යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා ඇතුළු නගර කිහිපයක ශිෂ්‍යයන් විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණ ව්‍යාප්ත වුණා . මේ බොහෝ තැන්වල සංවිධාන කටයුතු සිද්ධ වී තිබෙන්නේ ඔක්තෝබර් 17 ව්‍යාපාරය නමැති සංවිධානයක අනුදැනුම ඇතිව . ‍ප්‍රංශයේ පැන නැගුණ ශිෂ්‍ය අරගලවල ආශ්වාදය ලබා ගත් ඉතාලියේ තරුණ කොටස් ඒ මාදිලියේ අරගල ව්‍යාපාරයක් සඳහා ඒකරාශි වුණේ පැහැදිලි අවබෝධයක් සහ ඉලක්කයක් නැතිවයි. වර්තමාන ලෝක අර්බුදය හමුවේ ඉතාලියේ තරුණයාට ද ප්‍රංශයේ තරුණයාට මෙන්ම මොරක්කෝ තරුණයාට තියන ප්‍රශ්න එක හා සමානයි.

කෙසේ වෙතත් ඔක්තෝබර් 17 වන දා උද්ඝෝෂණ දියත් වන අතරතුර කඩ සාප්පු කැඩීම මංකොල්ලකෑම වැනි දේවල් සිදුවන්නේ උද්ඝෝෂණ ක්‍රියාවලියට මුවා වී පැමිණි බාහිර පිරිසක් අතින් බව ප්‍රකාශ වෙන අතරම ප්‍රංශයේ සිදුවන අරගල වල ආභාෂය, ලාබාල දරුවන් සහ තරුණයන් ලබාගෙන ඇති බවක්ද පෙන්නුම් කරනවා . කෙසේ වෙතත් කඩාකප්පල්කාරී ක්‍රියාවන්වලට අනුබල දුන්නා යැයි පවසමින් ඉතාලියේ පුරවැසිභාවය හිමි මොරක්කෝ ජාතිකයෙකු ඇතුළු කිහිපදෙනෙක්ව මේ වන විට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් ඉන්නවා .

සිදු වූ කඩාකප්පල්කාරී ක්‍රියාවන් තමන්ගේ වාසියට ගෙන ඉතාලියේ අගමැති මෙලෝනියි නව ආරක්ෂක නියෝග කීපයක් පනවන්නට කටයුතු කළ . එම නියෝග වලට අනුව කඩාකප්පල්කාරී ක්‍රියාවන් සහ හානි සිදු කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කර උපරිම වසර පහක සිර සිරදඬුවමකට යටත් කරන්නත් , අලාභ පියවා ගැනීම සඳහා යුරෝ 20 000 පණය දඩයකට යටත් කරන්නත් ඉන් අනුමැතිය ලබාගත් අතර හමුදාවට පොලිස් බලතල ලබාදීමේ අරමුණද ඇයට තිබුණා . එහිදී ජනාධිපති මත්තරෙල්ලා එවැනි උවමනාවක් සහිතව ඉදිරිපත් කරන නියෝගයකට අත්සන් තබන්නේ නැහැයි කියපු නිසා හමුදාවට පොලිස් බලතල ලබාදීමේ යෝජනාව ආපස්සට ගනු ලැබුවා . එළඹෙන දෙසැම්බර් 31 වන දා දක්වා 500 කින් යුත් අමතර හමුදා කාණ්ඩයක් මිලානෝ වෙත යවන්න මෙලෝනියි පියවර ගත්තා . මේ වන විට මිලානෝ නගර මධ්‍යයේ දහසකට වැඩි හමුදාකාණ්ඩයක් ඉන්නවා . නමුත් මොවුන්ට ජනතාව ට බලපෑම් කිරීමට හැකියාව අවමයි. යම් යම් ක්‍රියාමාර්ගවලදී පොලිසියට සහාය දැක්වීම ඔවුන්ට කළ හැකියි . මෙය ජනතාව බියගැන්වීම සඳහා ගත් ක්‍රියාමාර්ගයකි . මහා මාර්ගවල ආරක්ෂාව සඳහා හමුදාව යෙදවීමට අදාළ කරන නීතිය සම්පාදනය කරනු ලැබුවේ 2008 බෙර්ලුස්කෝනිගේ හතරවන ආණ්ඩු කාලයේ දීයි . මෙය තාවකාලික විධිවිධානයක් ලෙස ගෙන ආවද පැමිණි සියලු ආණ්ඩු ඒය දීර්ඝ කරමින් ඉදිරියට අරගෙන යනවා.

