දිවයින පුරා සිටින සංවර්ධන නිලධාරීන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (09) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිරත විය. වෘත්තීය සමිති 12ක එකතුවකින් සංවිධානය කර තිබූ මෙම සංකේත වැඩ වර්ජනය මඟින් ඔවුන් ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් රජය වෙත ඉදිරිපත් කර තිබේ.
කෙසේ නමුත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංවර්ධන නිලධාරී සේවා සංගමයේ වෘත්තීය සමිති නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි තර්ජනාත්මක ලෙස පවසා සිටියේ මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ග වලට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
එසේම ඊයේ ක්‍රියාත්මක කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වත්මන් රජයේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ පටු දේශපාලන උවමනාවකින් සිදු කරන ලද්දක් බවයි. විපක්ෂයට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ සමගි ජන බලවේගය වැනි දේශපාලන පක්ෂවලට අනුබද්ධිත වෘත්තීය සමිති කිහිපයක නායකයින් විසින් සංවර්ධන නිලධාරීන් මුලාවේ හෙළමින් මෙම පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කර ඇත.
”විශේෂයෙන්ම විපක්ෂයට සම්බන්ධ සෘජු දේශපාලන සම්බන්ධතා සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පෙරටුගාමී පක්ෂය ඒ වගේම සමගි ජන බලවේගය ඇතුළු විවිධ දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෘත්ති සමිති කීපයක් විසින් අද දින වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කර තිබුණා.අපි දශක ගණනාවක් පසුගිය කාලයේ සංවර්ධන නිලධාරීන් ඇතුළු නිලධාරීන්ගේ වෘත්තීය ප්‍රශ්න විසඳා ගැනීම සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කර ක්‍රියාමාර්ග ගනිද්දී ඒ ක්‍රියාමාර්ග වැළැක්වීමට පියවර ගත් අය, ඒ ක්‍රියාමාර්ග පාවා දෙමින් කටයුතු කරපු අය, ඒ ක්‍රියාමාර්ග වලට එරෙහිව ලියුම් ගහලා සාමාජිකයන් බය කරපු අනුරාධලා ධම්මිකලා තමයි අද දවසේ මේ ක්‍රියාමාර්ගය ප්‍රකාශයට පත් කරලා තිබුණේ.”
කෙසේවෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ පැවසුවේ චන්දන සුරියාරච්චි වර්ජනයේ යෙදුණු වෘත්තීය සමිති අටවාගත් වෘත්තීය සමිති බව පැවසීමට කිසිදු අයිතියක් නොමැති බවයි. මන්ද ඒවා කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෘත්තීය සමිති බව ඔහු පවසයි.
” වෘත්තීය සමිති සම්බන්ධයෙන් කම්කරු කොමසාරිවරයාට තිබෙන බලය අභිබවා යමින් ප්‍රකාශ නිකුත් කරන්න මන්ත්‍රීවරයෙකුට හයියක් කොහෙන්ද. ඒ නිසා චන්දනට කියනවා ඔයා උඩ තට්ටුවලට මුල්ගල තිය තියා ඉන්න. වෘත්තීය අරගල කරන්න ඔයාට දැන් බෑ. ”




