු අතර ආණ්ඩුවේ ප්‍රධානියා යන්න සංශෝධනය කොට, අගමැතිවරයාට එම බලය ලබාදිය යුතුය.
    2.2 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නීතියට ඉහළින් සිටින පුද්ගලයෙකු ලෙස ජනාධිපතිවරයාට ප්‍රදානය කර ඇති තත්ත්වය අහෝසි කළ යුතු ය.
    2.3 ජාතික ප්‍රතිසංධානය සහ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීම ජනාධිපති කාර්යයන්ට ඇතුළත් කළ යුතුය.
    2.4 ජනාධිපතිවරයා කිසිදු අමාත්‍ය ධුරයක් නොදැරිය යුතු ය.
    2.5 ජනාධිපති සමාව ලබාදිය යුත්තේ 19 වන සංශෝධනයේ විධිවිධානවලට අමතරව ස්වාධින කමිටුවක නිර්දේශ පරිදි ය.
    2.6 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලය 19 වැනි සංශෝධනයේ විධිවිධාන අනුව වෙනස් කළ යුතු අතර ඒ සදහා අග්‍රමාත්‍යවරයා විමසිය යුත්තේය යන්නද ඇතුලත් කළ යුතුය.
    2.7 පාර්ලිමේන්තුව කල් තැබීම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ජනාධිපති සිදු කළ යුතු ය.

    1. නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතු බව

    3.1 පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ කෙටුම්පතක් කාරක සභා අවස්ථාවේ සංශෝධනයට ලක් වී සම්මත වුවහොත්, එය සාධාරණ කාලයක් තුළ දී ශේෂ්ඨාධිකරණයේ විමර්ශනය කළ හැකි බව සහතික කළ යුතු ය.
    3.2 නීතිපතිවරයාගේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් විනිවිදභාවයක් සහිතව වගවීම සහතික කරන යාන්ත්‍රණයක් සහ නීතිපතිවරයා සතුව පවතින ද්විත්ව කාර්යයභාරය (රජයේ නීති උපදේශක සහ අභිචෝදක) බැඳියාවන් අතර ගැටුමකින් තොරව පවත්වා ගෙන යාම සඳහා සුදුසු ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කළ යුතු ය.
    3.3 රජය විසින් නීති සම්පාදනය කිරිමේ දී සහ අන්තර්ජාතික ගිවිසුම් ඇති කර ගැනීමේ දී රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මයන්ට ඒවායේ ඇති අනුකූලතාව නීතිපති විසින් ඒවා භාවිතයට පෙර තහවුරු කළ යුතු ය.
    3.4 ජනාධිපති කොමිෂන් සභා මගින් අධිකරණයට බලපෑම් කිරීමට ඇති ඉඩකඩ වැළැක්වීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කළ යුතු ය.
    3.5 විගණකාධිපතිවරයා හෝ ඔහුගේ බලයලත් නිලධාරියෙකු සිදු කරන ලද විගණන පරීක්ෂාවක් මගින් වංචාවක්, දූෂණයක් හෝ ඊට ආනුෂංගික වෙනත් ඒ හා සමාන රජයේ මුදල් හෝ දේපළ අවභාවිතයක් සිදු වී ඇති බව තහවුරු වන සහ අධිකරණය තුළ ගොනු කළ හැකි සාක්ෂි හෙළිදරව් වන අවස්ථාවල දී නීතිපතිවරයා මගින් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමේ බලය විගණකාධිපතිවරයා වෙත පවරා දිය යුතු ය.
    3.6 නීතිපතිවරයා මගින් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීම මත සිදු කෙරෙන අධිකරණ කටයුත්තක දී හැර, අධිකරණ කටයුත්තක් සදහා විගණකාධිපති වාර්තා භාවිතයට ගන්නා අවස්ථාවල දී එකී විගණකාධිපති වාර්තා, බිඳ හෙළිය හැකි පූර්ව නිගමනයක් සේ සළකා කටයුතු කළ යුතු ය.

    1. අමාත්‍ය මණ්ඩලය සීමා කළ යුතු බව

    4.1 අසීමාන්තිකව කැබිනට්, කැබිනට් නොවන සහ රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීම සීමාවකට ලක් කල යුතු අතර, අමාත්‍යාශ විෂයන් , සංඛ්‍යාව විද්‍යාත්මකව පදනමක් මත බෙදිය යුතුය. ඊට සමගාමිව නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කල හැකි අතර එය 20 නොඉක්මවිය යතුය.
    4.2 අමාත්‍ය මණ්ඩල තීරණ, රජය විසින් එළඹෙන අන්තර්ජාතික ගිවිසුම්, ජාතික සම්පත් හා සම්බන්ධිත ගිවිසුම් පිළිබඳ වාර්තාවක් ආසන්නතම පාර්ලිමේන්තු වාරයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය.
    4.3 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52-2 අනුව්‍යවස්ථාව යටතේ අමාත්‍යවරු විසින් ලේකම්වරුන්ට ලබා දෙන විධාන සහ පාලනයට අදාළ මෙහෙයවීම් ලිඛිතව සිදු කළ යුතු ය.

