Tag: දිලිප් කුමාර ලියනගේ

  • ස්වාභාවික පරිසරය ජයග්‍රහණය කිරීමේ භාවිතයක් ලෙස නිවුන්ගේ කවිය

    ස්වාභාවික පරිසරය ජයග්‍රහණය කිරීමේ භාවිතයක් ලෙස නිවුන්ගේ කවිය

    මිනිසා සිය හාත්පස පරිසරය ස්වාභාවික යනුවෙන් විශේෂකරණයට ලක් කරනුයේ තම බුද්ධිය කෘතීම එකක් ය යනුවෙන් හඳුනාගත් විට ය.

    නොමැති නම් කෘතීම මිනිස් චින්තනය පරිසරය තමන්ගෙන් දුරස් කොට තබා ගන්නා ආකාරය ස්වාභාවික යන නාම විශේෂයෙන් රේඛාගත වේ.

    එම බෙදීම හඳුනා නොගත් කවියකු අතින් බිහිවන්නේ හුදු සෞන්දර්ය වන්දනාලාප පමණි.

    එහෙයින් කවියා තමන් වසන සමාජ පර්යාය ජයග්‍රහණය කිරීමේ අරමුණින් කවිය භාවිතා කරනවා මෙන්ම තමන්ගේම බුද්ධියෙන් බහිෂ්කරණය වූ ස්වභාවික පරිසරය ජයග්‍රහණය කිරීමටද කවිය භාවිත කරයි.

    ඊට හේතුව සබුද්ධික කවියාට හාත්පස පරිසරය සිය සමාජ අවබෝධනය හා සමාජ විවේචනය සිහිපත් කරවමින් ඔහුගේ සිහිය සක්‍රීය කරවන නිසාය.

    මෙම සක්‍රීයත්වයේ වෙහෙස කලාත්මක කවියක් බවට පත්වූ විට ඔහුගේ ආත්මය ලබනුයේ ප්‍රීති ප්‍රමෝදයෙන් හෙබි සැහැල්ලුවකි.

    මෙම ප්‍රවේශය වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල ගේ අභිනව කාව්‍ය සංග්‍රහය වන “සුනිල මිණි” වෙනුවෙනි.

    නිවුන්ට තමාගේ හාත්පස පරිසරය හැඟෙනුයේ ප්‍රාථමික මිනිසාට පරිසරය හැඟෙන නිකලැල් අර්ථයෙන් නොවේ. එය සමාජීය සත්තාව පිළිබඳ නිරීක්ෂණාත්මක විවේචනයන්ගෙන් දූෂණය වූවකි.

    නිවුන්ගේ කවිය බිහි වන්නේ එම දූෂණය පරිසරයට ආරෝපණය කොට ප්‍රථමයෙන් පරිසරයත් දෙවනුව සමාජයත් ජයග්‍රහණය කිරීමේ උට්ඨාන වීර්යය නිසාය.

    එහෙයින් නිවුන්ගේ කවිය ස්වභාවික පරිසරය කලාත්මකව දූෂණය කරන්නෙකි. එනිසාම ඔහුගේ කවියට ඇබ්බැහි වූවෙකුට පරිසරය නැවත සංජානනය වන්නේ ස්වාභාවික ලෙස නොව අදහස්මය ගොඩනැංවීමක් ලෙසිනි.

    ඒ නිසාම ඔහුගේ කවිය ක්ෂණික වාගාලාපයක් වනවා වෙනුවට කිසියම් ආකාරයකට සහෘදයා නවතා අමතන සුලු ගුණයක් ලබයි
    (මෙහිදී මා දූෂණය යන වචනය භාවිතා කරනුයේ සාධනීය අර්ථයෙනි).

    ඔහුගේ ඇතැම් කවි ඔහු ඇඟිල්ල දිගු කොට අපට පෙන්වන සමාජය පිළිබඳ යථාවක් වනවා මෙන්ම අප වසාගෙන සිටින අපගේම ජාගර චෛතසිකයෙහි ආශා කලාප පිළිබඳ =සංඥාකාරකයකි=

    පහත කවිය උපුටා නවතිමි

    යාන්තම්
    පොහොට්ටු මතුවුණු
    මල් පැල
    සල්පිල්වල

    දිලිප් කුමාර ලියනගේ

  • භාව සංස්කරණීය කවියක් “දුරේක්ෂ මානන්නා හෙවත් තාරුකා පාරන්නා”

    භාව සංස්කරණීය කවියක් “දුරේක්ෂ මානන්නා හෙවත් තාරුකා පාරන්නා”

    භාව සංස්කරණීය කවියක් හෙවත් නදුන් යසිත දිසානායකගේ “දුරේක්ෂ මානන්නා හෙවත් තාරුකා පාරන්නා”

    •නඳුන් මට පෞද්ගලිකව හමුවුණු වෙලාවකදිත් කිව්වෙ “අයියෙ, මම ගඹුරු කවියක් හොයමින් ඉන්නවා කියලා”

    •එම පර්යේෂණයේ සාධනීය දිගුවක් ලෙස මට මේ නව කෘතිය පෙනෙනවා.

    •කවියෙකුට භාෂා සංස්කරණය සේම, භාව සංස්කරණය ද කෙතරම් වැදගත් ද කියන එක සංඥා කරමින් මේ පොත රචනා වෙලා තියනවා.

    •නූතන කවියේ තියන භාවාතිශය ගුණය හෙවත් භාවයන්ගේ අතිශය ගුණය වෙනුවට භාවාත්මක ගුණය නිසි පරිදි පමණක් රැක ගැනීමට නඳුන් මෙහිදී සමත්.

    •කවිය කවියක් ලෙසම පවතින්නට නම් භාව කණිකාවන්ගේ මෙන්ම දාර්ශනික කණිකාවන්ගේද සමතුලිත සම්මිශ්‍රණය අවශ්‍යයි.

    •නූතන බොහෝ කවි වල අවසන ඉතිරි වන්නේ කියවන්නියගේ හුදෙකලා භාවයන් මත නැවත සාංකාභරිත රිදුමක් පමණයි

    •එය කියවන්නිය සිය පීඩිත සංස්ථාපිතය තුළම ප්‍රතිරඳවන්නක් විනා, එය පුපුරවා හැරීමට බල කරන්නක් නොවේ. නොමැති නම්, ඒ වනාහි ඉන්නා තැනම ඉන්නට කරන මිත්‍ර යෝජනාවක්.

    •නඳුන්ගේ අහිමිවීම හා බැඳෙන බොහෝ කවි වලද ඉහත ලක්ෂණයෙන් මිදීමේ ප්‍රාබල්‍ය දක්නට නොතිබුණද, ඇතැම් නිර්මාණ තුළ කියවන්නිය භාව තලයෙන් දාර්ශනික ආලෝචනයකට ඔසවා තබන ප්‍රබලත්වය අන්තර්ගත වෙනවා.

    •එයින් එකක් “කුරුල්ලෙක් ගිලෙයි මගෙ අහස් සිත් මතක මත” යන කවිය, එය විශිෂ්ටයි.

    •අනෙකා (other) මත හෙලන බැල්ම (gaze) ප්‍රතිබැල්මක් ලෙස වර්ධනය වී, එම බැල්ම තුළ තම බැල්ම ගොදුරක් වීම යන ගැඹුරු අදහස මට ඉන් දැනෙනවා.

    “මං බලා ඉන්නෙ දැන් බෝ වෙලා සිට
    ඌ බිමට බසී යැයි කීස් ගාගෙන
    ඒත් දැන් මට බයයි උගෙ ගොදුර ලෙස
    පෙනී ඇතිදැයි ඌට මග බලන මම”

    •මට එම දැනුම මගේ පෞද්ගලික මිනිස් සබඳතා මෙන්ම මගේ සමාජීය සබඳතා දෙස ද, ප්‍රති අවලෝකනයකට අවශ්‍ය නූතන දැනුමක් අරගෙන එනවා.

