පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින් සංවිධානාත්මක අපරාධ පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බවට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඇතුළු පාර්ශ්වයන් නගන චෝදනා සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරන බවත් එවැනි අසත්ය කරුණු කිසිවක් නව පනත් කෙටුම්පත තුළ අන්තර්ගත වී නැති බවත් කැබිනට් මාධ්ය ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස පවසනවා.
අද (20) පැවති කැබිනට් මාධ්ය හමුවේදී නව සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් මාධ්යවේදික් නැගූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළා.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් නව පනතේ 4(2) වගන්තිය යටතේ බාහිරින් පෙනෙන පච්ච, කොණ්ඩ මෝස්තර වැනි ඇවතුම් පැවතුම් නිරීක්ෂණය කරමින් පුද්ගලයන් අපරාධකරුවන් ලෙස සැලකීමේ භයානක තත්ත්වයක් පවතින බවටත් වරෙන්තු රහිතව සෝදිසි කිරීම් සහ පාපොච්චාරණ සාක්ෂි ලෙස ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන්ද ගැටලු මතු කර ඇති බවත් මාධ්යවේදියා පෙන්වාදුන්නා.
ඊට පිළිතුරු දෙමින් අමාත්ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, සාලිය පීරිස් හෝ ඔහු සමඟ ක්ෂේත්රයේ කටයුතු කරන ඔහු ඉගැන්වූ පිරිස් ඇතුළුව මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති බවට සිතන බවයි.
එබැවින් පච්චයක් කෙටූ හෝ කොණ්ඩය වැවූ අයෙක් අල්ලමින් මෙම පනතට යටත් කරන්නේද යන කාරණය පනතක කිසිදා අන්තර්ගත නොවන බව ඔහු තේරුම්ගත යුතු බව අමාත්යවරයා අවධාරණය කළා
ඒ අනුව යම් ගැටලුවක් පවතී නම් මාධ්යවල ප්රකාශ කරනු වෙනුවට ඕනෑම කෙනෙකුට ශ්රේෂ්ඨාධිකරණය හමුවේ එය අභියෝගයට ලක් කිරීමට පූර්ණ නිදහස ඇති බවද නලින්ද ජයතිස්ස පෙන්වාදෙනවා.
එමෙන්ම ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ ආණ්ඩුවක් ලෙස මානව හිමිකම් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරමින් සහ පුරවැසියන් රාජ්ය ත්රස්තවාදයෙන් හා සංවිධානාත්මක අපරාධවලින් ආරක්ෂා කරගැනීම සඳහා අවශ්ය කරන නීතිමය රාමුව සකස් කර ඇති බව අමාත්යවරයා කියා සිටියා.
රඳවාගෙන ප්රශ්න කිරීම් සහ පාපොච්චාරණ ලබාගැනීමේදී මතුවන ගැටලු සහ පොලිස් අපයෝජන වැළැක්වීම සඳහා අදාළ සියලු ක්රියාමාර්ග සහ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට යටත්ව දැඩි නීතිමය ව්යුහයක් යටතේ මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති බවත් සාමාන්ය පුරවැසියෙකුට කිසිදු අගතියක් සිදු නොවීමට වගබලා ගනිමින් ත්රස්තවාදය සහ සංවිධානාත්මක අපරාධ වෙනස් කර හඳුනාගෙන ඇති බවත් අමාත්ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම ආන්දෝලනයකට තුඩු දී ඇති කාරණය වන්නේ නව සංවිධානාත්මක අපරාධ වැළක්වීමේ පනත් කෙටුම්පත මඟින්, යම් පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙකුදැයි සලකා බලන විට, ඔහු/ඇය “ඒ කණ්ඩායමේ ප්රකට සාමාජිකයින් භාවිත කරන ඇඳුම් විලාසිතා, හස්ත මුද්රා, භාෂාව හෝ පච්ච සටහන්” භාවිත කරන්නේද යන්න බැලිය හැකි බව මෙම කෙටුම්පතේ 4 (2) වගන්තියෙහි සඳහන් වෙයි.
මෙම විශේෂ වගන්තිය ගැන සඳහන් කරන විකල්ප ප්රතිපත්ති කේන්ද්රය පවසන්නේ ”මෙය බරපතළ ගැටලුවකි. ඇඳුමක්, අතින් දක්වන සංඥාවක්, යම් වචනයක්, පච්චයක් – මේ ඕනෑම දෙයක් ඒ කණ්ඩායම ගැන කිසිවක් නොදන්නා, කිසිම සම්බන්ධයක් නැති ඕනෑම කෙනෙකුට භාවිත කළ හැකියි. මෙවැනි අපරාධ කල්ලි හෝ ඔවුන් භාවිත කරන සංඛේත ගැන පොදු ජනයාට අවබෝධයක් නැත. උදාහරණ ලෙස, විශේෂයෙන් විශේෂයෙන් තරුණ/තරුණියන්, සමාජ මාධ්ය, සංගීතය, චිත්රපට හරහා විලාසිතා, වචන, සංඥා අනුකරණය කරන්නේ බොහෝ විට විනෝදයටත්, නොදැනුවත් මේවා පාවිච්චිකළ හැකිය. ඒ අනුව, විනෝදය සඳහා මේ සංකේත නොදැනුවත්ව භාවිත කරන්නන්, සමාජයේ පහළ ස්ථරවල සිටින ආන්තීකරණයට ලක්වූ කොටස්, වෙනස් මත දරන්නන්ට එරෙහිව මේ ප්රතිපාදන භාවිත විය හැකි බවයි.”




