නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය

අතිගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය,
ගාලු‍ මුවදොර,
කොළඹ 01.

2026.10.30

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ඔබතුමන් ඇතුලු‍ වත්මන් රජය ගන්නා උත්සාහය පිළිබඳව අපගේ කෘතඥතාව පලකරීමට කැමැත්තෙමු. එමෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ මූලික වගකීමක් බවත් ත්‍රස්තවාදී ක්‍රියා මගින් ජනතාවගේ ජීවිත විනාශ කිරීම, රාජ්‍ය දේපළ හා පෞද්ගලික දේපළ විනාශ කිරීම, මත්ද්‍රව්‍ය වලින් සමාජය හා තරුණ පරපුර ආරක්ෂාකරගැනීම, රටේ ආර්ථිකයට හානි කිරීම සහ ජනතාව තුළ බිය සැක ඇති කිරීම වැළැක්වීම සඳහා ශක්තිමත් නීති පද්ධතියක් තිබිය යුතු බවත් අප විශ්වාස කරමු. ඒ සඳහා ඔබතුමන්ගේ ආණ්ඩුවට මහජන වරමක් ලැබී ඇති අතර එය ආණ්ඩුවේ වගකීමක් බවද අප විශ්වාස කරමු .

එහෙත් රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ගනුලබන ක්‍රියාමාර්ග හරහා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමී විරෝධතාවල නිරත වීමේ අයිතිය සහ අධිකරණයේ ස්වාධීනත්වය ද අනවශ්‍ය ලෙස සීමා කිරීම නොකල යුතු ය. ඒ අනුව යෝජිත “ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂාකිරීමේ පනත් කෙටුම්පත” සහ “සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත” පිළිබඳව ඔබතුමන්ගේ අවධානය යොමුකිරීමට කැමැත්තෙමු.

පසුගිය ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණවල දී, ජාතික ජන බලවේගය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ප්‍රතිඥා දෙන ලදී. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ -“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලු‍ පීඩාකාරී පනත් අහෝසි කිරීම සහ රටේ සියළුම ප්‍රදේශවල ජනයාගේ සිවිල් අයිතිවාසිකම් සහතික කිරීම.” (Abolition of all oppressive acts including the Prevention of Terrorism Act (PTA) and ensuring civil rights of people in all parts of the country) යනුවෙන් සඳහන් වෙයි. (ඉංග්‍රීසි පිටපතේ 129 පිටුව) එමෙන්ම යුරෝපා සංගමය විසින් ජී.එස්.පී. ප්ලස් (GSP+) සහනය නැවත ලබා දීමේ කොන්දේසියක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ශ්‍රී ලංකාව එකඟවි ඇත.

තවද ත්‍රස්තවාදයට එරෙහි නීතියක් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කිරීම සඳහා 2021 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් විසින් ඉදිරිපත් කරණලද පූර්ව අවශ්‍යතා අතර ඇති, අදහස් ප්‍රකාශ කිරීමේ, මත දැරීමේ, සාමකාමීව රැස්වීමේ, සමාගම් පැවැත්වීමේ සහ ආගමික හෝ විශ්වාසයන් ඇදහීමේ නිදහස වැනි අයිතිවාසිකම්වලට මෙම පනත මගින් බලපෑම් ඇති විය හැක .
එවන් තත්වයක නව පනත මගින් ජනතාවගේ අයිතිවාසිකම් සීමාවීම පිළිබඳව මෙන්ම රටෙහි අභිවෘද්ධිය කෙරෙහිද බලපෑම් එල්ලවීමේ අවධානමක් ඇතිබව අපගේ අදහසයි.තවද නව යෝජිත පනතෙහි ඇතුළත් පහත කරුණු විවාද සම්පන්න බව පෙන්වාදිය හැක.

මෙම පනත මගින් ත්‍රස්තවාදය යන්න තවදුරටත් අතිශයින් පුළුල් ලෙස අර්ථ නිරූපණය කර ඇති අතර, සාමකාමී විරෝධතා, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, මතවාදී ප්‍රකාශන හෝ මානුෂීය සහ වෛද්‍ය ආධාර සැපයීම් ත්‍රස්තවාදී වැරදිවලින් වෙන් කිරීමට පනත් කෙටුම්පත අපොහොසත් වී ඇත.