    •මිනිහගෙ පෙරවදනත් මෑත මං කියවපු ලස්සන උත්ප්‍රේරණයක්.

    “සමස්ත කවිය කියවනු වෙනුවට සමීප ව කවිය කියවීමට උත්සාහ කිරීම, කවිය ගැඹුරින් තේරුම් ගැනීමට ඇති මාර්ගය යි. කවිය හදිසියේ බිහි වන්නේ නැති සේ ම හදිසියේ කියවන්නට ද නොහැකිය. කවි දුර්ලභ වන විට කවි විඳින්නන් සුදුර්ලභ වන්නේද එබැවිනි.

    මේ කවි කියවා, නැවත කියවා, නොකියව්, විසිරී යන යම් මොහොතක, ඔබට මා හමු විය හැකි ය. හමු නොවිය ද හැකි ය. කවියක සුවිශේෂීත්වය නම් හමු නොවී බොහෝ දුර යාම ම ය.”

    •කුඩයක් ද කිහිලිගන්වා ගෙන නාත්තණ්ඩියේ පොළව මත බරට අඩි තබන සහෝදර කවියාට සුබ පතනවා! ඔහොම යං මචං..

  • තෘතීය පරිකල්පනයක අවශ්‍යතාවය – බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’ පිළිබඳ

    තෘතීය පරිකල්පනයක අවශ්‍යතාවය – බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’ පිළිබඳ

    •සාමාන්‍යයෙන් පරිකල්පනය යනුවෙන් අදහස් කෙරෙනුයේ නිර්මාණයට අවශ්‍ය දේ සිතින් මවා ගැනීම ය. ප්‍රාථමික පරිකල්පනයේ දී බාහිර වස්තු මනස තුළ මැවෙන අතර, ද්විතීය පරිකල්පනයේදී එම වස්තු පිළිබඳ ලේඛකයාගේ අර්ථමය මවා ගැනීම සිදුවේ.

    •වර්තමාන නිමේෂය තුළ නිර්මාණකරුවෙකුට තෘතීය පරිකල්පනයක් අවශ්‍ය වන්නේ ඔහු විඳින වාස්තවික තතු මෙන්ම ආත්මීය තතු ද අතිශය සංකීර්ණ වන බැවිනි.

    •නොමැති නම් ඉහත ද්විතීය පරිකල්පනයෙන් විනිවිදිය නොහැකි බැවිනි. මෙහිලා රුවන් බන්දුජීව මගේ පරපුරේ ඉදිරියෙන්ම සිටින කවියා ය.

    •ඔහුගේ ‘මීළඟ මීවිත’ නම් වූ ප්‍රථම කාව්‍ය සංග්‍රහයට වඩා ධූමලාවණ්‍යාගාරයේදී පරිකල්පනයට බඳුන් වනුයේ විවිධ සංකේත වටිනාකම් වලින් හෙබි පුද්ගල චරිත,සිදුවීම් හා ස්වාභාවික වස්තූන් ය.

    •එහි උපරිමය ලෙස මට හැඟෙනුයේ ‘කුඩා කුඩා බැකෝ යන්ත්‍ර’ නමින් ඔහු ලියන කවිය ය. මෙතුවක් මනුෂ්‍යයාට යාන්ත්‍රිකත්වයක් කැවූ පරිකල්පනයට වඩා, යන්ත්‍ර සූත්‍ර වලට මනුෂ්‍යත්වයක් කැවීම අතිශය නූතන පරිකල්පනයකි. පශ්චාත් නූතන ධනවාදී ශ්‍රමිකයා, නොමැතිනම් කම්කරුවන් පිළිබඳ වමට ද පය ගැසීමට නොහැකි වූ අර්ථ කලාපයකි.

    කුඩා කුඩා බැකෝ යන්ත්‍ර

    කුඩා කුඩා බැකෝ යන්ත්‍ර මහපාරක් කපනවා
    දෙපා රෝද හරව හරව – පොලවේ පස් ගලව ගලව
    කුඩා කුඩා බැකෝ යන්ත්‍ර මහපාරක් කපනවා

    දහය හමාරට වාගේ – තේ ජෝගුව වටේ ඉඳන්
    කුඩා කුඩා බැකෝ යන්ත්‍ර ගස් යට හති අරිනවා

    දවල්ට එන බත් මුල් ටික- උඩින් උඩින් අනලා ගිලලා
    කුඩා කුඩා බැකෝ යන්ත්‍ර ගස් යට විට හපනවා

    ඇණ මුරිච්චි කකියනකොට
    පපුවේ ඔයිල් හිර වෙනකොට
    කුඩා කුඩා බැකෝ යන්ත්‍ර ග්‍රීස් ගාලා නානවා
    නාන ගමන් ගල් පොතු උඩ මළකඩ පිට උලනවා

    කුඩා කුඩා බැකෝ යන්ත්‍ර
    බූරු ඇඳන් උඩ නැගගෙන
    රෑට ඕමි බලනවා
    එහෙම ඕමි බලන ගමන්
    පුංචි රේඩියෝ එකකින් සින්දු අරන් අහනවා

    බැකෝ යන්ත්‍රයක අතරැඳි
    ඉස්කෝප්ප කොලරැජින ට
    නැවිකට් දුම වදිනවා
    රැජින විජිනි පත වන අතින් නහය වහනවා

     

  • “ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමිය” – දිලිප් කුමාර ලියනගේ අඛ්‍යාන කාව්‍ය පිළිබඳ විමසුමක්

    “ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමිය” – දිලිප් කුමාර ලියනගේ අඛ්‍යාන කාව්‍ය පිළිබඳ විමසුමක්

    දිලිප් කුමාර ලියනගේගෙ අලුත්ම කවි පොත ‘ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමිය’, බරපතළ ප්‍රමාණයේ සූක්ෂම කියැවීමක් අපේක්ෂා කරන කෘතියකි. ඒ කෘතියේ සමෝධානිත (Montage) ස්වභාවය නිසාය.

    පන්සිය පනස් ජාතක කෘතියේ එන ජාතක කතාවක් ඊට පාදක කර ගත්තද බෙහෝ නූතන පඨිතයන් ප්‍රමාණයක් සමග සමෝධානය වෙමින් එය සංකීර්ණ මනෝභාව සංකීර්ණයක් ගොඩනගනා බැවිනි. එබැවින් මේ පඨිතයන් අතර අන්තර්පාඨනයක් පාඨකයා වෙතින් පූර්වාපේක්ෂා කෙරේ. එකී අන්තර්පාඨනයේදී පාඨකයාට ලැබෙන ‘ඉඩ‘ විසින්ම ‘නොඉවසිලිමත් පාඨකයකු‘ මංමුලා වීමට ඉඩ ඇත. එහෙයින්, එකී මංමුලා වැල් පාගා නොගෙන කෘතිය කියවීමට සුවිශේෂ විනයක් කෘතිය විසින් පූර්වාපේක්ෂා කෙරේ.

    ‘යුද්ධයෙන් දිනූ දකුණට
    විවේකය ලැබුණෙය
    කියවන්නට ජාතක
    අටුවා ටීකා ටිප්පණි ගැටපද

    වෙඩි හඬ
    රතිඤ්ඤා හඬින් යටපත් කළ
    නියම්ගමක සිට
    මම කියවමි
    බන්ධන මොක්ඛ ජාතකය’

    (පිටුව 23)

    කෘතිය ආරම්භයේදීම තමා බන්ධනමොක්ඛ ජාතක කතාව පදනම් කරගන්නා වගත්, එය සමකාලීන පශ්චාත් යුද දකුණු ලංකා සනදර්භයක පිහිටුවන බවත් කතුවාරයාම අපට පවසයි. යුද ජයග්‍රහණයෙන් පසුව ‘රාජපක්ෂ කල්ලියේ මුල්‍ය සමුච්ඡකරණයත්, ‘රණවිරු දේශපාලනයේ’ ලුබ්ධි ආර්ථිකයත් තම කාව්‍ය ආඛ්‍යානයේ ආම්භයේදීම ඉක්මනින්ම උපමාවට, රූපකයට, කාව්‍යාත්මකයට හසුකර ගැනීමට කතුවරයා සමත්වන අතර, ඒ සඳහා ‘භාෂාව දමනය කර ගන්න‘ ආකාරය හුරුබුහුටිය.