    1. රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය ප්‍රසම්පාදනය සහ අල්ලස, දූෂණය මැඩලීමට අදාළ නීති ශක්තිමත් කළ යුතු බව

    5.1 අල්ලස, දූෂණය, නාස්තිය සහ වැරදි කළමනාකරණය වැළැක්වීමට අදාළ නීති ශක්තිමත් කළ යුතු ය.
    5.2 රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආර්ථිකමය වශයෙන්, කාර්යක්ෂම, සඵලදායීතාව සහ වගවීම තහවුරු වන ලෙස යාවත්කාලීන කිරීම ප්‍රසම්පාදන කොමිසමේ මුඛ්‍ය අරමුණ විය යුතු ය.
    5.3 මාර්ගෝපදේශවලින් බැහැරව සිදු කරන ප්‍රසම්පාදන ක්‍රියාවලීන්ට සහභාගිත්වයක් දක්වන බලධාරින්ට එරෙහිව නෛතික ක්‍රියාවලීන්ට එළඹිමේ බලතල ප්‍රසම්පාදන කොමිසමට පැවරිය යුතු ය.
    5.4 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 156ඇ (1) යටතේ ප්‍රසම්පාදන “පටිපාටි සහ උපමාන සකස් කිරීම’ ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ කර්තව්‍ය ලෙස සඳහන් වේ. එහි (ඉ) අනූ ව්‍යවස්ථාව යටතේ රජයේ ආයතන විසින්, පිළිගත් පටිපාටිවලින් හා මෙහෙයුම් නිර්ණායකවලින් බැහැරව කරන ලද ප්‍රසම්පාදන විමර්ශනය කර වාර්තා කිරීම සම්බන්ධයෙන් වන ප්‍රතිපාදනය තුළින් පසම්පාදන පටිපාටීන් ට බැහැරව ටයුතු කිරීමට ආණ්ඩුකම ව්‍යවස්ථාවූ තුළින්ම අවසරයක් සලසයි. එය පරස්පරයකි.
    පසුගිය දසක කිහිපය තුළ මහා පරිමාණ මූල්‍ය වංචා වන්ට ඉඩ සැලසූ “ඉල්ලීමක් නැති යෝජනා” (unsolicited proposals) ක්‍රමය සඳහා මෙමගින් ආවරණය ලැබෙන හෙයින් උක්ත (ඉ) යටතේ ප්‍රතිපාදනය සංශෝධනය කර ප්‍රසම්පාදන පටිපාටීන් උල්ලංඝනය කරන්නන් සම්බන්ධයෙන් නඩු පැවරිය හැකි වන පරිදි නව සංශෝධනයක් ගෙනා යුතුය.
    5.5 මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ විධිමත් ක්‍රමවේදයකට සමාලෝචනය සහ සැක කටයුතු අවස්තාවලදී පරීක්ෂා කළ හැකි පරිදි ව්‍යවස්ථාවේ 154-1 සංශෝධන සිදු කළ යුතු ය.
    5.6 සියලු විදේශ ණය සහ ආධාර ව්‍යාපෘති විගණනය අනිවාර්ය කළ හැකි පරිදි ව්‍යවස්ථාවේ 154-1 සංශෝධන සිදු කළ යුතු ය.
    5.7 ගණකාධිකාරවරයකු විසින් ම විගණන කටයුතු කිරීමේ දී ඇති වන ලැදියාවන් අතර ගැටුම මග හැරීම සඳහා ව්‍යවස්ථාවේ 154-8 සංශෝධන සිදු කළ යුතු ය.
    5.8 රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ සම්පූර්ණ පාලනය සහ වගවීම පාර්ලිමේන්තුවට පැවරීමට අදාළ නීති, විශේෂයෙන් ම මූල්‍ය පාලනය පිළිබඳ පාර්ලිමේන්තු කමිටු බලතල (උදා: කෝප්, කෝපා සහ රාජ්‍ය මූල්‍ය කාරක සභාව) වැඩිදියුණු කර ශක්තිමත් කළ යුතු ය.
    5.9 සියලු සංවර්ධන ව්‍යාපෘති සමාජ විගණනයකට ලක් කර, හානිකර සහ අනවශ්‍ය ව්‍යාපෘති සමාලෝචනය කර ව්‍යාපෘති නතර කිරීමට හෝ සුදුසු වෙනස්කම් සහිත ව නැවත ආරම්භ කිරීම කළ යුතු ය.
    5.10 රාජ්‍ය ආයතන පිළිබඳව සහ ජාතික වැදගත්කමකින් යුතු සම්පත් පිළිබඳව තීරණ ගැනීමේ දී වෘත්තීය සමිති, ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් ඇතුළු අදාළ පාර්ශ්වයන්හි (Relevant Stakeholders)අදහස් විමසා, විධිමත් හා පාරදෘශ්‍ය ක්‍රියාවලියක් තුළ එකී තීරණ ගත යුතු ය.

