කාවන්තිස්සගේ පස්චාත් මරණ පරීක්ෂණය

මෙරට වනාන්තරවල දිවි ගෙවූ උසම දළ ඇතා ලෙස බොහෝ දෙනාගේ ජනාදරයට පාත්‍රව සිටි කාවන්තිස්ස හස්තියා බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ නොසැලකිල්ල සහ නොහැකියාව විසින් මරා දමා හමාරය. ඒ අප මෙරට අනෙකුත් බොහෝ අංශ සම්බන්ධයෙන් මෙන්ම වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන්ද ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නා බව යලි යලිත් අවධාරණය කරමිණි. අඳුරු කණගාටුදායක ඉතිහාසය නැවත නැවතත් යාවත්කාලීන වන්නේ කිසිඳු වෙනසකින් තොරවය.

‘කාවන්තිස්ස’ සිය අලංකාර දළ යුගල සහ රටේ ස්වභාවික උරුමය නියෝජනය කරන සංකේතාත්මක වැදගත්කම හේතුවෙන් බොහෝ දෙනාගේ ආදරයට පාත්‍රව සිටියේය. ශ්‍රී ලංකාවේ මෑත කාලයේ වාර්තාවූ උසම වනගත ඇත් රජු ලෙස සැලකුණු ඔහු, සිය සුවිශේෂී උස සහ දිගු දළ යුගල සඳහා ප්‍රසිද්ධව සිටියේය. දිවයිනේ වයඹ දිග වියළි කලාපයේ, විශේෂයෙන්ම ගල්ගමුව ප්‍රදේශය ඔහුගේ විසුම් ප්‍රදේශය විය.

කාවන්තිස්සගේ වෛද්‍ය විද්‍යාත්මක පස්චාත් මරණ පරීක්ෂණය කොයි ආකාරයෙන් කෙසේ සිදු කෙරුණද ඉන් එහා ගිය විමසුමක් මෙම මරණය සම්බන්ධයෙන් අත්‍යාවශ්‍යය. කාවන්තිස්සලාගේ පරපුර මුහුණ දෙන ඛේදනීය ඉරණම වෙනස්කල හැක්කේ එවිටය. නමුත් ප්‍රකාශයට පත් නොකළ සමීක්ෂණ වාර්තාවක් උපුටා දක්වමින් පසුගිය දශකය තුළ මෙරට අලි ගහනය ඉහළ ගොස් ඇති බවත්, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මියගිය අලි ඇතුන් සංඛ්‍යාව අඩු බවත් පවසමින් අංක සෙල්ලම් පාන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පරිසර අමාත්‍යාංශය ඒ සඳහා කොතරම් දුරට සූදානම්ද යන්න ප්‍රශ්නාර්ථයකි.

සංරක්ෂණ ප්‍රවේශය

බලධාරීන්ට අනුව, අලි ඇතුන් සංරක්ෂණය කිරීමේදී ඔවුන්ගේ ප්‍රවේශය තනි සතුන් කෙරෙහි නොව, සමස්ත පරිසර පද්ධති කෙරෙහි අවධානය යොමු කිරීමය. නමුත් අප හමුවේ ඇති ගැටලුව වන්නේ දිනපතාම අලි ඇතුන් මිය යන්නේ නම්, මෙම කුඩා දූපත් රාජ්‍යය තුළ ඔය කියන සංරක්ෂණ ප්‍රවේශය කොතරම් දුරට සාර්ථකවී ඇතිද යන්නය. අඩු තරමින් තම දෙපාර්තමේන්තුව යටතේ පවතින ජාතික උද්‍යානවල සිටින අලි ඇතුන්  ස්වල්ප දෙනා හෝ ආරක්ෂා කරගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඔය කියන ප්‍රවේශය අසමත්ව ඇති බව පෙනෙන්නට තිබේ.