    ‘කවදා හෝ නාගයින් රිංගන
    වේ හුඹස් එකිනෙක බැඳෙන
    සරියහන් පල්ලක
    රනවිරුවෝය
    තෝමර අසිපත් යගදා
    මුවහත් තබන‘

    (පිටුව 31)

    ‘රණවිරු ගායේ‘ ලුබ්ධිමය අතිරික්තය මෙසේ කවියට හසුකර ගැනීමට දිලිප් සමත් වේ. ඒ ස්ත්‍රී ශරීරය පරිභෝජනය වශයෙනි.

    ජාතක කතාවේදී ජාතක කතාකරුවා ‘ස්ත්‍රියගේ නිසග ස්වභාවයකට’ ලඝුකරන ලක්ෂණවලට දිලිප් ඉන් එහා යන සමාජ දේශපාලන පර්යායක් ලබා දෙයි. ජාතක කතාකරුට අනුව රජු යුද්ධයට යාමෙන් අනතුරුව, බිසව පනිවිඩ ගෙන එන චරපුරුෂයන් හා සයනය කරනුයේ ‘නෛසර්ගික චපලභාවයක්’ හේතුවෙනි. එහෙත් කවියා ඊට වනස්ව, ඊට හේතු සාධක පන්ති සමාජ ව්‍යුහය තුළ හා පීතෘමූලික සබඳතා තුළ දකී.

    ‘පිරිමි දහමම රජයන
    ලොවක ගත වූ ඒ රැය
    රජකු හති හලා ගොළුවුණ
    බිසවක දිනූ තුන්යම

    ස්ත්‍රී එල්ලයට
    හරියටම වෙඩි බිඳින
    නව පන්නයේ ගිනි බට
    පිරිමි තවමත් තනා නැත.

    (පිටුව 30)

    කවියා මේ වෙනත් ලෙසකින් පවසනුයේ ප්‍රේමය විෂයෙහි පිරිමි හයිය හා රාජකීය උනුසුම විසින් ස්ත්‍රියගේ ආත්මය අරා සිටීමට පන්ති සමාජයීය පිරිමියා දරන අසාර්ථක උත්සාහය පිළිබඳවය. ඒ අනුව, යුද්ධ භූමියේ සිට පනිවිඩ ගෙන එන රාජපුරුෂයන් සමග බිසවගේ සංසර්ගය හුදු ‘ස්ත්‍රිය සතු නෛසර්ගිත පාපකාරී හැඟීමක්ය යන ජාතක කතාකරුවාගේ දෘෂ්ටියෙන් මිදී එය වඩා වාස්තවික පසුතලයක පිහිටුවා විග්‍රහ කිරීමට ‘ඉතිරි නෙතක අග‘ කෘතිය සමත් වේ.

    ‘පිය සැමියන්ගේ රුහිරෙන්
    රතුවුණු රාජ බායුග
    විරහ අඟනන් ගිලෙන
    රති ශෝක සයුර ය

    (පිටුව 36)

    මෙය දිලිප් ජාතකකතා කරුවාගේ දෘෂ්ටියෙන් රැඩිකල් ලෙස ඛන්ඩනය වීමකි. ආචාරධාර්මික හොඳ-නරක සහ ආගමික පව්-පින් ආදී ද්විත්ව ප්‍රතිපක්ෂයන් ඉක්මවා යන අක්ෂයක තම ආඛ්‍යාන කාව්‍ය රඳවන කවියා, මෙතෙක් පටන් සිය කාව්‍යාඛ්‍යානය ගොඩනගන ආකාරයෙන් අපට සිහියට නැගෙනුයේ ඉතාලි මහා කවි ඩාන්ටේගේ සුප්‍රකට කියමනයි. ‘ස්වර්යේ දලුලෑමට නම් අපායට මුල් ඇදිය යුතුය‘

    ‘බයෙන් අත වෙවුලා
    යොවුන් සෙබලෙක්
    ඇගේ ඉඟ සිහින්ව ගත්තා
    මදක් උස්සා
    කරඹ පොකුරක
    ළඟින්ම තිබ්බා
    හරිත පැහැ කටු පළස
    විටෙක ඈ පිටේ ඇණුනා
    ඒ කටුම
    සෙබළ පිටකත් තිබුණා

    (පිටුව 43)

    ආගමික විමුක්තිය යනු ප්‍රතිපක්ෂයන් බැහැර කරලීම නම්, ලෞකික, භෞතික විමුක්තිය යනු ප්‍රතිපක්ෂයන් හරහා ගමන් කිරීමය. මානුෂික සත්තාවේ රැඩිකල් මොහොත උදාවනුයේ මේ ‘හරහා ගමන් කිරීම’ මගින්ය. එය තමා තමාවම අහෝසිකර ගැනීමකි. නිශේධ කරගැනීමකි. කාව්‍ය ආඛ්‍යානය තුළ බිසවගේ

    ‘ඇත්තටම
    මං
    කවුද?’

    (පිටුව 44)

    යන ප්‍රශ්නයෙන් මෙය පිඩුකර දැක්වේ. සමාජයක රැඩිකල් මොහොතක් යනු මුලු සමාජයක්ම මේ ප්‍රශ්නය තමාගෙන්ම අසාගන්නා මොහොතයි. සමාජයකින් මේ ප්‍රශ්නයට සදා නිම කළ පිළිතුරක් අපේක්ෂා කළ නොහැකි වුවද, සමාජයක් ගමන් ගත යුතු දිශානතිය තීරණය වනුයේ මේ ප්‍රශ්නයට සමාජ ව්‍යාපාරයන් විසින් ලබා දෙන පිළිතුර මතය.

    ‘දොර ජනෙල් කවුලු පියන්පත් වහලා
    රජුගේ රාජභරණ එකිනෙක පලඳා
    සන්නාහ ඇඳුමින් ඇඳුම් දවටා
    තමන් කවුදැයි ඈ කැටපතින් ඇසුවා

    (පිටුව 44)

    පීතෘමූලික, වැඩවසම් ලක්ෂණ තවමත් සේදී නොගිය සමාජයක මේ ප්‍රශ්නය හමුවේ වැඩවසම් පිරිමි රාජකීය ප්‍රතිරූප ඉස්මත්තට පැමිණීම ලංකාවේ සමාජය හොඳින් අත්වින්ද අත්දැකීමකි.

    ‘ස සස සසස සඩ අංකිත
    නිවන්ගත රාජපුරුෂ කායන්
    කටු ගෙයින් පන ලබා විත්
    සිරියහන් දොරටුවට
    තෝමර, කුන්ත, හෙල්ලයෙන්
    තට්ටු කරනු ඇසුණා

    (පිටුව 45)

    කෙසේවුවද කෘතිය අවසානයේ කවියාගේ ප්‍රවේශයේ අපැහැදිලිභාවයක්ද ගැබ් වේ.