    1. සමානාත්මතාව සහ සංහිඳියාව තහවුරු කළ යුතු බව

    6.1 සියලු සිවිල්, දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික අයිතීන් තහවුරු කළ යුතු ය.
    6.2 සියලු ජනකොටස්වලට (ජාතිකත්වය, ආගම, කුල-ගෝත්‍ර, ලිංගිකත්වය, භූගෝලීය සීමා, ජීවන වෘත්තීන් සහ සංස්කෘතිය ආදී විවිධතා නිසා පීඩාවට පත්ව සිටින ජනකොටස්වලට) සාධාරණ හා යුක්තිගරුක ලෙස ජීවත්විය හැකි පසුබිමක් සහතික කිරීමේ නෛතික ප්‍රතිපාදන ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතුය.
    6.3 සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට හා ශක්තිමත් කිරීමට ඉඩ ලබා දිය යුතු ය. ඒ යටතේ ව්‍යවස්ථාදායකය සහ ජනතාව සම්බන්ධ කරන පුරවැසි සභාවක් ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු අතර පුරවැසි අරගලයට සම්බන්ධ පාර්ශ්ව ප්‍රමුඛ ව, සිවිල් සමාජ කොටස් ඇතුළත් කර ගනිමින් සෑම ක්ෂේත්‍රයක් ම ආවරණය වන පරිදි ගොඩනැගෙන මෙම පුරවැසි සභාවේ අදහස් හා අභිලාෂයන් රාජ්‍ය පාලනයට හවුල් කර ගැනීම සඳහා විධිමත්, හරයාත්මක සහ කාර්යපටිපාටිමය නෛතික ප්‍රතිසංස්කරණයන් ඇති කළ යුතු ය.

    1. පොදු දේපළ සම්බන්ධයෙන් ඇති නිර්වචනය වඩf පුලූල් කළ යුතු බව

    7.1 ව්‍යවස්ථාවේ පොදු දේපළ සම්බන්ධයෙන් ඇති නිර්වචනයට මෙම අංශද ඇතුළත් විය යුතුයි – මහජන සංඛ්‍යාත, ස්පර්ශ අස්පර්ශ සංස්කෘතික උරුමයන්, ජෛව විවිධත්ව උරුමයන් සහ කාබන් පා සටහන් (carbon foot print)
    7.2 පාර්ලිමේන්තුවේ අනුදැනුම ඇතිව පොදු දේපළ ගිවිසුම් සහ විදේශ ණය ලබා ගැනීම/ සුරක්ෂිත කිරීම සඳහා ගිවිසුම් අත්සන් කිරීමට විනිවිදභාවයක් ඇති යාන්ත්‍රණයක් සකස් කළ යුතු ය.
    7.3 ශ්‍රී ලංකාව විදේශ වෙළඳ ගිවිසුම්වලට එළඹීම ජාතික වෙළඳ ප්‍රතිපත්තියකට අනුකූලව සිදු විය යුතු ය.
    7.4 ජාතික සම්පත් සම්බන්ධයෙන් මහජනතාවට ඇති පරමාධිපත්‍යය තාවකාලිකව හෝ දීර්ඝකාලීනව අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට අයිතියක් නොමැති අතර එය යෝජිත ව්‍යවස්ථාවෙන් තහවුරු විය යුතු ය.

    1. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු පත් කිරීමේ විධිවිධාන යාවත්කාලීන කළ යුතු බව
      සියලු පක්ෂ තුළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු පත් කිරීමේ දී නියෝජනයක් නොලබන කණ්ඩායම්/ විශේෂත්ව දැනුම සහිත පුද්ගලයන් ඇතුළත් කිරීමට සහ එම ඡන්දයේ දී මහජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයන් පත් නොකිරීමට ව්‍යවස්ථාවෙන් විධිවිධාන සැලසිය යුතු ය.

    2. මහජන නියෝජිතයින්ට පක්ෂ මාරු කිරීමට ඇති ඉඩකඩ අවම කළ යුතු බව
      මහජන නියෝජිතයින්ට හෘද සාක්ෂියට ඒකගව පක්ෂ මාරු කිරිමට ඇති අයිතිය පිළිගන්නා අතරම බලය හෝ වරප්‍රසාද අරඹයා පක්ෂ මාරු කිරීමේ ඉඩකඩ අවම කළ යුතුයි. ඒ සදහා විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට ඒක්වී තනතුරු හෝ වරප්‍රසාද ලබා ගැනීම වැලකෙන අකාරයේ නීති සම්පාදනය කළ යුතුවේ.

