රජය විසින් සම්මත කර ගැනීමට උත්සාහ දරන මර්දන අණ පනත් කිහිපයක් පිළිබඳව මේ වන විට සමාජයේ විශාල කතිකාවතක් නිර්මාණය වෙලා තියෙනවා . විරෝධතාවයන් පැන නැගිලා තියෙනවා . ඊයේ පැවැති ජන හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළහ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර සිටියේ ජනතාවගේ විරෝධය එල්ල වෙන පනත් සංශෝධනය කිරීමට ඔහු සූදානම් බවයි .
ජනාධිපතිවරයාගේ මේ අදහස් දැක්වීම පිළිබඳව කරුණු දක්වන්න අද පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා .
දැනට පවතින නීතියට අනුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගත හැක්කේ අපරාධමය ක්‍රියාවකට සෘජුව සම්බන්ධ වූ විට පමණක් වුවද, මෙම නව පනත මගින් පුද්ගලයෙකුගේ බාහිර පෙනුම, පච්ච හෝ ආශ්‍රය කරන පුද්ගලයින් මත පදනම්ව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමේ භයානක අවදානමක් නිර්මාණය වන බව පුබුදු ජයගොඩ පෙන්වා දෙනවා .
මෙහි ඇති බරපතළකම රඳා පවතින්නේ පොලිසියේ පැය 72 තබාගන්නවාද කියන එක මත නෙවෙයි ඊට වඩා භයානක රුණු මෙම පනත ඇතුලේ තිබෙන බව ඔහු පෙන්වා දෙනවා. උදාහරණයක් ලෙස වගන්ති 21 (3) සහ 21 (4) යටතේ පොලිස්පති හෝ නියෝජ්‍ය පොලිස්පති හරහා මාස දෙකෙන් දෙකට දීර්ඝ කරමින් වසරක් දක්වා පුද්ගලයින් රඳවා තබාගැනීමට ලබාදී ඇති ඉඩකඩ ප්‍රශ්න කරන බවයි . මහේස්ත්රාත්වරයෙකු විසින් සැකකරුවෙකු රිමාන්ඩ් භාරයට පත් කළ පසුවත්, ප්‍රශ්න කිරීම් සඳහා යැයි පවසමින් නැවත පොලිස් ස්ථානයට රැගෙන යෑමේ හැකියාව තිබෙනවා එය බරපතළ ගැටළුවක් .
එපමණක් ද නොව මේ පනත හරහා මහේස්ත්රාත්වරයාගේ අධිකරණ බලය පවා විසි තුන්වන වගන්තිය හරහා සීමා කරන බව ඔහු කියා සිටියා .
23 වන වගන්තියට අනුව සැකකරුවෙකු ඉදිරිපත් කළ විට, රැඳවුම් නියෝගයක් ඇත්නම් එය අනුමත කිරීමට හෝ රැඳවුම් නියෝගයක් නැතිනම් අනිවාර්යයෙන් රිමාන්ඩ් කිරීමට මහේස්ත්රාත්වරයාට සිදු වෙනවා. පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ඒත්තු ගියද, ඔහුට ඇප ලබා දී නිදහස් කිරීමේ කිසිදු බලයක් මහේස්ත්රාත්වරයාට නොමැති බැවින් මෙය අසාධාරණ සහ පලිගැනීම් සඳහා භාවිත කළ හැකි පනතක් බව අවධාරණය කළා .