    ‘සාරයක් එකතැන නොරඳන

    හැඟුම් පමණින්ම දිවි ගෙවන
    ස්ත්‍රියගේ පැතුම
    තම සිරුර විනිවිද සිත දකින
    පිරිමි සියුමින්ද්‍රියකි.
    එබඳු පිරිමින්ද්‍රියන්
    නොමැති තැන

    රජුට කේලම් කියා
    බෝසත් කෙරෙහි බිඳවා
    හිස ගෙලින් ගලවා
    මරා දැමුමට ඈ උපා යෙදුවා’

    (පිටුව 56)

    පන්ති සමාජයේ සාමාජිකාවක හා රාජකීයත්වයේ හවුල්කරුවකු ලෙස බිසවගේ ආස්ථානයද අගතියෙන් තොර නොවේ. එබැවින් ඇගේ පැතුම ‘තම සිරුර විනිවිද සිත දකිනා’ පිරිමින්ද්‍රියක් යන්න ආඛ්‍යානය තුළම වුවද සනාථ නොවේ. මන්ද රජුගේ ලිංගික දේශපාලන ව්‍යාපෘතියට ප්‍රතිපක්ෂව බිසවද සිටිනුයේ ආත්මකේන්ද්‍රීය ලිංගික දේශපාලන ව්‍යාපෘතියකමය. මෙය කතුවරයා, මනෝවිශ්ලේෂණ කතිකාවද, ස්ත්‍රීවාදී කතිකාවද එක තැන පිහිටුවා සමබර කිරීමට යාමේදී සිදුකරගන්නා දාර්ශනික වියවුලකි. කෙසේවුවද කෘතියෙන් පිළිබිඹු වන එක් බරපතළ අර්ථයක් නම්, රජු, පුරෝහිත සහ බිසව යන තිදෙනාම සිටිනුයේ ආත්ම කේන්ද්‍රීය ව්‍යාපෘති තුනක බවය අප ජීවත්වන ධනවාදයේ නවලිබරල් අවධිය සම්බන්ධයෙන් එය නම් බරපතළ සත්‍යයකි. බිසව පුරෝහිතයාව තම ලිංගික ව්‍යාපෘතියේ ගොදුරක් කරගැනීමට අසමත් වූ තැන රජු ලවා ඝාතනය කරවීමට තැත් කරයි. පුරෝහිතයා නිධානයක් පිලිබඳ පවසා රජුගෙන් තම ජීවිතය ගලවා ගැනීමට කල් බලයි. බිසව ‘නිධන් හෑරීමට‘ යන මේ පිරිමින් දෙදෙනා දෙසම උඩු මහලේ සිට බලා සිටී.

    කෙසේවුවද ජාතක කතාව ප්‍රති අර්ථකථනයට ලක් කරමින් ගද්‍යමය පඨිතයන් සමෝධාන (Montage) තාක්ෂණයට මුහු කරමින් පැරණි සම්භාව්‍ය සාහිත්‍ය නූතන ගද්‍ය, පද්‍ය හා විචාර පටිතයන් සමග අපෝහකාත්මකව ඝට්ඨනය කරමින් ගොඩනැගෙන ‘ඉතිරි නෙතක් අග…’ ආඛ්‍යාන කාව්‍යය, සාම්ප්‍රදායික කාව්‍ය තාක්ෂනය නව අන්තර්ගතයකින් අභිභවනය කිරීමට ගත් බරපතළ සාහිත්‍යමය ව්‍යායාමයක් බව සඳහන් කළ හැකිය.

    රළ අතිරේකය 

  • පාඨක බුද්ධිය, විශ්වාසය, ආදරය එළි පිටම කවියෝ අවතක්සේරු කරද්දි ඒ බව දැනුන අය නිහඬව සිටින්නේ ඇයි..

    පාඨක බුද්ධිය, විශ්වාසය, ආදරය එළි පිටම කවියෝ අවතක්සේරු කරද්දි ඒ බව දැනුන අය නිහඬව සිටින්නේ ඇයි..

    උපුල් ශාන්ත සන්නස්ගලගේ යූටියුබ් නාලිකාවක් හරහා කැමතිම වැඩසටහන් මාලාවක් මේ දිනවල විකාශනය වෙමින් තියනවා. අපි කැමතිම කවි කිවිඳියන් ව ගෙනැවිත් උපුල් ශාන්ත සන්නස්ගල කවිය පිළිබඳව, ඔවුන්ගේ ජීවිතය පිළිබඳව, අනාගත බලාපොරොත්තු පිළිබඳව, කවියේ සුභසිද්ධිය පිළිබඳව ඇතුළු විශාල පරාසයක් තුළ කතාව ගොඩ නැගෙනවා. පෞද්ගලිකවම මේ පිළිබඳව යම් අදහසක් ලියන්න හිතුනේ එම වැඩසටහන තුළත් ඉන් පරිබාහිර වැඩසටහන් වලදිත් විශේෂයෙන්ම කවියෝ කරන ප්‍රකාශයක් පිළිබඳව ඇති වූ අසතුට හේතුවෙනි.

    උපුල් ශාන්ත සන්නස්ගල සමඟ අවසාන වැඩසටහන් හතරට පෙනී සිටියේ.

    තැන්නේ ඥාණානන්ද හාමුදුරුවෝ අප්‍රේල් 5 වන දා
    දිලිප් කුමාර ලියනගේ අප්‍රියෙල් මාසයේ 11 වන දා
    රෝහණ පොතුලියද්ද අප්‍රියෙල් මාසය 16 වන දා
    ටිම්රාන් කීර්ති අප්‍රේල් මාසේ 19 වන දා

    මේ අපට ලඟ පරම්පරාවේ අපි ආදරය කරන කවියෝ . අපේ ජීවිත සමග බද්ධ වෙන ප්‍රස්තුතයන් අපේ ඇට මස් ලේ කඳුළු ම ඊට ඔබ්බවා මේ අය කවි ලියලා තියනවා ඒ කවි අපේ ජීවිතවල කොටස් ලෙස අපිට දැනෙන ආකාරයට. ඒ නිසා අපි මේ කවියන්ට ආදරය කරනවා.ඒ පමණක් නෙවෙයි අපි මේ කවියන්ව සහ ඔවුන්ගේ කවි ප්‍රමෝට් කරනවා. “පොඩ්ඩියේ ” කවිය ගැන අපි කතා කරන්නේ මේ කවිය ලිව්වේ ටිම්රාන් කීර්ති කියන එක සමාජයට කියමින්. ” කොතනක හෝ අපට වැරදුනා බං ” මේ කවිය ලිව්වේ රෝහණ පොතුලියද්ද, වූ පට්ට කවියෙක් කියලා අපි කියලා තියෙනවා. දිලිප් කුමාර ලියනගේ කවි ලියනවා පමණක් නෙවෙයි කාව්‍ය විචාරයත් කරනවා. එනිසා දිලිප්ගේ කාව්‍යමය පරිචය පිළිබඳව පාඨකයන් හැටියට අපට තියෙනවා විශ්වාසයක්. චීවරයෙන් වැටකඩුලු තනා ගන්නේ නැතිව සීමාවන් බිඳ ගෙන තැන්නේ හාමුදුරුවෝ අනුරාගය තවරා ආදරය ගැන කවි ලියද්දි අපි ඒ කවි වැළඳගත්තේ අපිටත් වඩා හොඳට හාමුදුරුවෝ ආදර කවි ලියනවනේ සිතමින්. මේ අය පිළිබඳව තිබෙන පෞද්ගලික අදහසත් පොදු අදහසත් මේ යැයි සිතේ.