    3. මූලික අයිතිවාසිකම් හා ගැටෙන නීති සංශෝධනය කළ යුතු බව
      මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ පනත් සංශෝධන සහ ව්‍යවස්ථාවෙන් සාක්ෂාත් කර ඇති මූලික අයිතිවාසිකම් හා ගැටෙන නීති සංශෝධන කඩිනමින් සංශෝධනය කර, මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගත යුතු ය.

    4. ස්තූතිය
      වර්ථමානයේ පවත්නා රාජ්‍යතන්ත්‍රභාවය සැලකිල්ලට ගනිමින් මෙහි නිරීක්ෂණ සහ නිර්දේශ සිදු කර ඇත.

    මෙම යෝජනාවලිය සකස් කිරීමේ දී ත්‍රෛනිකායික මහා සංඝාවහන්සේලාගේ සහ පහත සදහන් සංවිධාන සහ කණ්ඩායම් වල යෝජනා සැලකිල්ලට ගනු ලැබිණි.
    ත්‍රෛනිකායික නිකායික අතිපුජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ යෝජනා , ශ්‍රී ලංකා නීති සංගම, මාර්තු 12 ව්‍යාපාරය , සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය , ගාලු මුවදොරින් ඔබ්බට පුරවැසි යෝජනාවලිය, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය , පැෆ්රල් සංවිධානය , Direction Sri Lanka, දෙවන පරපුර , ” ebuildSriLanka2022 , සභාගීත්ව යාන්ත්‍රණයක් හරහා ජනතා ව්‍යවස්ථාවක් , ජන අරගල සහයෝගීතා ව්‍යාපාරය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය , Way forward for Young Leaders,Transparency International SL, SSU and IUS සමගිජන බලවේගය , ජාතික ජනබලවේගය , පාරිභෝගික ආරක්ෂණ පිළිබද ප්‍රතිපත්තියක් , ජාතික සාමුහික ප්‍රකාශනය , නවක මන්ත්‍රීවරුන් , ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය , මහජන සභාව , සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමය , ලංකා වාණිජ සංගමය

    06.06.2022- මාර්තු 12 ව්‍යාපාරය

     

  • දැන් පාස්කු කතන්දරය නිමිය.හරීන් සහ මනූෂගේ දේශපාලන ඉරණමද කුජීතය.

    දැන් පාස්කු කතන්දරය නිමිය.හරීන් සහ මනූෂගේ දේශපාලන ඉරණමද කුජීතය.

    ඔවුන් දෙදෙනා පාස්කු ප්‍රහාරය ගැන හඬ නගා කළ ප්‍රකාශ රාජපක්ෂ වරුන් මහත් කම්පනයට පත් කරන්න⁣ට සමත් විය
    ඔවුන්ගේ දේශපාලන ඉරණම අන් තැනක රහසේ ලියවෙන්නට ගත්තේ එතැන් සිටය.

    ඕනෑම අයෙකුගේ පෞරෂය තුළ හිඩැසක් ති⁣බේ.

    රාජපක්ෂවරු ගේම ගහන්නේ එය හඳුනා ගැනීමෙන් පසුවය.එය හරියට නිල සාස්තරයට අනුව ගුටියක් අනිනවා වාගේය.
    පාස්කු ප්‍රහාරය පිළිබඳව රට පුරානැගී ආ විරෝධයෙන් ගොඨා සසල වෙද්දී බැසිල් හාමු වැඩේ අතට ගත්තේය.

    පාර්ලිමේන්තුව තුල පාස්කු ඛේදවාචකය ගැන මර ලතෝනි දුන් ඔවුන් දෙදෙනා……ඔව්….ඒ හරීන් හා මනූෂය…
    ඒ දෙදෙනාගේ පෞරෂ හිඩැසට රිංගන්නට බැසිල් හාමුට හැකිවිය.මෙරට දේශපාලනයේ බොහෝ කරණම් සිද්ධවෙන්නේ මේ පෞරෂ හිඩැස අස්සේය.

    එය සරලව කියනවා නම් අත් අඩංගුවට පත් වී කූඩුවේ සිටින කුඩ්ඩෙකුට සංතෝෂම් කුඩු පැකට් එකක් දී තව කුඩ්ඩන් ගනනාවක් බිලි බා ගන්නට හැකි බව පොලීසිය දනී…

    දැන් අර පාස්කු කතන්දරය නිමිය.හරීන් සහ මනූෂගේ දේශපාලන ඉරණමද කුජීතය.

    කොහේ හෝ පොතක ලියවී තිබුණ මේ හරුපය මගේ මතකයට ඒ….

