මාතලේ සමූහ මිනීවල පිළිබඳ විමර්ශන කටයුතු යළි විවෘත කරන ලෙස ඉල්ලා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පිරිසක් මාතලේ මහාධිකරණය හමුවේ ගොනු කළ විශේෂ ඉල්ලුම්පත අද {නොවැම්බර් 11} වනදා සලකා බැලීමට නියමිතය.
‘අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව’ (Families of the Disappeared) විසින් මෙම නීතිමය පියවර මෙහෙයවනු ලබයි.
තමන්ට අහිමි වූවන් පිළිබඳ සත්‍යය හෙළිදරව් කරගැනීමත්, සාධාරණත්වයක් ඉටුකර ගැනීමත් ඔවුන්ගේ මූලික අපේක්ෂාව වී තිබේ.
2012 වසරේ අගභාගයේදී මාතලේ දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ ජීව වායු ඒකකයක් ඉදිකිරීමට පොළොව කැණීමේදී හමුවූ මිනිස් අස්ථි කොටස් ප්‍රමාණය 150 ඉක්මවීය.
එම අස්ථි කොටස් 1987-1990 දකුණේ පැවති භීෂණ සමයට අයත් බවට අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන්ගේ වාර්තාවලින් මුලින් පෙන්වා දුන්නද, පසුකාලීන කාබන් කාල නිර්ණ පරීක්ෂණ මගින් ඊට පටහැනි අදහස් පළ විය.
පරස්පර වාර්තා, දේශපාලන බලපෑම් සහ නීතිමය මන්දගාමීත්වය මත වැළලී ගිය එම විමර්ශන ලිපිගොනු සම්බන්ධයෙන් නැවත විමර්ශන සිදුකරන ලෙස ඉල්ලීම අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අරමුණ වී තිබේ.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ 1989දී හමුදා සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කළ මාතලේ ප්‍රදේශයෙන් හමූ වූ සමූහ මිනීවළ පිළිබඳ JDS සංවිධානය හා @itjpsl විසින් සම්පාදිත වාර්තාවක් සකසා තිබුණි. එය පදනම් කරගනිමින් යළි පරීක්ෂණ ආරම්භ කරන ලෙස අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මීට වසර ගණනාවකට පෙර ඉල්ලා තිබුණි.
මෙම වාර්තා මගින් 1989 මැයි මාසයේ සිය 1990 ජනවාරි මාසය දක්වා කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව ක්‍රියාත්මක වූ කාල වකවානුවේදී ගජබා රෙජිමේන්තුවේ පළමු බලමුළුවේ අණ දෙන නිලධාරීයා ලෙස කටයුතු කළ යුධ හමුදා නිලධාරියා මාතලේ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස ක්‍රියා කර ඇති අතර මෙම කාලය තුළ මාතලේ දිස්ත්‍රික්කයේ තරුණයන් ඇතුළු හත්සියයකට වැඩි පිරිසක් අතුරුදන් කර ඇති බව තමන් විසින් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන් කර ඇත.




