1- කොළඹ යනු වගුරුබිමකි. නගරයක් ලෙස සංවර්ධනය වීමට පෙර, එය වගුරු බිමක් විය. වගුර ඇත්තේ ජලය රැඳීමටයි. අපි රටේ අගනගරය ගොඩ නගා ඇත්තේ ඒ වගුරේය. 1997 සිට 2017 දක්වා කාලය තුළ කොලඹ තෙත්බිම් වලින් හතරෙන් පංගුවක් ගොඩකෙරිණි. මේ විදියට ගියහොත්, 2060 වන විට ඉතිරි වන්නේ පහෙන් පංගුවක් පමණි.
2- 1948 දී ශ්‍රීමත් පැට්රික් ඇබකොම්බේ (නගරසැලසුම්කරුවෙක්) මෙහි පැමිණියේය. ඔහු අපගේම රාජ්‍ය නගර සැලසුම්කරු ඔලිවර් වීරසිංහ සමඟ කටයුතු කළේය. ඔවුහු කොළඹ දෙස බලා මෙසේ කීහ: “මේ නගරය දරාගත නොහැකි බරක් උසුලයි. එයට හුස්ම ගැනීමට ඉඩ දෙන්න. නගර තුනක් තනන්න — රත්මලාන, හෝමාගම, රාගම — එකකට හතළිස් දහස බැගින්. එක් ලක්ෂ විසි දහසකට ආලෝකය හා විවෘත බිම කරා යාමට ඉඩ දෙන්න.”
එම සැලැස්ම 1949 මාර්තු මාසයේදී අනුමත විය.
ඉන්පසු ඒ ප්ලෑනට සිදුවූ දෙයක් නැත.
3- කොළඹ යනු ශ්‍රී ලංකාවයි. රටේ ජාතික නිෂ්පාදනයෙන් සහ ජාතික ආදායමෙන් සීයෙට පනහකට ආසන්නව ලබාදෙන්නේ බස්නාහිර පළාතයි. රටේ නාගරික ජනගහනයෙන් සීයෙට හතලිස් අටක් කොළඹ ජිවත් වේ. කොළඹ නගරය අද මිනිසුන් ලක්ෂ පහකට නිවහන වේ. එපමණක් නොවේ, සෑම වැඩ කරන උදෑසනකම තවත් ලක්ෂ පහකට ආසන්න පිරිසක් නගරයට ඇතුළු වෙති. දහවල් වන විට කොළඹ, මිනිස් ගහණයෙන් දෙගුණයක් වේ. මතක තබා ගන්න; මේ මිනිස්සු ලක්ෂයක් සඳහා සැලසුම් කෙරුණු නගරයකි. දැන් ඊට වඩා දහ ගුණයක මිනිස්සු එහි වෙති.
කොළඹ නගරයේ නිත්‍ය ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් ජීවත් වන්නේ පහසුකම් අඩු ජනාවාසවල ය. බොහෝ මිනිස්සුන්ට කැලි කසළ බැහැර කරන තැන් නැත. ඒවා කෙලිම්ම බැහැර කෙරෙන්නේ ලඟම ඇති ඇලටයි. නාගරික සංවර්ධන අධිකාරිය කියන්නේ එය සියයට පනහකට වැඩි පිරිසක් බවත්, ඔවුන් සිටින්නේ නගරයේ මුළු ඉඩමෙන් සියයට නවයක් තුළ බවත් ය. මේ මිනිස්සු තාවකාලික පදිංචිකරුවන් නොවෙති. එම ජනාවාසවලින් බොහෝමයක පවුල් තිස් වසරකට වැඩි කාලයක් එහි ජීවත් වී ඇත. කාණු අවහිර වූ විට, මුලින්ම ජලය පැමිණෙන්නේ ඔවුන්ගේ දොරකඩට ය.