    “..වැද්දාත් බල්ලාත් දඩයම සදහා හාවා පසුපස පන්නද්දී බල්ලා සිතන්නේ වැද්දාත් තමාත් එක සමාන බවය…..එහෙත් හාවා ඩැහැගන්නා බල්ලාගෙන් වැද්දා එය තමා සන්තකයට ගත් විට තමා ගෙන ආවේ දඩයමට බව බල්ලා තේරුම් ගනී.”

    බල්ලා එය තේරුම් ගත්තද හරීන් හා මනූෂ

    තමන්ට සිදුවූ දෙය තේරුම් ගන්නට තව ටික කාලයක් ගනු ඇත……

    එහෙත් බල්ලා නොදන්නා දෙයක්ද තිබේ…ඒ මෙහිදී දඩයම් දෙකක් සිදුවුන බවය…..

    Lokuliyana Keerthi

  • අයිස් කැට වර්ෂාව මධ්‍යයේ වුව ඉතාලියේ ජනතාව ගෝඨා ගෙදර යවන උද්ඝෝෂනයේ

    අයිස් කැට වර්ෂාව මධ්‍යයේ වුව ඉතාලියේ ජනතාව ගෝඨා ගෙදර යවන උද්ඝෝෂනයේ

    රටේ පවතින වර්තමාන අර්බුදයන් වලට වගකිව යුත්තා වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ජනතාව වීදි බසින්නට පටන් ගෙන එළඹෙන 9  වැනිදාට මාස දෙකක් ගත වෙනවා. ගාලුමුවදොර භූමිය  ජනාධිපති ලේකම් කාර්යාලය  අසල රටේ ජනතාව අරගල බිමක් නිර්මාණය කළේ ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න බලකරමින්. මේ අරගලයට පීඩාවට පත්ව සිටින සමස්ථ රට වැසියාම එක්වී දායකත්වය සපයමින් සිටී.

    විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ද මේ අරගලය ආරම්භයේ සිටම තමන්ගේ දායකත්වය සපයමින් ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවන්න මෙන්ම මහින්ද රාජපක්ෂට ගෙදර යන්න බලපෑම් කරන්න  ක්‍රියාමාර්ග ගනිමින්, උද්ඝෝෂණ කරමින්, රට වෙනුවෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරනු ලැබුවා.

    ඊයේ ඉතාලියේ Brescia නගරයේදී  ගෝඨාභය රාජපක්ෂටත් වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවටත් එරෙහිව රට තුළ ගෙන යන අරගලයට සහාය පළ කිරීමේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වනු ලැබුවා. පැය හයක් පමණ දීර්ඝ කාලයක් පැවති එම උද්ඝෝෂණයේ දී විවිධ සංස්කෘතිකාංග සමගින් විවිධ දේශපාලන පක්ෂ සංවිධාන සහ ආගමික නායකයින් ඊට දායකත්වය සපයමින් එම විරෝධතාවය ශක්තිමත් කළා.

    ජාති ආගම් පක්ෂ භේදයකින් තොරව මේ විදෙස්ගත ශ්‍රීලාංකිකයන් එකතුව එකාවන්ව හඬනගා කියන්නේ රටේ බහුතර ජනතාවගේ හඬට කන් දී ගෝඨාභය රාජපක්ෂ ගෙදර පලයන්  ජන වරමක් නැති නිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවත් අරගෙන කියන එකයි.

    එම උද්ඝෝෂණය අතරතුර හදිසියේ අයිස් කැට වැහි කුණාටුවකින් බාධා සිද්ධ වුවත්  එම අයහපත් කාලගුණික තත්ත්වය පහව ගිය පසු නැවතත් උද්ඝෝෂකයන් වර්ෂාවට හසුව තෙමි සිටියද  උද්ඝෝෂණය සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය සැපයීම විශේෂත්වයක් වෙනවා.

    ජනතාවගේ විරෝධතාවය

    ආගමික නායකත්වය සහභාගිත්වය

    සංස්කෘතික අංගයන්ගේ එකතුව

  • ආහාර අර්බුදය 2011- 2050 ජාතික භෞතික සැලැස්මට  අනුව ගෝඨාභය කඩිනම් කරපු එකක්

    ආහාර අර්බුදය 2011- 2050 ජාතික භෞතික සැලැස්මට  අනුව ගෝඨාභය කඩිනම් කරපු එකක්

    වර්තමාන ආහාර අර්බුදය පිළිබඳව විවිධ මත පළ වෙමින් තිබෙනවා. මේ  අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවක පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්  මේ අර්බුදය පිළිබඳ වෙනස්ම අදහසක් පළ කරනු ලැබුවා. ඔහුට අනුව මේ අර්බූදය ස්වභාවිකව නිර්මාණය වූවක් නොවෙයි මේ හිතාමතාම සැලසුම් සහගතව නිර්මාණය කළ එකක්.පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්  දැක්වූ අදහස් සංක්ෂිප්තය පහත පරිදි වේ.