බලධාරීන් විසින් අලි ඇතුන්ගේ සුබසාධනය මෙහෙයවන ආකාරය පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරන තත්වයන් යටතේ, කාවන්තිස්ස වැනි ප්‍රසිද්ධ දළ ඇතුන් අකාලයේ මිය ගිය පළමු අවස්ථාව මෙය නොවේ. මෑතකදී සිදුවූ එවැනි ඛේදවාචකයකින් ඉකුත් 2025 වසරේ ජූලි මාසයේදී ‘භාතිය’ නම් ශ්‍රී ලංකාවේ වයඹ දිග වියළි කලාපයේ ජීවත් වූ සුප්‍රසිද්ධ වනගත දළ ඇතා අකාලයේ මරණයට පත්විය. වෙඩි තැබීමකින් ඇතිවූ තුවාල වලට ලබාදුන් ප්‍රතිකාර වලින් පසු ඔහු මිය ගිය අතර, එම සිදුවීම දැඩි මහජන කැළඹීමකට හේතු විය. එමෙන්ම, අලි ඇතුන්ට සිදුවන තුවාල වළක්වා ගැනීම සහ තුවාල ලැබූ සතෙකු පිළිබඳ වාර්තා වූ විට ඊට කඩිනමින් හා ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් බරපතල කනස්සල්ලක් ද මතු විය. ‘තේක්කා රාජා’ නම් තවත් ප්‍රසිද්ධ දළ ඇතෙකුට ද මෙවැනිම ඛේදජනක ඉරණමක් අත්විය. මෙම සතුන් කෙතරම් අවදානම් සහගත තත්වයක පසුවන්නේද යන්නත්, ඔවුන් ආරක්ෂා කිරීමේ වගකීම බලධාරීන් විසින් කොතරම් දුරට නිසි ලෙස ඉටු කරන්නේද යන්නත් විමසා බැලීමේ අවශ්‍යතාව ඔවුන්ගේ ඉරණම මගින් අවධාරණය කළේය.

වනජීවී පශුවෛද්‍ය සේවය

කාවන්තිස්සගේ තුවාලය සඳහා නැවත නැවත ප්‍රතිජීවක ප්‍රතිකාර කිරීම ඔහුගේ ඉරණම මරණයෙන් ලියැවීමට හේතු වී ඇති බවට චෝදනා එල්ලවේ. අලි ඇතුන් රෝමාන්ත්‍රික සතුන් නොවන බැවින් තන්තුමය ශාක ද්‍රව්‍ය බිඳ දැමීමට සහ සාමාන්‍ය ආහාර ජීර්ණ ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට ඔවුන් මහාන්ත්‍රයේ ජීවත්වන ක්ෂුද්‍ර ජීවීන් මත රඳා පවතී. ඇතැම් ප්‍රතිජීවක මෙම ක්ෂුද්‍රජීවී ප්‍රජාවට බාධා කළ හැකි අතර, පාචනය, ආහාර ජීර්ණය අපහසු වීම, ආහාර රුචිය අඩු වීම සහ දරුණු අවස්ථාවල දී විජලනය සහ ශාරීරික දුර්වලතාවය ඇති කළ හැකිය. ඒ අනුව නැවත නැවත ප්‍රතිජීවක භාවිතය කාවන්තිස්සගේ මරණයට හේතු වූයේ නම්, ඔහුගේ ප්‍රතිකාරය නිසි ලෙස කළමනාකරණය සහ අදීක්ෂණය කළේද යන්න පිළිබඳව බරපතල ප්‍රශ්න මතුකරයි.

මෙරට වනජීවී පශු වෛද්‍යවරුන් සේවය කරන දුෂ්කර තත්ත්වයන් පිළිබඳව අපට වැටහීමක් ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රැඳී සිටින, ඉතා අහිතකර වෘත්තීය තත්ත්වයන් යටතේ සේවය කරන වනජීවී පශු වෛද්‍යවරුන් කිහිප දෙනාගේ කැපවීම අපි බෙහෙවින් අගය කරමු.

ඔවුන් කාර්ය මණ්ඩල හිඟය, දුෂ්කර සේවා කොන්දේසි, ප්‍රමාණවත් ආධාරක පහසුකම් නොමැතිකම සහ සීමිත වෘත්තීය අවස්ථා යන ගැටළු සමුදායකට මුහුණ දෙති. මෑතකදී යාවත්කාලීන කර නොමැති අනුමත තනතුරු 35ක සේවක සංඛ්‍යාවක් තිබියදීත් ක්ෂේත්‍ර ස්ථාන සහ මූලස්ථානය තුල සේවය කරන්නේ පශු වෛද්‍යවරුන් 17 දෙනෙකු පමණි. උසස්වීම් ධුරාවලියක් නොමැති අතර, පවතින එකම අධ්‍යක්ෂ පට්ටමටද විශ්‍රාම යාමෙන් පසු විශේෂ පිළිගැනීමක් හෝ ප්‍රතිලාභයක් හිමි නොවේ. ජ්‍යෙෂ්ඨ වනජීවී පශු වෛද්‍යවරුන් දශක ගණනාවක් තිස්සේ ඔවුන් බඳවාගත් තනතුරුවලම රැඳී සිටින අතර ඔවුන්ට එම තනතුරේම විශ්‍රාම යාමට සිදුව තිබේ. මෙම තත්වයන් වෘත්තීය අභිප්‍රේරණය අඩපණ කළ හැකි අතර පළපුරුදු පශු වෛද්‍යවරුන්ට සේවාව නීරස කරයි. එපමණක් නොව, වනජීවී පශු වෛද්‍යවරුන් අනතුරුදායක ක්ෂේත්‍ර රාජකාරිවලට, දීර්ඝ වැඩ මුර සහ සැලකිය යුතු රාජකාරි ගමන් අවශ්‍යතා වලට මුහුණ දෙන නමුත් ඊට සරිලන දීමනා නොලබති.