    අඩු වැඩි වශයෙන් සන්නස්ගලගේ යූටියුබ් නාලිකාවේ වැඩසටහන් නරඹද්දී ප්‍රේක්ෂකයෙක් හැටියට හැඟී ගිය දේ තමයි සමහර කවියන්ට තමන් ලියන්නේ කවි දැයි විශ්වාසයක් නොමැති බව. එම අදහස දැරීම ප්‍රශ්න කරන විට පෙරළා පිළිතුරක් සැපයිය හැකියි, ඒක තමයි මගේ නිහතමානී කම එහෙම නැත්නම් මම කවියෙක් නෙමෙයි මම කවියෙක් වෙන්න උත්සාහ දරන කෙනෙක් කියලා. ඉහත හතර දෙනෙක්ව නම් කර තිබීම හරහා ඒ හතර දෙනා තුළම අවිශ්වාසය තියෙන බව මා ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් දිලිප් කුමාර ලියනගේ, රෝහණ පොතුලියද්ද දසක දෙකකටත් වඩා වැඩි කාලයක් කවි ලියලා කවි පොත් හතර පහක් පළකරලා තියෙද්දිත් ඔවුන්ගේ ප්‍රකාශන මාධ්‍ය පිළිබඳව විමසද්දී ඒ පිළිබඳව අවිශ්වාසයෙන් පිළිතුරු ලබා දීම තුළින් සිද්ධ කරන්නේ පාඨක බුද්ධියට සහ විශ්වාසයට ඔවුන් විසින් පෙරළා පහර දීමයි. මොකද අපි ඔවුන් ලියපු දේවල් කවි ලෙස පිළි අරගෙන තියෙනවා. ඇගයීමට ලක්කරලා තියෙනවා. එ කවි විචාරයට ලක් වෙලා තියෙනවා . මේ අදහස දරන සැලකිය යුතු කවියෝ ප්‍රමාණයක් මට මුණ ගැසී තියනවා . ඔවුන් සියලු දෙනාවම සටහන් කර මේ මොහොතේ තබන්නට නොහැකි වුණත් විමල් කැටපෙආරච්චිගේ ” හමුවෙන්න තවම හැකි කොම්රෙඩ් ” පොත පිළිබඳව අදහස් දක්වද්දී පවා තමන් ලිව්වෙ කවි ද නැද්ද කියලා දන්නේ නැහැ කියන වැනෙන අදහස ලබා දෙනවා. නමුත් පාඨකයෝ ඔහුගේ පොත ගන්නේ කවි කියවන්න. කවි පොතක් ලෙස වැළඳගන්න. ලබාදෙන මේ උත්තරේ හරහා මට හැඟෙන්නේ අපි මේ බොහෝ අයව කවියන් ලෙස පිළිගනිද්දී ඔවුන් අපි අවතක්සේරු කරනවා. ඒ නිසා කවියනි අපි ඔබට යෝජනා කරනවා පාඨකයන් ලෙස ඔබ පිලිබදව අපට විශ්වාසයක් තියෙනවා එ විස්වාසය තහවුරු වෙන්න ඔබ වැඩකරලා තියෙනවා ඔබට ඉතිරිව තියෙන්නෙ ඔබට ඔබ පිළිබඳව විශ්වාසය ගොඩනඟා ගන්න එක පමණයි.

    අප හිතවත් දිලිප් කුමාර ලියනගේ සහෝදරයා ඔහුගේ වැඩසටහනේදී බරපතළ ප්‍රකාශයක් කරනවා. වර්තමාන කවිය විනාශ වෙමින් යනවා එසේ විනාශ වීම දැන් ඇති ඒක නවත්තන්න ඕන කියා. එය ඔහු දරන පෞද්ගලික අදහස විය හැකියි. එහෙම අදහසක් ඔහුට දරන්න තියෙන අයිතිය දරුණු ලෙස ප්‍රශ්න කරන්න මට බැරි උනත් ඒ අදහස හරහා වර්තමාන කවිය දෙස හැරී බලන්න අවශ්‍ය කරන දොරටුවක් විවර වෙනවා.

    පළමු කාරණය තමයි කවිය විනාශ වෙනවා නම් ඒ විනාශය වළක්වා ලීමට ඒ සඳහා දැනුම තියෙන අය මැදිහත් වීම. සිදුවෙමින් පවතින විනාශය පිළිබඳව පැහැදිලි කිරීම. මීට දශක දෙකකට පමණ ඉහත සිංහල ගීතය පිළිබඳව ඇති වුනේත් මෙවන් සංවාදයක් . නුතන පරපුර සුභාවිත ගීතය විනාශ කරනවා කියලා එවකට සිටි ප්‍රවීණයන්ගෙන් මැසිවිලි ආවා. ඔවුන් කියන විනාශය වළක්වා ගැනීම සඳහා ඔවුන් මැදිහත් වුණාද කියන එක සොයා බලද්දි පැහැදිලිවම පේන්න තිබුන දේ තමයි ඒ සඳහා ඔවුන්ගේ මැදිහත් වීමක් නොවුණු බව. පවතින තත්වයට අනුව වෙනස් නොවන්නා වඳ වෙන බව ප්‍රකට කියමනක්. වර්තමාන පරපුර නව දැනුම් පද්ධති හොයාගෙන ඒවා තුල අලුත් අත්හදාබැලීම් කරද්දී එවකට සිටි ගීතයේ ප්‍රවීණයෝ එක දැක්කෙ නුහුරට. නූතන පරපුර සමග උරෙනුර ගැටෙමින් නව ගීත බිහි කරනවා වෙනුවට ඔවුන් කළේ ඒ මාර්ගයෙන් ඉවතට පැන විවේචනය කරමින් හීන් සීරුවෙ මාරු වෙලා තමන්ගේ ගුල් තුලට රිංගන එක. දශක දෙකකට ආසන්න කාලයක් නිවර ගුවන්විදුලිය සහ වෙබ් අඩවිය වෙනුවෙන් තේරුම් ගීතය කළ මට ඔවුන් සමග කතාබහ කර ලබාගත් අත්දැකීම් ගොන්නක් තිබෙනවා මේ සම්බන්ධව. කෙසේවෙතත් ප්‍රවීණයෝ බිය වූ තරමටම ගීතය විනාශ වුණේ නැහැ. එක්තරා මොහොතකින් පසු ව ගීතය අලුත් මුහුණුවරකින් නව හැඩයකින් යලි උපදිනවා. වෙනස් වීමට මුහුණ නොදුන් ප්‍රවීණයෝ වඳ වෙලා යනවා. ඉන්න බව සමාජයට මතක් කරන්න ඉඳහිට මොකක් හරි කරනවා.

    ඉතින් කවිය පිළිබඳ කතාවේදීත් කවියේ විනාශයක් වේ නම් ඒය වළක්වා ගැනීමට මැදිහත් වීම අනිවාර්යයකි. කෙසේ වෙතත් මගේ පෞද්ගලික අදහස නම් වර්තමාන කවිය හ කාව්‍ය පාඨකයා වර්ධනය වෙමින් පවතින බවයි. අවුලකට තියෙන්නෙ සිංහල කවිය ජාත්‍යන්තරයට ගෙන යන්න සැලකිය යුතු භාෂා පරිවර්තනයකට ලක් නොවීමයි.

    ටිම්රාන් කීර්ති ව දන්න හැමෝම ඔහුට ආදරේට කියන්නේ ටිමා කියලා. ටිමා අපේ ආදරේ දිනා ගන්නේ එදිනෙදා ජීවිතය තුල අපි මුණගැහිලා නෙමෙයි. ප්‍රකාශයට පත් කල කවි කියවලා. ටිමා වැඩසටහනේදි බන්දුජීව එක්ක සංසන්දනය වෙලා කියනවා අපි කරලා තියෙන්නේ බොරුවක්, අපිට කවි ලියන්න දන්නේ නැහැ කියලා. ටිමා එහෙම කියද්දී අපිට කියන්න වෙන්නේ අපරාදේ බං අපේ සල්ලි, පොතේ ගානටත් වඩා ගානක් දීල අපි තැපෑලෙන් පොත් ගෙන්න ගත්තේ. ඒ පොත් ඇතුලෙ තියෙන කවි අදටත් ඉඳහිට අපි කියනවා. රස විඳිනවා. දහස් ප්‍රකාශ කිරීමේ නිදහස හැම එකාටම තියෙන නිසා උඹලා හිතනවා වෙන්න ඇති එහෙම කිරීමේ අයිතියක් තියෙනවා කියලා. හැබැයි ටිමා උඹලට බැහැ වටවන්දනාවේ ගිහිල්ලා ඇවිත් පාඨක අපේ බුද්ධියට පාඨක අපේ ආදරයට විශ්වාසයට ඔය විදිහට සරලව කෙලින්න . බංදුජීවගේ රහට බන්දුජීව පමණක් හිටියම ඇති. උඹේ රහට ලියන්න උඹ විතරකුත් ඇති ටිමා. මොකද සියලු දෙනාම එකම දේ කළොත් එකම විදිහට කලොත් සිද්ධවෙන්නේ විවිධත්වයක් නැතිව ගිහින් එක නීරස වෙන එක.