මේ සියලු ක්‍රියාමාර්ග හරහා මෙලෝනි උත්සාහ කරනු ලැබුවේ ඉහළ යන ඉන්ධන මිල , දරාගන්න බැරි ජීවන වියදම , අධ්‍යාපනය සඳහා කරන මුදල් කප්පාදුව , ඉහළ දමන යුධ වියදම් ඇතුළු බොහෝ දේවල් වලට එරෙහිව ජනතාව පාරට බහින එක අඩපණ කිරීමට බියවැද්දීමයි . නමුත් ඔවුන්ගේ උවමනාව සාර්ථක නොවුණු බව පැහැදිලි වන්නේ නව නියෝග කීපයක් සම්මත කරගෙන තියන උණුසුමේම ඔක්තෝබර් 24 වැනිදා තරුණ ශිෂ්‍ය බලවේගය ආණ්ඩුවේ තර්ජනය කිරීම් මර්දනය කිරීම් වලට බිය නොවී පාරට බැසීම තුළින් . සියලු පීඩනයන් තුළ න් ඇල්මැරුණු විරෝධතාවයක නියැලී සිටි වෘත්තිය සමිති ව්‍යාපාරයට ද ශිෂ්‍ය සහ තරුණ කණ්ඩායම් විරෝධතා රැල්ල පිබිදීමකට ලක් කළ බවක් පෙනෙන්න තියෙනවා . ඔක්තෝබර් 24 වැනි විරෝධතාවය සඳහා වෘත්තිය සමිති ව්‍යාපාරයේ මැදිහත්වීම පෙන්වා දෙන්න පුළුවන් .

ඉතාලියේ තත්ත්වය හඳුනා ගැනීමට

මෙලෝනිගේ රාජ්‍යයේ කාර්යභාරය තවදුරටත් මහජන සේවාවන් සැපයීම හෝ සමාජ සුබසාධනය තහවුරු කිරීම නොවන බව පැහැදිලි වෙමින් පවතිනවා. මෑත වසරවලදී බැංකු සහ මහා පරිමාණ සමාගම්වල ලාභ ඉහළ ගොස් ඇති අතර රටේ සමස්ත ශුද්ධ ධනයෙන් 60%කට වඩා ප්‍රමාණයක් ධනවත්ම පවුල් 10% සතුව පවතිනවා . දුප්පත්ම පවුල් 50%ට ලැබී ඇත්තේ එම ධනයෙන් 7.2%ක් යි.