මෙම සීමාවන් පශු වෛද්‍ය සේවාවේ සිදුවන අඩුපාඩු සඳහා නිදහසට කරුණු විය නොහැකි වුවද, වනජීවී පශු වෛද්‍යවරුන් කටයුතු කරන අභියෝගාත්මක තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු නොකලොත් කාවන්තිස්සගේ පශ්චාත් මරණ පරීක්ෂණය අසම්පූර්ණය. වගවීම තහවුරු කිරීම සහ මෙම වෘත්තිකයන්ට සහාය දැක්වීම යන කරුණු දෙකම එකිනෙක හා බැඳී පැවතිය යුතුය. තුවාල ලැබූ සෑම සතෙකුටම නියමිත වේලාවට, නිසි පරිදි සහ හොඳින් අධීක්ෂණය කෙරෙන ප්‍රතිකාර ලැබෙන බව තහවුරු කරන අතරම, වනජීවී පශු වෛද්‍ය සේවාවේ පවතින අඩුපාඩු කඩිනමින් විසඳීමට බලධාරීන් පියවර ගත යුතුය. නැතහොත් අනාගතයේදී ද කාවන්තිස්සලා දැයට අහිමිවීම නොවැලැක්විය හැකිය. නමුත් නිලධාරීවාදයේ සහ බල පොරයේ ගොදුරක් බවට පත්ව ඇති වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එවැනි කඩිනම් විසඳුම් බලාපොරොත්තුවීම ද විසුළු සහගතය.

අලි-මිනිස් ගැටුම

අනෙක් අතට මෙරට වර්තමානයේ මුහුණදී සිටින බරපතලම පාරිසරික, සමාජාර්ථික හා දේශපාලන අර්බුදයක් වන අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ද බලධාරීන්ගේ කිසිඳු සාධනීය මැදිහත්වීමක් පෙනෙන්නට නැත. කාවන්තිස්ස මරණ මංචකයට ඇද දැමූ වෙඩි පහර ඇතුළු වෙඩි තැබීම්, විදුලි මර උගුල් සහ හක්ක පටස් වැනි උවදුරු ගණනාවකින් අලි ඇතුන් දින පතා මරා දැමේ. එහි ප්‍රතිපලයක් ලෙස අප සිටින්නේ අලි-මිනිස් ගැටුම් හේතුවෙන් අලි ඇතුන් මිය යන රටවල් අතර ලොව පළමු තැන බව 2020 වසරේ පර්යේෂණ පත්‍රිකාවක් පල කරමින් ලියුම්කරු අතුරු පර්යේෂකයන් පිරිසක් වෙනවා දුනි.

නමුත් මෙම බරපතල අර්බුදය අවම කරගැනීම සඳහා දේශපාලන අධිකාරිය දක්වන්නේ ඉතාම මන්දෝත්සාහී බවකි. ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා 2020 වසරේ සකස් කෙරුණු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරන ලෙස වර්තමාන රජය බලයට පත්වූදා සිට අප ඉල්ලා සිටියෙමු. නමුත් ඊට නෑසුණු කන් ඇතිව පරිසර අමාත්‍යවරයා සිදුකළේ යල් පැන ගිය අවිද්‍යාත්මක සහ අසාර්ථක අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ ක්‍රමවේද වැළඳ ගැනීමය. එහි ප්‍රතිපලයක් ලෙස දිවයිනේ ප්‍රදේශ ගණනාවක අලි ඇතුන් උන්ගේ වාසභූමි වලින් පන්නා රක්ෂිත වෙත ගාල් කිරීම සිදුවිය.