(නව පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තිය ත්‍රස්තවාදය පිළිබඳ මූලික අර්ථ දැක්වීමට අදාළ වන අතර , එහි සඳහන් “සැලකිය යුතු ආර්ථික හානියක්” ඇති කිරීමේ හැකියාව වැනි කරුණක් ත්‍රස්තවාදය තීරණය කිරීමේ පදනමක් ලෙස දක්වා ඇති විට,එය අදාළ වන්නේ කුමන තත්ත්වයන්ටද යන්න නිශ්චිතව සලකා බැලිය යුතුය.උදාහරණයක් ලෙස සාමකාමී අරගලයක්, රජයේ තීරණයකට එරෙහි විරෝධතාවක් හෝ ආර්ථික ප්‍රතිපත්තියක් වෙනස් කරන ලෙස ඉල්ලා සිටින මහජන ව්‍යාපාරයක් නිසා යම් ආර්ථික බලපෑමක් ඇති විය හැකිය.එහෙත් එවැනි ආර්ථික බලපෑමක් ඇති වූ පමණින් එම ක්‍රියාව ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ දැක්වීම සාධාරණ නොවේ.)

● අටවන වගන්තියේ ඇති ”‍බාධා කිරීම හෝ මැදිහත්වීම”‍,”‍විශ්වාස කිරීමට සාධාරණ හේතු තිබීම”‍ යන යෙදුම් පුළුල් ලෙස අර්ථකථනය කිරීමට හැකි බැවින් ත්‍රස්තවාදී නොවන ක්‍රියාවන්ද ත්‍රස්තවාදි ක්‍රියා ලෙස අර්ථකථනය වීමේ අවදානමක් ඇත.

● පහළොස්වන වගන්තියේ ඇති තොරතුරු ලබා නොදීම වරදක් වීම යන වගන්තියේ අර්ථකථනය ඉතා පුළුල් වන අතර චේතනාන්විතව ත්‍රස්තවාදී ක්‍රියාවක් පිළිබඳ ව නිශ්චිත තොරතුරු වසන් කිරීම ලෙස පැහැදිලි සීමාවක් සහිතව දැක්විය යුතුය.

● දහවන වගන්තියේ ඇති ත්‍රස්තවාදී ප්‍රකාශන මෙම වගන්තිය ද ඉතා පුළුල් සහ අගතිගාමී ලෙස නිර්වචනය කළ හැකි වගන්තියකි මෙමගින් සාමකාමී විරෝධතාවයක් සඳහා නතාවට ඇරයුම් කරන ප්‍රකාශයක් වුවද ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ ගැන්වීමේ හැකියාවක් ඇති අතර එසේ එසේ වුවහොත් ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මෙමගින් සීමා වනු ඇත.

● දහනම වන වගන්තිය මගින් පැවති පනතේ පොලිස් නිලධාරීන් වෙත පවරා තිබූ බලතල කාර්යයන් සන්නද්ධ හමුදා නිලධාරීන්ට සහ වෙරළ ආරක්ෂක නිලධාරීන්ට පවරා ඇති අතර එමගින් වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගැනීමේ බලය එම අංශ වෙත පැවරී ඇත. මහජන ආරක්ෂාව සඳහා සිටින පොලිස් නිලධාරීන්ගේ බලය අනෙකුත් ආරක්ෂක අංශ වෙත පැවරීම සහ පැවති පනතේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ ලිඛිත නියෝගයක් මත පොලිස් පරීක්ෂකවරයෙකු හෝ ඊට ඉහල නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගැනීමක් සිදු කළ යුතු යැයි තිබූ තුලනාත්මක විධිවිධාන මෙම පනතේ නොතිබීම බරපතල තත්ත්වයකි.

● විසිහය වන වගන්තිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රඳවා තබා ගැනීමේ නියෝග මත වසරක කාලයක් රඳවා තබා ගැනීම සඳහා නියෝග නිකුත් කිරීමේ බලය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පවරා ඇත. මෙලෙස අධිකරණයේ බලය පරිපාලන නිලධාරියෙකු වෙත පැවරීම මගින් සඵලදායී අධිකරණ අධීක්ෂණය සීමාවී ඇත. තවද හතලිස් නමවන වගන්තිය මගින් අධිකරණයේ අධීක්ෂණයකින් තොරව රජයේ රස පරීක්ෂකවරයාට පරීක්ෂණ ද්‍රව්‍යය යොමු කිරීම සඳහා පොලිසියට බලතල ලබාදීම මගින් අධිකරණයේ මැදිහත්වීම සීමාවන අතර එය ද ගැටලු‍කාරී වේ.

