“සහස්පත්” ගැන ධම්මිකා විජේසිරිගේ කියවීම

Date:

මේ, දන්නා හඳුනන ලියන්නකුගේ නන්නාඳුනන අඩවියක සැරිසරා ලද ආස්වාදනීය මොහොතක සිංහාවලෝකනයකි .කෙටි කවියක දිගු බර සිතැඟි කලාපයට ඇති සුමුදු බරක සෙමින් බිම තැබුමකි. එහෙත් මෙපමණකින් කියා- ලියා අවසන් කළ නොහැකි වීමේ හිස් තැන තව අය විසින් පුරවනු ලබනු ඇතැයි තනිව යෙදෙන පුරෝකථනයකින් පසුව යමක් මුදා හරිමි

සැකෙවි කවි – ක්ෂුද්‍ර කවි යන නම් ලැබූව ද ඒවා ජපන් හයිකු ම නොවන බවට මංජුල වෙඩිවර්ධනයන්ගේ බරසාර ලිවීම “විජය නන්දනයන්”ගේ “සහස්පත්” හි අගය වඩවඩාත් පහදා දෙන්නකි.”හයිකුව ” කියවූ අයටත් නොකියවූ අයටත් ඒ “හයිකු” පාඩම රසාර්ථ සංග්‍රහයකි.

කවියක පද ලෙස විළිලන්නේ , නිර්මාණකරුවාගේ සමාජ ,දේශපාලන, සංස්කෘතික සමවාය ඇසුරිනි. මේ කවියා ද තමා ලද අනුභූති ධාරිතාව වචන කීපයකට සංක්ෂිප්ත කරන්නේ රස නුසුන් කරමිනි.

බියපත්
නොවෙත්
තණපත්
සුළි සුළඟටත්

ආරියවංශ රණවීර නම් වූ අපේ කාලයේ කවිවිරුවාගේ පේළි තිස් හතක සාරභාර දිගු කවි ගෙත්තමක (තුරු සෙනඟ හා තණ පඳුර) අනුභූතිය පේළි හතරක රඳවන කෙටි කවි ශානරයේ වෙසෙස හඳුනාගත හැකිය.

ඉඩම් නඩු
කියන
වැට
කුසුම් දම්
පැලඳ ගෙන

මේ උත්ප්‍රාසයෙහි දවටන උපහාසය බලන්න. ඉඩම් නඩු යනු කාල සීමා නිර්ණය කළ නොහැකි අනන්තයකට දිවෙන්නකි. මෙහි නඩුව වැට නම් වූ අචේතනික වස්තුව හා ගැළපීමේ හා එය සචේතනික වූවක් බවට හඟවන පරිකල්පනය නිසා අදහසෙහි බර තහවුරු වේ.කුසුම්දම් පලඳන්නේ ප්‍රීතියටයි. මේ පරස්පර විරෝධී බව නිසා ය යථෝක්ත උත්ප්‍රාසය මතුවන්නේ.

සුළඟට ද
අවනත ය
බිඳුණු
පසු
පියාපත්

පියාපත් සැලෙන්නේ-සලන්නේ සුළඟ පරාජය කරමිනි.ඒ පියාසරය ස්වභාව ධර්මය හා එක්වීමකි. බහු අර්ථ සපයන කවකි.පියාපත් බිඳීම ආර්ථික විෂමතාවක ඡායාවකි. එක්කෝ පරාජය වූ සිතුවිල්ලක ශෝකාන්දරයකි. ඒ කිසිත් නැති ශුන්‍යතාවක පාවී යාමකි.

ගල්පිළිමයට
වැඳ
ගල්කුළට
වෙඩි බඳිත්

ගල්පිළිමයකට වැඳීම අවිඥානික ව හෝ සිදුවිය හැකි ය.එහෙත් ගල්කුළට වෙඩි බඳින්නේ අවිඥානික ව නොවේ.ඇරත් කාරණා දෙක එකට ගළපා තිබුණ ද වැඳීම විඥානවාදීව අවශ්‍ය නම් සිදුවන්නකි. එහෙත් ගල්කුළට වෙඩි බැඳීම භෞතිකවාදී මෙන්ම අත්‍යවශ්‍ය අවස්ථාවකි. එකිනෙකට ප්‍රතිවිරුද්ධ අවස්ථා දෙකක මුණ ගැස්වීම මෙබඳු කාව්‍යමය මොහොතකට හැර කවරකට සිදුකළ හැකි ද අනෙක් අතට නෙළන ලද පිළිමයේ ප්‍රකෘතිය වනාහි ගල්කුළයි. ප්‍රකෘතියට වෙඩි තැබීම පිළිබඳ පරිකල්පන ඉලක්කය ද විමසුව මනා ය.