ඉතාලිය කාර්මික පරිහානියකට මුහුණ දෙමින් සිටිනවා . 2025 වසරේදී පමණක් ව්‍යාපාර 300,000කට ආසන්න සංඛ්‍යාවක් වසා දමා තියනවා . ඉතිරිව ඇති ව්‍යාපාර ද වඩාත් කුඩා හා අස්ථාවර තත්ත්වයකයි පවතින්නේ. ජනගහනයෙන් 10%කට ආසන්න පිරිසක්, එනම් මිලියන 5.4ක් පමණ ජනතාව දරිද්‍රතාවයේන් ජීවත් වන තත්ත්වයකට පත් වී සිටිනවා. රැකියා සුරක්ෂිතභාවයක් නොමැති සේවකයින් මිලියන 3.2ක් සිටින අතර, මිලියන 2.5ක් පමණ ජනතාව ඉතා අඩු වැටුප් ලබන රැකියාවල නිරත වෙනවා. වසර ගණනාවක් තිස්සේ වැටුප් එකම මට්ටමක හිරවී පවතින අතර, පසුගිය දශක තුන තුළ ඉපැයීම්වල මිලදී ගැනීමේ හැකියාව පහත වැටී ඇති එකම බටහිර රට වන්නේ ඉතාලියයි. 2019 සහ 2025 අතර කාලය තුළ, සාමාන්‍ය වැටුප්වල මිලදී ගැනීමේ හැකියාව අවම වශයෙන් 10%කින් පහත වැටී ඇත, ඉන් අදහස් වන්නේ භාණ්ඩ හා සේවාවල මිල ගණන්, වැටුප් වැඩිවීමට වඩා බෙහෙවින් වැඩි වී ඇති බවයි. නිවසක් කුලියට ගැනීම කළ නොහැකි තත්ත්වයට පත්ව ඇත. එහි සාමාන්‍ය මාසික කුලිය යුරෝ 990ක් වන අතර, රටේ සමස්ත නිවාස සංචිතයෙන් රාජ්‍ය නිවාසවල ප්‍රතිශතය 2%ක් වැනි ඉතා සුළු අගයකට පහත වැටී තියෙනවා. මිලියන ගණනක් වූ කම්කරුවන්ට නිවාස ණය ලබා ගැනීම ද කළ නොහැකි දෙයක් බවට පත්ව තිබේ. 1995න් පසු රැකියා වෙළඳපොළට පිවිසි අයට – එනම් වර්තමාන දායකත්ව පදනම් කරගත් විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ සිටින අයට – විශ්‍රාම දිවිය යනු දරිද්‍රතාවයෙන් පිරුණු අනාගතයක් පමණි. දැනටමත් විශ්‍රාමිකයන් මිලියන 4.5ක් පමණ මසකට ලබන්නේ යුරෝ 1,000කට වඩා අඩු මුදලක්.

(ඉහත දත්ත උපුටා ගනු ලැබුවේ USB – ප්‍රමුඛ වෘත්තිය සමිති එකමුතුව විසින් ඔක්තෝම්බර් 30 වන දා සංවිධානය කර තිබෙන වැඩ වර්ජනයට අදාළව නිකුත් කර තිබු අත් පත්‍රිකාවෙනි )

මෙලෝනිගෙ ජාතිවාදී ජාතිකවාදී හවුල් ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාවන්වලට එරෙහිව දැවැන්ත ජනතා බලයක් ගොඩනැගීම සඳහා සමස්ත වැඩකරන ජනතාවගේ සහයෝගයෙන් යුතු විරෝධතා ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු වෙනවා . ඉදිරි මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් දක්ෂිණාංශික කඳවුර ජාතිකවාදයත් සංක්‍රමණික විරෝධයත් ප්‍රධාන සටන් පාඨ කර ගනිමින් සිටින පසුබිමක ඉතාලියේ වමේ සන්ධානය තම කණ්ඩායමට ශක්තිමත් නායකයෙක් සොයාගැනීමට බැරිව පසු වෙනවා . වෘත්තිය සමිති ව්‍යාපාරය ද බෙදී වෙන් සටන් බිමට පිවිසී සිටිනවා . ඉතාලියේ ප්‍රමුඛ වෘත්තිය සමිති ව්‍යාපාරය වන CGIL- ඉතාලි කම්කරු පොදු සම්මේලනය (වෘත්තීය සමිති ව්‍යාපාරය ව්‍යාපාරය) නොවැම්බර් 20 වනදාට ඔවුන්ගේ මූලිකත්වයෙන් වැඩ වර්ජනයක් කැඳවා තිබෙනවා .

ඉතාලියේ මැතිවරණය සහ මෙලෝනිගේ දේශපාලනය ඉදිරි ලිපියෙන්

හිල්මි සුපුන්

Share post:

Popular

වෙනත් පුවත්

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...

හෝමාගම පොලිසියේදී සිදුවූ ඝාතනයට එරෙහිව උද්ඝෝෂණ තහනම්

හෝමාගම පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී මියගිය බවට සැක...