    මේ සටහනේ අවසානයේ මෙයද සඳහන් කළ යුතුයැයි සිතේ ගේවීගිය දශක දෙක තුළ කවියේ වර්ධනය වගේම කවිය මුල්කරගත් කල්ලි කණ්ඩායම් බිහිවීම කැපී පෙනෙන ලක්ෂණයක් බවට පත්වුණා. මේ කවි කුල කණ්ඩායම් බිහි වීම හරහා හොඳ කවිය වෙනුවට තමන්ගේ කණ්ඩායමේ කවි සමාජගත කිරීම විචාරය කිරීම ප්‍රවර්ධනය කිරීම සිද්ධ වෙනවා. මෙසේ කණ්ඩායම් ගත නොවුණු පිරිසගේ නිර්මාණ සමාජගත වීම මන්දගාමී වූවා පමණක් නෙවෙයි ඒ පිළිබඳව තිබෙන උනන්දුව පවා හීන වී යනවා. සමාජ මාධ්‍ය තුළ ක්‍රියාශීලී නොවෙන පිරිස හුදෙකලා භාවයට පත් වෙනවා. උපුල් ශාන්ත සන්නස්ගල ගේ වැඩසටහන තුළින් මතුව ආවේ කල්ලි කණ්ඩායම් නියෝජනය නොකළ තම තමන්ගේ පිට කහ ගත්තු නැති පිරිසක් පාඨක සමාජයට විවර කර දීමයි. ඉතින් ඒ අවකාශය තුළ නියෝජනය වෙන්නට යන ඉදිරි පිරිස හෝ කවිය පිළිබඳව කතා කිරීමට මීට වඩා අවස්ථාව ලබාගන්නවා නම් හොඳ යැයි සිතේ. මොනව උනත් කවියට ආදරය කරන කවි කිවිදියන් ට ආදරය කරන මං වගේ උන්ට මේ වැඩසටහන මරු.

    හිල්මි සුපුන්

    • නූතන සිංහල චීන ජන කවි – දිලීප් කුමාර ලියනගේ

    මල්ලියි මායි අකුරට යන වෙලාවේ
    බස් එක නැතුව නැවතුම ළඟ මුලා වේ
    ඉර රැස් ටිකෙන් ටික පතිතව හිනා වේ
    අයියලා ඇන්ඳ සිතුවම් දැක සිනායේ

    කරට උඩින් කර මුදුනින් ‘ස’ව ගියා
    ඇසට උඩින් ඇස අසළින් අනුර ගියා
    බඩට උඩින් බඩ අසළින් රනිල් ගියා
    සිංහ පැටව් කොඩිය උඩින් පැනලා ගියා

    අන්න මල්ලි අර නා මල නෙළාගෙන
    රූම් එකට පන්නන්නට හිතාගෙන
    තාප්පෙ මත ගිනි මකරෙක් පොරෝගෙන
    කෙල්ල බෑ කියයි මල්ලිට ඔරෝගෙන

    මාතර කොනේ ඉන්නා කිඹුලගෙ හැටියා
    බෙල්ල රතු යි කටහඬ ජොරබොර ගතියා
    ඔරු බැරි වුණත් නැව් ගිලින්න හරි රුසියා
    දෙන්න හදනවා කොටහක් නැව් ජැටියා

    මේ සඳ පලුව ඒ පැත්තට යන්න එපා
    ඒ තනි තරුව මේ පැත්තට එන්න එපා
    පල්ලිය උඩින් චීන පටස් සද්ද එපා
    අල්ලා නැති අපට බඩගිනි වෙන්න එපා

    චීන රටෙන් අරගෙන ආ ඉනවා
    බරත දෙසෙන් මුසු කර දෙන රටාවා
    උතුරු දෙසින් එන කිංකිණි හිනාවා
    අපිත් වයමු බෙංගලි බීජිං නළාවා

    පාර දිගට කෑගසනා ඒ පුත්තු
    මීටරයට ඉන්දන බලවත් ඇත්තු
    දියවන්නා මඩදියේ ම බැසගත්තු
    නිදාගෙන ම ඇවිදිනව ද මේ සත්තු

    ගමින් ගමට ඇසෙනා ජනපති සද්දේ
    සේනානන්ද වී පොරකන යම යුද්දේ
    වැඳපන් සාදු වැඳපන් ඇමරිකා පාදේ
    දෙව් ලෝ දොර ඇරේවි හෙට අරුණෝදේ

    • පෙමක මුනිවර මුහුණ – ටිම්රාන් කීර්ති

    “මොනවද ඔයැයිලට
    ගේන්නේ කෑමට?”
    අසයි වේටර් කොලූ
    නැඹුරුව අපේ මේසෙට

    “මං කහටෙකක් බොන්නං
    ගෙදර ගිය ඉඩවරේ
    බත් කටක් කෑහැකිනෙ
    උඹයි කෙල්ලයි දෙන්න
    මොනව හරි කාහල්ල
    මඳි වෙන්නෙ නෑ පුතේ
    මාරු තියෙනවද හැඹිලියේ…”

    යාබදව අසුන් ගත්
    තුරුණු පෙම්වත් යුවළ
    ඉසියුම්ම දෙනෙත් හී මානමින්
    බිඳෙන් බිඳ තොල ගායී
    කූල් කෝලා දෙකක්!

    යටි හිතෙන් හිනා වෙනවැති අපට
    ජීවිතේ විසල් බර දැනේයෑ
    ළපටි ආදරයකට…

    “ඉස්පිරිතාලෙ ඉඳලම
    මටත් පිරියක් නෑ ඒයි
    බඩ හෝදලත් දවසනෙ
    ඔයා පව්! උදේටත් කාල නැතුවැති
    ඉතිං කන්නකො අනේ
    මං ළඟත් කීයක් ද තිබුණා”

    සෙල් පිළිමයක් මෙන්
    නොරිස්සුම් බැලුම් ලයි
    කැහැටු වේටර් කොලූ…

    “ගේන්නකෝ ප්ලේන්ටී තුනක්!”
    කෙඳිරුවෙමි වේටර්ට
    ඉඟිලුනා ඔහු සැණින්…

    ඉකි හඩක් ගිලගන්න
    සිහින් සුසුමක් බිඳුණි යාබදින්

    දයාවේ මුදු බැලුම් අප වටා දවටමින්
    තුරුණු පෙම්වත් යුවළ මිදෙනු බැරි
    තැවුලකින්
    අනුන්ගේ රිදුම් මුල් හොරාගෙන
    තමන්ගේ ලෝකයේ පැළ කරන
    ළපටි පෙම්වන්තයිනි මනු තැවුල් ඉව කරන
    මා හදේ රාමුවිණ පෙමක මුනිවර මුහුණ

    • අපිට කොහෙ හරි වැරදුනා බං – රෝහණ පොතුලියැද්ද

    “ආයෙමත් දවසක අපි සෙට් වෙමු” කියා නැගිට්ටට
    “ඕකේ මචං, මමත් කියන්නං දවසක්” කිව්වට
    උඹත් කිව්වෙ නෑ දවසක් මට ඔහේ එන්නට
    මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට

    එදා සිට පාළොස් වසක් ඇදං ගියා අපි ජීවිතය
    අපේ පයටමයි පෑගූනේ ඒ සාද කතා හැන්දෑව
    එල එලා දුන්නට දිග් දිගට හතර අතටම අධිවේග
    උඹ තියා මට මාවවත් හමුවුනේ නෑ මගෙ මිතුර

    රස්සාව කෙරුවා ­ ඕටීත් කෙරුවා ­තව බ්‍රෝකර් වැඩත්
    ගෙයක් හැදුවා තාප්පෙ බැන්දා ­ ගත්ත කිරි කිරි මරුතියක්
    පොඩ්ඩො ඉස්කෝලෙ දැම්මා ­ පංති ඇරියා ­ ශිෂ්‍යත්තෙනං සමත්
    පස්ස හැරිලා බලනකොට කෙස්ස සුදුයි අඩමානෙන් ඇහැත්