ලිහා
අගුළු
දූරබණන
වැටී
අගුළු
බැඳි
සරණ

සයිබර් අවකාශය හා ගොඩ නැගෙන ඇතැම් සබඳතාවක අවසානය තවත් බොහෝ කතාවල ඇරඹුමයි. අගුළු ලෑ ගිණුමක එඅගුළු ලිහෙන්නේ වීශ්වසනීයත්වය ආත්මීය වන විටක දී ය.ඒ ආත්මීය බව ම විවාහයකින් මල් පල ගැන්වී ගිය ද අවසන එය ද ගුහාගත වීමක් ම නොවන්නේ ද. සරණ යාම වූකලි නැවත දිවියේ අගුළු ලෑමක් නොවන්නේ ද

වීදියේ
විසල් ගස්
වියපත්
ළදලු පත්
වඩාගෙන
තවමත්

සුලබ ව හමුවන යථාර්ථයක සංකල්ප රූපයක් දුලබ කාව්‍යෝක්තියක් බවට පත්කළ’යුරු අපූර්වයි. වියපත් වැඩීහිටියන් තම දරුවන්ගේ දරුවන්ගේ බර දරන’යුරු ය ඒ. තවමත් යන වදනින් ඒ කෙරෙහි කවියාගේ සහකම්පනය ප්‍රකට කරවයි.

බිඳුණු
බැම්මකත්
මලක්

අතිවිශිෂ්ට කවකි. මෙහි පරිකල්පනීය ඉසව්ව නිම් තෙරක් නොදකී. බොහෝ කවීන්ගේ කවිකමේ රහස ම බිඳීමකි. නොහොත් කඩා වැටීමකි. එහෙත් ඒ බිඳීම නැවත පිළිසකර නොකළත් මල් පිපීම නතර කළ නොහැකි ය.කඩා වැටුණු හෝ සම්පූර්ණයෙන් ම විනාශ වූ විටක දී පවා මල් පිපීමේ අවකාශ තොර නොවේ.

පිය
සෙවණැල්ල
මත ය
පුතු
පියවර

කවෙහි යටි පෙළ දේශපාලනික යථාර්ථයකි.නොඑසේ නම් එදාමෙදා තුර ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ සැබෑවකි.හෝද හෝදා මඩේ දමන තක්කඩි දේශපාලනය ගැන දැක්මකි. වැඩිහිටි පරමාදර්ශ සපයන්නාගේ අනුගාමිකයා ය මේ.

අබ
සුඟකි
නොමළ
ගෙයකින්
දකුණට

සංහිඳියාව යන හිසින් යුතු කවෙහි පැසුණු බවෙහි ගැඹුර අපරිමිත ය.

අවසඟ ය
බස
අෂ්ට
ස්වරය
අස

උක්ත කව්ද කේමදාසයන් වෙනුවෙන් පිදුණෙකි. අෂ්ට ස්වරයක් ලෙස හඳුන්වන ගන්ධර්වයා අබිමුව බස පවා පරදින’යුරු දක්වන’යුරු මනලෝලී වේ.

මට
මා
නො දී
නො යන්න
නික්මී

විජය නන්දනයන් අප ද රැගෙන පලා ගොස් ඇත. උක්ත කවිය තුන්සිත ම බැඳි පෙමක වගතුග පවසන්නකි.සැබැවින්ම දැනෙන පෙමක් යනු අවසන තමාට තමා අහිමි වීමකි. ඒ බව වචන කීපයකින් පින්තාරු කරන්නට මෙබඳු කවියෙකුට හැර කාට නම් හැකි ද

ධම්මිකා විජේසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...