ඊට නොදෙවැනිව ජනාධිපතිවරයා නියෝග කලේ අලි-මිනිස් ගැටුම් බලපවත්නා දිස්ත්‍රික්කවල වගකිව යුතු නිලධාරීන්ගෙන් සමන්විත කමිටු පත්කර එමගින් ගැටුම් අවම කිරීමට අවශ්‍ය දිස්ත්‍රික් ක්‍රියාකාරී සැලසුම් (Action Plan) සහ ක්‍රියාත්මක කිරීමේ සැලසුම් (Implimentation Plan) සකස් කරන ලෙසය. ඒ සඳහා ඉකුත් වසරේ ජූලි මාසයේ අංක PS/DASA/Circular/5/2025 දරන චක්‍රලේඛය ද ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් විය. එයද අසාර්ථකවූ තැන මෙම වසරේ ජුනි මස 15 වැනිදා නව ‘අලි-මිනිස් ගැටුම් කලමනාකරණය සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබීය. ඒ 2020 සැලැස්ම යල්පැන ගොස් ඇතිබව පවසමිණි. නව සැලැස්ම සකස් කිරීම සඳහා අඩු වැඩි වශයෙන් 2020 සැලැස්ම සකස්කළ පිරිසම යොදාගනිමින් කමිටුවක් පත් කෙරිණි. එහි සභාපතීත්වය පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) විසින් දරන අතර ලේකම්වරයා වන්නේ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාය. මේ වන විට එම කමිටුව ඉබි ගමනේ යන අතර දිනපතාම අලි-මිනිස් මරණ වාර්තා වීම නොකඩවා සිදුවේ.

පූර්වගාමී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, 2020 ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම සහ අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති කමිටුවක් 2022 නොවැම්බර් මාසයේදී  පත් කළේය. අපේක්ෂිත අධිකාරී බලය සහ අරමුදල් නොමැතිකම නොතකා 2024 වසර තුළ මෙමගින් ජාතික ක්‍රියාකාරී සැලැස්ම යම් මට්ටමකින් ක්‍රියාත්මක වීමෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ප්‍රජා මූලික විදුලි වැට 300 ක් පමණ ස්ථාපනය කෙරිණි. තවද එම වසරේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අලි පලවාහැරීම් සහ අලි පරිස්ථාපනය කිරීම් අවම කිරීමද සිදු විය. අඛණ්ඩව වසර නවයකට පසු 2024 වසරේ දී වාර්තා වූ අලි-මිනිස් ගැටුමේ වින්දිතයින් වන මිනිස් සහ අලි මරණ සංඛ්‍යාව අඩුවීමට එම ක්‍රියාකාරකම් හේතු වූ බව ලියුම්කරුගේ විශ්වාසයයි. කෙසේ වෙතත් බල පෙරළියෙන් පසු පත්වූ වර්තමාන රජය කල් ඉකුත්වී ඇති බව පවසන්නේ 2024 වසරේදී ද සාධනීය ප්‍රතිපල පෙන්වූ එම ක්‍රියාකාරී සැලැස්මය.

මෙවැනි කාරනා ගැඹුරෙන් විග්‍රහ කරගැනීමෙන් තොරව කාවන්තිස්සගේ පස්චාත් මරණ පරීක්ෂණය අංග සම්පූර්ණ නොවන අතර ඉදිරියේදී හෝ කාවන්තිස්සලාගේ පරපුරට හෝ අලි-මිනිස් ගැටුමෙන් බැටකන මිනිසුන්ට සාධාරණයක් ඉටුවන්නේ නැත.

සුපුන් ළහිරු ප්‍රකාශ්

Share post:

Popular

වෙනත් පුවත්

වන්දි ලබාදීම බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ට පමණයි

පසුගිය ජූලි මස 5 සහ 6 යන දිනවල මීගමුව...

හෝමාගම පොලීසිය තුළ තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමට අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

හෝමගම පොලිස් ස්ථානය තුළ තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් චෝදනා එල්ල...

අවුරුදු 05ට පොලිස් බාරයේදී සැකකරුවන් 79ක් මැරිලා

ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සහ අත්අඩංගුවේ...

හෝමාගම පොලීසිය මැරූ ඉෂාර සමඟ අත්අඩංගුවට ගත් මධුසංකගෙන් ප්‍රකාශයක් ගන්න නියෝග

හෝමාගම පොලිස් අත්අඩංගුවේදී පහරදීමෙන් මියගිය ඉෂාර හර්ෂ කුමාර සමඟ...