    වර්තමානයේ ලංකාව තුළ උද්ගතව ඇති ආහාර අර්බුදය ස්වභාවිකව නිර්මාණය වූවක් නොව කෘතිමව නිර්මාණය කළ එකක් බව පැහැදිලි වෙනවා. ආහාර අර්බුදය පිළිබඳව කලින්ම ජනතාව දැනුවත් කරමින් බිය වද්දා මේ සඳහා සූදානම් කළේ ආණ්ඩුව සහ ගෝඨාභය රාජපක්ෂගේ  පූර්ණ අනුග්‍රහය ඇතිවයි. මෙය හුදු ප්‍රකාශයක් නොව ඒ සඳහා බලපාපු හේතු ගණනාවක් තිබෙන බවත් එය මේ පවතින ආර්ථික සමාජ දේශපාලන ක්‍රමවේදයේ ම කොටසක් ලෙස අප හමුවට පැමිණ තිබුනත්, වඩා ඉක්මන් කර කෘතිමව නිර්මාණය කිරීමේ කාර්යභාරය සිද්ධ කරන්නේ මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වර්තමාන ආණ්ඩුවේ කොටස්කරුවන්.

    2011- 2050 ජාතික භෞතික සැලැස්ම ක්‍රියාවට නැගීමේ කොටසක් හැටියට මේ ආහාර අර්බුදය අපට හඳුන්වන්න පුළුවන්. මේ සැලැස්මට අනුව රටවල් 36 ක් සමග එකගතා ඇති කරගෙන තිබෙනවා ලංකාවේ ආණ්ඩුව අපේ රටේ ඉඩම් ඒ රටවල් වල සමාගම්වලට ලබා දෙන්න. 2011- 2050 ජාතික භෞතික සැලැස්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ අපේ ගොවියාව ගොවි බිමෙන් ඉවත් කළොත් පමණයි. ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාවට නගන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. පහුගිය අවස්ථා ගණනාවකදී ලෝක බැංකුව පවා ප්‍රකාශ කළා වී ගොවිතැන පාඩුයි කියල.  කුඩා ඉඩම්වල වී ගොවිතැන සිදු කිරීම පාඩුයි. ඒ සඳහා දරන්න වෙන පිරිවැය වැඩියි. පුංචි ඉඩම් කට්ටි වල ගොවිතැන් බත් කරන ගොවියන් මෙන්න මේ ආකල්ප යොදලා ඉවත් කිරීම සඳහා වූ මානසික වියවුල නිර්මාණය වෙමින් තියෙනවා.  මේ සියලූ සැලසුම් ඉලක්ක වෙන්නේ ලංකාවේ ගොවි බිමෙන් ගොවියාව ඉවත් කර ඉහත සඳහන් බහු ජාතික සමාගම් වලට අපේ ඉඩම් අත්පත් කර දෙන්නටයි.

    අධික රසායනික පොහොර භාවිතයට අපි කවුරුත් විරුද්ධයි. නමුත් එහෙමයි කියලා එක රැයින් කාබනික පොහොර ගොවිතැනට නිර්දේශ කළොත් අසාර්ථක වෙන්නේ ගොවිබිම. මේ ආණ්ඩුව සායනික පොහොර භාවිතයට මිනිස්සුන්ගෙන් එල්ලවී තිබුණු විරෝධය පාවිච්චි කරලා එකපාරටම කාබනික පෝර භාවිතයට ගියා.  2021 – 2050 ජාතික භෞතික සැලැස්මට අනුව ඉඩම් ටික අත්පත්කරගැනීමේ උවමනාව ඇතිවගොවිතැන විනාශ කිරීම සඳහා තමයි මේ ක්‍රියාවලිය ආරම්භ කළේ. රසායනික පොහොර අවම කිරීමේ ක්‍රියාවලිය අඩුම වශයෙන් අවුරුදු පහක සැලසුමක් ඇතිව සිදු කළ යුතු දෙයක්. එක රැයින් මේක කරන්න බැරි හේතුගණනාවක් තියෙනවා. එක ගොවි බිම දීර්ඝ කාලයක් තිස්සේ රසායනික පොහොරවලට හුරුවෙලා තියෙන්නේ. දෙක  ගොවියා කාබනික පොහොර වලින් ඈත්වෙලා දීර්ඝ කාලයක් ගතවෙලා දැන් ඔවුන් රසායනික පොහොර භාවිතය  පිළිබඳව තමයි වඩාත් දැනුවත්. කාබනික පොහොර භාවිතයට ගොවිතැන හුරු කරනවා නම් ක්‍රමානුකූලව පස ඊට හුරු කරමින් ගොවියා ව ද ඒ සඳහා දැනුවත් කරමින් තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතුව තිබුණේ. දැන් මේ වැඩේ කඩිමුඩියේ කරන්න ගිහින් සිද්ධ වෙලා තියෙන්නේ රට ආහාර අර්බුදයකට යටත් වීමයි. ඒ අනුව ගත්තහම ලංකාවේ වර්තමාන ආහාර අර්බුදය ඉතා දැනුවත් භාවයෙන් සැලසුම් සහගතව නිර්මාණය කළ එකක් බව අපට සනාථ කරන්න පුළුවන්. ලෝක බැංකුව සහ දැවැන්ත මූල්‍ය ආයතන වල උවමනාව අනුව  ලංකාවේ ආණ්ඩුව විශේෂයෙන්ම රාජපක්ෂලාගේ  වර්තමාන ආණ්ඩුව මේ ක්‍රියාවලිය කඩිනම් කරමින් ක්‍රියාත්මක කළා.