● තිස්නව වන වගන්තිය මගින් දක්වා ඇති රඳවා තබා ගැනීමේ නියෝග සමාලෝචනය කිරීම සඳහා පත්කරන ස්වාධීන කමිටුව අමාත්‍යවරයා විසින්ම පත්කිරීම මගින් එහි ස්වාධීනත්වය පිළිබඳව ගැටළු මතුවේ.

● හැට එක්වන වගන්තිය මගින් ඕනෑම ස්ථානයක් “‍තහනම් ස්ථානයක්”‍ ලෙස නම් කිරීමට ආරක්ෂක ලේකම්වරයාට බලය පවරා ඇති අතර, පුද්ගලයෙකුගේ ගමනාගමනය සහ සන්නිවේදනය මාස තුනක් දක්වා සීමා කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීමට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට හැකියාව ඇත. සීමිත අධිකරණ අධීක්ෂණයක් සහිත හෝ අධිකරණ අධීක්ෂණයකින් තොරව භාවිත කළ හැකි මෙවැනි පුළුල් බලතල මගින් අදහස් ප්‍රකාශ කිරීමේ, සමාගම් පැවැත්වීමේ, රැස්වීමේ සහ ගමනාගමනයේ නිදහස කෙරෙහි දැඩි බාධාකාරී හා අහිතකර බලපෑමක් ඇති කරනු ඇත.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේද එවැනි ගැටලු‍ රාශියක් මතුව ඇති අතර ඒ පිළිබඳවද ඔබතුමන්ගේ අවධානය යොමුකිරීමට කැමැත්තෙමු.

මෙම පනත් කෙටුම්පත හරහා සුළු වැරදි පවා “දරුණු අපරාධ” ලෙස වර්ගීකරණය කර ඇති බව.

බුද්ධිමය දේපළ, කතෘ හිමිකම් උල්ලංඝනය කිරීම්, සුරාබදු සහ වන සංරක්ෂණ වැරදි වැනි සාමාන්‍ය වැරදි පවා සංවිධානාත්මක අපරාධ ලෙස අර්ථගැන්වීමේ අවධානමක් පැවතීම.

අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝග මත වසරක කාලයක් දක්වා පුද්ගලයන් රඳවා තබා ගැනීමට බලය ලැබීම මගින් අධිකරණයේ මැදිහත්වීම සීමාවීම.

වෘත්තීය සමිති ක්‍රියාකාරකම්, සාමකාමී විරෝධතා මෙම පනතේ බලපෑමට ලක් විය හැකි අතර එමගින් සිවිල් සමාජය මර්දනය වීමේ අවදානමක් පැනනගී.

පොලිස් අත්අඩංගුවේදී ලබා ගන්නා ප්‍රකාශ සාක්ෂි ලෙස පිළිගැනීමට ඉඩ සලස්වා තිබීම මඟින් සැකකරුවන්ගේ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය අහිමි වේ.

කවර පසුබිමක් යටතේ වුවද රාජ්‍ය පාලනයේ දී ඔබ ජනතාව කෙරෙහි බැඳුණු මිත්‍රශීලී ශෛලිය ඔස්සේම කටයුතු කරනු ඇතැයි අප අපේක්ෂා කරන අතර, මෙම පනත ගෙන ඒමේ රජයේ මූලික අරමුණ පිළිබඳව අපගේ විරෝධයක් නොමැති බවද සඳහන් කරමු. එහෙත් එය කෙටුම්පත් කර ඇති ආකාරයට සම්මත වුවහොත් සාමාන්‍ය ජනතාවගේ නිදහස බරපතල ලෙස අවධානමට ලක්වනු ඇති බව අපගේ විස්වාසයයි. එබැවින් මෙම පනත් කෙටුම්පත් නැවත සමාලෝචනය කිරීමට කටයුතු කරන ලෙස අප ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...