4- ඊයේ පැය කිහිපයක් ඇතුළත මිලිමීටර් 129ක වර්ෂාපතනයක් කොලඹට ලැබිණි. ඒ මගින් එකතුවන වැහි වතුර පහත් බිම් හරහා ජලය රඳන තැනකට ගලා යා යුතුය. ඒ ක්‍රියාවලිය ප්‍රමාද විය හැකි අවස්ථා තිබේ. වතුර ගලා යන වැහිවතුර කාණු නගරයේ සමහර තැන් වල ඇත්තේ විවෘතාවය, සමහර තැන්වල ඇත්තේ භුගතවය. ඒවායේ රොන්මඩ, වැලි හෝ ගස්වල කොළ අතු හිරවී තිබිය හැකිය. ප්ලාස්ටික්-පොලිතින් වැනි ඝන අපද්‍රව්‍ය හිරවී තිබිය හැකිය. ඒ නිසා වැහි කාලයට පෙර මේවා සම්පූර්ණයෙන් සුද්ධ පවිත්‍ර කළ යුතුය. සම්පූර්ණයෙන්. විශේෂයෙන් නිරන්තරව වැහිවතුරෙන් යටවීමේ අවදානමක් ඇති ස්ථාන වල මේවා සම්පූර්ණයෙන් සුද්ධ පවිත්‍ර කළ යුතුය.
5- නගරයේ කාණු සුද්ධ පවිත්‍ර කිරීමේ වගකීම් ඇත්තේ නගර සබාවටය.
6- බොහෝ ප්‍රාදේශීය පරිපාලන ඒකක වල ගැටළු ගොඩක් ඇත. ඒවා විසඳීමට ප්‍රතිපාදන නැත. නමුත් තිබෙන ප්‍රතිපාදන වලින් ප්‍රමුඛතා හඳුනාගෙන , ඒවාට පිළියම් කරමින් වැඩ කළ හැක. ප්‍රමුඛතා හඳුනාගැනීම විශ්වයේ අලුත් ග්‍රහලෝකයක් සොයාගැනීම වගේ දරුණු කේස් එකක් නොවේ. ඒක සමාජමය කාරණාවකි.
7- වැහි කාලයට, මෝසම් කාලයට පෙර නගරයේ වතුර රඳන තැන්, වැහිවතුරෙන් යටවීමේ අවදානමක් ඇති තැන්, මිනිසුන් ගැවසෙන තැන් වල ඇති වැහිවතුර කාණු ටික සුද්ද පවිත්‍ර කිරීම මගින් පැය කිහිපයක් තුළ සිදු වන දරුණු වර්ෂාපතනයේ බලපෑම “අවම”කරගත හැකිව තිබේ.
ලෝකයේ කොහේ ගංවතුර ගැලුවත් එහි වැඩිම බලපෑම දුප්පත් මිනිහාටය. Poor hit hardest ය. ගංවතුරෙන් පීඩාවට පත්වන සෑම 100 දෙනෙකුගෙන් 89 දෙනෙක්ම ජීවත් වන්නේ දිළිඳු රටවල ය (WorldRiskReport 2025). බම්බලපිටිය හරියේ වතුරට යටවූ වාහන වලට රක්ෂණ වන්දි ලැබේද අපි දන්නේ නැත. කී දෙනෙක් රක්ෂණ වාරික ගෙවමින් ඒවා නඩත්තු කෙරේද දන්නේ නැත. ඔබේ නගර සබාවේ හෝ ප්‍රාදේශීය සබාව වැහි කාලයට පෙර තමන්ගේ බලප්‍රදේශයේ කාණු ටික සුද්ද කරනවාද කියා සැලකිලිමත් වන්න. ඒ ගැන මන්ත්‍රී වරයාගෙන් අහන්න. ඊට බල කරන්න. ඔබේ නගර සබාවේ හෝ ප්‍රාදේශීය සබාවේ ප්‍රමුඛතා ප්‍රශ්න කරන්න.
ආචාර්ය නදීෂා චන්ද්‍රසේන