  • ” ඔය පල් හොරුනි කියලා කියන්නෙ අපට;මට;අපි ඔක්කොට ම. “

    ” ඔය පල් හොරුනි කියලා කියන්නෙ අපට;මට;අපි ඔක්කොට ම. “

    මංජුල වෙඩිවර්ධන මේ සින්දුවට මුල් වෙච්ච කෙටි කවිය ලියන්නෙ 1997ට ආසන්න කාලෙ.ඒ අවුරුද්දෙ පළ වෙච්ච ” නිරුත්තර සමාධිය ” කියන පොතේ තමයි මේ කවිය මුල් වතාවට පළ වෙන්නෙ.එතන තිබුණෙ මෙහෙම;

    “පල් හොරුනි මල් නො වන මගේ කවි
    ගල්වගේ දමා ගසනෙමි තොපට
    පල් වෙච්ච මඩ වලක් කෙරුවාට
    මල් සුවඳ හමා ගිය මගේ රට”

    මේ පද සින්දුවක් වෙනකොට ” මඩ වලක් ” කියන කොටස යි ” මල් සුවද ගලා ගිය ” කියන කොටස යි අයින් වෙනවා.ඒ කොටස් ඉවත් නො කෙරුවත් සින්දුවෙ සුගායනීය භාවය යි රිද්මය යි පවත්වාගෙන යන්න පුළුවන්.හැබැයි ඒක ප්‍රශ්නයක් නො වෙන්නෙ සින්දුවෙ ස්ථායි කොටසෙන් ඒවා ඉවත් කෙරුවට අන්තරා කොටස්වලින් ඒ සංඥා පූර්ණය වෙලා තියෙන නිසා.

    අන්තරා කොටස් ගැන කතා කළාට මව් කවියෙ තියෙන්නෙ අර ඉහළ දක්වලා තියෙන කොටස විතර යි.අන්තරා කොටස් රචනා වෙන්නෙ ම මේ කවිය සින්දුවක් කිරීමට ඇති වෙච්ච අවශ්‍යතාවය නිසා.කවිය ලියැවිලා අවම වශයෙන් අවුරුදු 25කට පස්සෙ මේ කවිය ගායනා කරන්න කෙනෙකුට හිතුණ නම් වෙඩ්ඩා ඒ වෙනුවෙන් අමුතුවෙන් අන්තරා කොටස් ලිවුව ම මොනව වෙනව ද ?

    වැදගත් වෙන්නෙ සින්දුව ඇතුළෙ ලියලා තියෙන අන්තරා කොටස් මොනවද, කියන එක මිසක් කවිය ඇතුළෙ අන්තරා කොටස් තිබුණ ද, නැද්ද, කියන එක නෙවෙයි.ඒ අර්ථයෙන් බැලුව ම මේ අන්තරා කොටස්වල දැක ගන්න පුළුවන් ප්‍රධානතම ලක්ෂණය තමයි මනුෂ්‍යත්වයට අදාළ අතිමූලික ද්වී විභේදිත(binary) අක්ෂ දෙකක් මුහුණට මුහුණ ගැටෙන්නට සැලැස්සීම.එහෙම වුණා කියලා කවියා ඒ පක්ෂ දෙක දැක්වීමෙන් නතර වෙන්නෙ නෑ.කවියාට නිශ්චිතව ම මේ අතරින් මනුෂ්‍යත්වයට පක්ෂ පාර්ශ්වය තෝර ගැනීමට සිද්ද වෙනවා.

    මුලින් ම එහෙම දෙපසින් තබන අක්ෂ දෙක වෙන්නෙ ” කල්පාන්තය ” යි ” කල් බලන කවිය ” යි.සෙල්ලමට පව් කරන පව්කාරයින් නැමදීම වෙනුවට කල් බලන කවියකට ඉඩ දිය යුතු බව කවියාටත් වඩා ඉහළින් ගායිකාව ගයනවා.එය සිදු කර ගත හැක්කේ කොහොමද, කියන එකත් ” අන්ධකාරය වැළඳ නින්ද පතුලක නො ඉඳ ” කියන කොටසින් කවියා යෝජනා කරලා තියෙනවා.ඒ කියන්නෙ කවියා ඇතුළු මෙහි සියලු නිර්මාපකයින් මේ නිර්මාණයේ දී නිශ්චිතව ම මනුෂ්‍යත්වයේ පැත්ත ගන්නවා.අවුරුදු 25කට පස්සෙ පත්තු වෙන කවියක් ලියපු වෙඩ්ඩට ” කල් බලන කවියකට ඉඩ දෙමු ද ? ” කියලා අහන්න කොයි තරම් නම් සුදුසුකමක් තියෙනවද ? මේ අපේ සමාජය වේගයෙන් කල්පාන්තය කරා යන්නෙ ඒ වගේ කල් බලන කවිවලට ඉඩ දුන්නෙ නැති නිසා නේද ?