    කැකුළු මල් කපන සේ කපන ණය වාරිකේ දුක කියන්නට
    පංතියේ බොට්නි ටීචගෙ පස්ස ගැන කුණු හබ්බ අහන්නට
    මහ ගෙදර තනියෙන්ම මළ තාත්තා ගැන කියා අඬන්නට
    ආත්මයේ ශ්‍රැතිය සුසර වෙනකොට ජෝතිගේ ගීයක් ගයන්නට

    උඹත් කිවුවෙ නෑ දවසක් මට ඔහේ එන්නට
    මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට

    බොසාට කුද ගහන්න කියලා බලෙන් නිමාඩුවකුත් අරන්
    නෝනටත් සත්තමක් දාලා අන්තිම දෙදහත් අරන් අල්මාරියෙන්
    මරුතියට ෆුල් ටෑන්ක් ගහලා කුකුලත් අතකින් අරන්
    ඔන්න මම ආවා, මොටද බං අද දවසෙත් නැති යාළුකං

    මූණත් කලු ගැහී ඔය හැටි කේඬෑරි වී අත පයත්
    මට වගේමයි උඹටත් හුඟක් මහන්සියි නේද දැන්
    ඔහොම නිදියං ඉන්න එපා නැගිටපං අනේ නැගිටපං
    බදාගෙන අඬමු අපි අපිට කොහෙහරි වැරදුනා බං

     

  • “නිධානයක්” අහිමි වී යෑමේ කතා වස්තුව – ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

    “නිධානයක්” අහිමි වී යෑමේ කතා වස්තුව – ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

    (දිලිප් කුමාර ලියනගේ  කවියාගේ “ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමි ය” කාව්‍ය සංග්‍රහය පිළිබඳ කියවීමක්.)

    නූතන ආඛ්‍යාන කාව්‍ය,කවිකතා ලෙස හැඳින්වීම ශාස්ත්‍ර විරෝධී ය.කිසියම් ආඛ්‍යානයක් පැවසූ පමණින් එය නූතන කාව්‍යාඛ්‍යානයක් වන්නේ නැත.නූතන කාව්‍යාඛ්‍යානයක දී සිදු වන්නේ හුදෙක් සිද්ධි හා අවස්ථා ආඛ්‍යාන කාල අවකාශ රාමුවේ තබා නිරූපණය කිරීමක් නො වේ.එය මනුෂ්‍යත්වය,ජීවිතය හා සමාජය පිළිබඳ ගැඹුරු දාර්ශනික මැදිහත් වීමක් සිදු කරන සැබෑ නූතන ශානරයකි.

    පැරණි කවිකතා (මහාකාව්‍ය,ජාතක කතා කාව්‍ය,ඛණ්ඩ කාව්‍ය) නූතන ආඛ්‍යාන කාව්‍යයෙන් වෙනස් වෙන ප්‍රධානතම සාධකය වන්නේ එය යි.

    මේ ප්‍රවේශය තබනුයේ දිලිප් කුමාර ලියනගේ කවියාගේ ” ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමි ය ” ආඛ්‍යාන කාව්‍යය පිළිබඳ අපගේ කියවීම සමීකරණය කර ගැනීම සඳහා ය.එහි දී මූලිකව ම දිස් වන කාරණය වනුයේ දිලිප් පැරණි කවිකතාකරුවෙකු සේ තෝරා ගන්නේ පුරාකතාවක්(බන්ධනමොක්ඛ ජාතකය) වන බව යි.

    එහෙත් දිලිප් එහිලා සිය නූතනත්වයේ සලකුණ තබනුයේ එම පුරා කතාව ආඛ්‍යානය තුළ ස්ථානගත කරන කාල සාධකය මත ය.ජාතක කතාවේ වර්තමාන කතාව ඉවත් කරන දිලිප්, ඒ වෙනුවට පශ්චාත් නන්දිකඩාල් මොහොත වර්තමාන කතාව ලෙස ගෙන අතීත කතාවට ඇතුළු වෙයි.

    “යුද්ධයෙන් දිනූ දකුණට
    විවේකය ලැබුණෙ ය
    කියවන්න ජාතක
    අටුවා ටීකා ටිප්පණි ගැටපද

    වෙඩි හඬ
    රතිඤ්ඤා හඬින් යටපත් කළ
    නියම්ගමක සිට
    මම කියවමි
    බන්ධනමොක්ඛ ජාතකේ
    ඉකුත්වත
    අතීත වත්මන් සමෝධාන කතා
    සිත තුළ පටලවාගෙන
    හදවතින් ලිහාගෙන”
    – පිටු. 23

    දකුණේ යුද ජයග්‍රහණයෙන් අනතුරුව දකුණ වේගයෙන් ජාතික උපමාකතා මාලාවකින් ප්‍රබන්ධගත වූ සැටි දැන් අපට සිහිපත් වේ.මෙරට මහා සමාජය රණකාමී සාහිත්‍ය – කලාවකින් ප්‍රබෝධයට පත් කිරීමට මෙරට ඇතැම් කලාකරුවන් පවා ඉදිරිපත් වූ සැටි අපි අත්වින්දෙමු.

    එහෙත් දිලිප් අපට සම්මුඛ කරන්නේ ඒ සුලබ රණකාමී පැරණි සාහිත්‍ය නො වේ.බන්ධනමොක්ඛ ජාතකය ද යුද්ධය මතින් දිගහැරෙන කතා වස්තුවක් වුව එහි ඇතුළත්ව ඇත්තේ සිංහල බෞද්ධ යුදෝන්මාදී මනස ඉල්ලා සිටින කතා ප්‍රවෘත්තියක් නො වේ.කියවන්නියට සැලකිලිමත් වීමට සිදු වන්නේ මතුපිටින් විද්‍යමාන වන යුද්ධය සම්බන්ධයෙන් නොව කතා නායකයා මුහුණ දී සිටින අභ්‍යන්තර යුද්ධය සම්බන්ධයෙනි.එනම් යුද්ධය අවසන් වන තුරු ගැහැනියක් දෙස රාගී දෙනෙතින් නො බලා සිටීමට බිසවට පොරොන්දු වී සිටින රජු මුහුණ දී සිටින අභ්‍යන්තර සංග්‍රාමය පිළිබඳව ය.

    යුද්ධය යනු ම මර්දිත ආශාවෙන් යුතු පිරිමින් රැසකගේ සහභාගීත්වයෙන් සිදු වන සම්බන්ධතාවයක ස්වභාවයකි.එමඟින් ජනිත වන බරපතළ ශිෂ්ටාචාරමය අර්බුද පිළිබඳ අවධානය යොමු කිරීම, නූතන කවියා ඉදිරියේ වන තේමාත්මක අභියෝගයකි.එහෙත් දිලිප් එම අභියෝගය මඟහැර යයි.

    ඒ වෙනුවට පාඨකයාට සම්මුඛ වන්නේ විනයවත් පිරිමින් සහභාගී වන යුද්ධයකි.ඒ වනාහි ජාතක කතාවේ අපට හමු වූ යුද්ධය ම ය.රජු, තමන් බිසවට වූ පොරොන්දුව ඉටු කරමින් පතිනිදම් රකියි;ගව්වෙන් ගව්ව බිසවට පණිවිඩ එවයි.බිසව ඒ පණිවිඩකරුවන් පවා දූෂණය කරයි.ගැහැනුන්ගේ දුෂ්ටකම් ගැන කියවෙන අතීත වස්තූන්ගෙන් පරිච්ඡේද පිරෙයි.

    ඡද්දන්ත,අසාතමත්ත,අන්ධභූත,තක්ක,මුදුලක්ඛණ,කුස,අලම්බුසා,නලිනී බඳු ජාතක ඒ සඳහා භාවිත කරන කවියා ගැහැනුන්ගේ දුෂ්ටකම් ගැහැනුකමේ ම ලක්ෂණයක් ලෙස දකියි.ගැහැනු යනු පිරිමි නිවනේ බාධව ලෙස දකින අතීත ජාතක කතාකරුවාගේ දෘෂ්ටියෙන් මිදීමට සමස්තයක් ලෙස දිලිප් අසමත් වේ.