    දෙවෙනි අන්තරා කොටසෙත් එහෙම ම යි.එතන මුණ ගස්වලා තියෙන්නෙ ” වෘකයින් ” කියන එක යි ” සුන්දර ම මල් සුවඳ ” කියන එක යි.එතන දිත් නිර්මාපකයින් ” සුන්දර ම මල් සුවඳ ” එක්ක හිට ගන්නවා.” කළ යුත්තේ කුමක් ද ? ” කියන වාමාංශිකයන්ගේ අතිමූලික ගැටලුවට වෙඩ්ඩා, වෙඩ්ඩාගේ ම විදියකට ප්‍රතිචාර දක්වලා තියෙනවා.හැබැයි මෙතන දි වෙඩ්ඩා ” පන්තිය ” කියන සාධකය වෙනුවට ” රට ” කියන සාධකය පෙරට ගන්නවා.

    දැන් මතු වෙන ප්‍රශ්නයක් තමයි මේ මල් සුවඳ හමා ගිය රට කාගෙද, කියන එක.මේ අරගල අවස්ථාවෙ ඒ රට, ශ්‍රී ලංකාව වගේ දැණුනට මේ සින්දුවෙන් කියන ” රට ” ලෝකෙට ම පොදු එකක්.මොකද,ධනේශ්වර ක්‍රමය ඇතුළෙ හැම රටක් ම වගේ
    අඩු වැඩි වශයෙන් පල් වෙච්ච මඩ වළක් වෙලා තියෙන නිසා.ඒ නිසා මේ සින්දුව ඊනියා ජාතිකවාදී රාමුවෙ නතර වෙනවා කියලා කියන්න බෑ.

    අනෙක් ප්‍රශ්නය තමයි මේ සින්දුවෙ ” පල් හොරුනි ” කියන්නෙ කාටද,කියන එක.සමහර විට මේ සින්දුව අහන ගොඩක් දෙනෙකුට ඒක ප්‍රශ්නයක් නො වෙන්න පුළුවන්.මොකද,සින්දුවෙ ස්ථායි කොටස ඉවර වෙද්දි ම මේ කියන්නෙ නිශ්චිතව ම දේශපාලකයන් ගැන කියලා අදහසක් අපි හදාගන්න නිසා.වෙඩ්ඩගෙ වුණත් ඉලක්කය ඒක ම වෙන්න පුළුවන්.

    ඒත් අපට ඊට වඩා ටිකක් වෙනස් විදියට මෙහෙම හිතෙනවා.

    ” ඔය පල් හොරුනි කියලා කියන්නෙ අපට;මට;අපි ඔක්කොට ම. ”

    මේ ක්‍රමය ඇතුළෙ දේශපාලකයො විතරක් නෙවෙයි.අපි ඔක්කොම හොරු වෙලා නැද්ද ? මේ විනාශයට අපි ඔක්කොම වගකියන්න ඕන නැද්ද ?ලංකාවට අදාළව ගත්තොත් අවුරුදු 74ක් තිස්සෙ මාරුවෙන් මාරුවට හොරුන්ව පාලකයො කර ගන්න අපි කැමති වුණේ අපි ඇතුළෙත් අවිඤ්ඤාණක ලෙස ක්‍රියාත්මක වෙන පල් හොරෙක් ඉන්න නිසා නෙවෙයි ද ? උතුරෙ දකුණෙ තරුණයන් මරා දාද්දි ඒවට සහයෝගය දීපු කිරිබත් කාපු අපි පල් මිනීමරුවො නෙවෙයි ද ? තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැහැපු මිනිස්සු වෙඩි තියලා මරනකොට නිහඬව බලා හිටපු අපි පල් තක්කඩි නෙවෙයි ද ? පාතාලෙ සාමාජිකයන,බන්ධනාගාර රැඳවියන් අනීතික විදියට මරලා දාද්දි යටි හිතෙන් සතුටු වෙච්ච අපි පල් නරුමයන් නෙවෙයි ද ?

    මේ සින්දුවෙන් අපි කම්පනයට පත් වෙන්න ඕන ඒ නිසා නෙවෙයිද ?

    උපුටා ගැනීම රළ වම අතිරේකයෙන්