    “ඔව් ඔවුන් නිවනට යන
    පිරිමින්ගෙ ගමන් මඟ
    වැතිරී පෙරළී
    තප්පරෙන් තප්පරේ
    කල් දැමුවා ද විය හැකි

    සඟවා රති සිත්
    බලා නෙත්සර අඟින්
    පිරිමි නිවනේ පහන් දැල්ලත්
    කටින් පිඹලා නිවන්නට ඇති

    දුලා නෙතු පුල්ලා
    බැලුම් රොන් ගල්වා
    භාවනාවේ පිරිමි ඇස්
    කිති කවා ඇහැරවන්නට ඇති
    (පිටු.49)

    අත දිග හැර ගැහැනුන්ගේ දුෂ්ටකම් ලියන දිලිප්ට පිරිමින්ගේ අශිෂ්ටකම් ලියන්නට සමන් වික්‍රමාරච්චි ඕනෑ වෙයි.සමන්ගේ උද්ධෘතයකින් පිරිමි අශිෂ්ටත්වය කියා නිම වෙයි.පිරිමි කෙතරම් අශිෂ්ට දැයි දිලිප්ගේ එම ක්‍රියාවෙන් නම් අපූරුවට හෙළි වෙයි.

    ආඛ්‍යානය කෙළවර වන්නේ ගැහැනුන් හා මිනිසුන් පිළිබඳ බරපතළ කළකිරීමක් ජනිත කරමිනි.රජු හැර අනෙක් සියල්ලන් ම දූෂිතයන් ය;වංචාකාරයන් ය:තක්කඩීන් ය.බෝසත්හු පවා පැවැත්ම වෙනුවෙන් රජු මුලා කරති.කේ.ජයතිලකගේ “සාක්කි තුනක්” වැනි ය.එය රැගෙන එන්නේ තවදුරටත් මනුෂ්‍යත්වය පිළිබඳ බලාපොරොත්තු තැබිය නො හැකි බවේ පණිවිඩය යි.

    දිලිප්ගේ ඒ අසුබවාදය නිශ්චිත ලෙස ම ඔහු ස්ත්‍රිය සම්බන්ධයෙන් දරන පෞද්ගලික මතවාදය හා බැඳී පවතින්නකි.ස්ත්‍රිය පිළිබඳ පශ්චාත් නූතනවාදී කියවීම් තමන්ගේ පුරුෂාධිපති මතවාදී කෝවේ බහා පිරිපහදු කර ගන්නා විට මීට වඩා විස්මයක් අපට බලාපොරොත්තු විය නො හැකිය.

    දෘෂ්ටිවාදීමය වශයෙන් දිලිප්ට පෙන්වා දීමට අවශ්‍යව ඇත්තේ පශ්චාත් නූතන පිරිමියා පරිභ්‍රමණය වන්නේ ස්ත්‍රිය නමැති කේන්ද්‍රය වටා වන බව ය.එය නම් ඉතා ම පැහැදිලිව ඔහුගේ ලිවීමෙහි අඩංගු වී ඇත.මේ අනුව යුගයේ පිරිමි විනෝදය අහිමි කරන,පාලනය කරන මහා අනෙකා ගැහැනිය බවට ඔහු තර්ක කරයි.පශ්චාත් නූතන වෙළඳපොළ තර්කණය තුළ ස්ත්‍රියට හිමි කර දී ඇති භූමිකාව යනු ඇයට හිමි වී ඇති නිදහස ලෙස අර්ථකථනය කර ගැනීම දිලිප් මෙහි දී ඇදවැටෙන බරපතළ ම දෘෂ්ටිමය අර්බුදය වේ.

    මෙහි දී දිලිප් යටත් වී ඇත්තේ බැලූබැල්මට ය.කක්ෂයට වඩා නිදහසක් කේන්ද්‍රයට ඇති බව හේ විශ්වාස කරයි.තාරකා විද්‍යාවෙන් මිනිස් සබඳතා විග්‍රහ කර ගැනීම නවතා බැලුවහොත් කේන්ද්‍රය යනු ම කක්ෂයේ නිර්මාණයක් බව වටහා ගැනීමට දිලිප්ට හැකි වනු ඇත.ඇය එතන, එම කේන්ද්‍රයේ තබා ඇත්තේ ම පුරුෂ ෆැන්ටසිය වෙනුවෙනි.මෙය සමාන වන්නේ ස්වපීඩක පිරිමි, තමන්ට තැලීමට කසයක් ගැහැනිය අතට දී ඒ සඳහා ගෙවීමකුත් සිදු කර ඇයගේ වහලෙකු බවට පත් වීමේ වාණිජවාදී BDSM වැඩසටහනකට ය.බැලූ බැල්මට ඇය ස්වාමිදුව බවත් ඔහු වහලා බවත් පෙනීගිය ද සැබැවින් ම වහලිය වී ඇත්තේ ඇය ම ය.

    පන්ති ඌනිතවාදයට ඇදවැටුණු ඊනියා ජනතාවාදය මෙන් ම මානව සබඳතා ස්ත්‍රී – පුරුෂ ලෙස මෙසේ ධ්‍රැවීකරණය කිරීම ද මනුෂ්‍ය විමුක්තිය උදෙසා එතරම් පලදායී බව පැවසිය නො හැකිය.පශ්චාත් නන්දිකඩාල් ලංකාවෙ පිරිමි මුහුණ දී සිටින උභතෝකෝටිකය, ගැහැනුන්ට ඇඟිල්ල දිගු කිරීමකින් වටහා ගැනීමට තැත් කිරීම අතිශයින් බරපතළ කරුණකි.ඒ අර්ථයෙන් නම් මේ යුද්ධය සම්පූර්ණයෙන් ම චණ්ඩි පිරිමින්ගේ (දුටු ගැමුණු,එළාර,යටත්විජිතකරණ ව්‍යාපෘතිය,බණ්ඩාරනායක,ප්‍රභාකරන්,ජවිපෙ,හෙළ උරුමය,මහින්ද) නිර්මාණයක් මිස ගැහැනු නිර්මාණයක් නො වන බව පෙන්වා දිය යුතුය.එබඳු චණ්ඩිකමකින් නම් මෙම සමාජය සුසමාදර්ශී පරිවර්තනයකට ලක් කළ නො හැකිය.වඩා බරපතළ වන්නේ කවීන් ද ” ඒ අයුරේ ” චණ්ඩීන් බවට පත් වීමට උත්සාහ දැරීම ය.

    මේ අනුව අවසානයේ සිදුව ඇත්තේ දිලිප් ගැහැනු ගැන ලියන්නට ගොස් තමන් පිළිබඳව ම ලියා ගැනීම බව පෙනේ.එහි නම් වරදක් නැත.එහෙත් අර්බුදය වන්නේ සමහර විට මේ අපට කියවන්නට ලැබී ඇත්තේ සැබවින් ම “නිධානයක්” අහිමි වී යෑම පිළිබඳ කතාව ද විය හැකි වීම ය.

     

  • ජනගත වෙන කවි පොත් තුනක් ගැන ඔත්තුවක්

    ජනගත වෙන කවි පොත් තුනක් ගැන ඔත්තුවක්

    තවමත් මේ ගැන දන්නේ නැත්නම් කවි රස ඉව කරන කාට කාටත් මේ මාසය තුළ ජනගත වෙන පොත් තුනක් ගැන ඔත්තුවක්

    මාර්තු 11
    “නිල්තරා”
    ඉරේෂා හේමමාලී
    සවස 4 ට මහවැලි ගං ඉවුරේ දී

    මාර්තු 15
    “ඉතිරි නෙත් අග තවමත් නිධන් හාරන පිරිමිය”
    දිලිප් කුමාර ලියනගේ
    සවස 3ට පන්නල නගර ශාලාවේ

    මාර්තු 29
    “බුදු වෙන්නවත් අතඅරින් නෑ”
    ලක්ෂාන් මධුරංගගේ වික්‍රමරත්න
    සවස 2ට කන්තලේ