ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්ය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත, “සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ” පනත් කෙටුම්පත වැනි පනත් එකට ගෙන බැලීමේදී පාලකයන්ගේ පැත්තෙන් පොදු ජනයාට එල්ල කරන ප්රහාරය ගැන තක්සේරුවක් ගතහැකි බව පුබුදු ජයගොඩ පවසයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසන්නේ නිර්ප්රභූ ජනතාව අරගල බිමට එනවිට ප්රභූන්ගේ පමණක් නොව නිව්ප්රභූන්ගෙත් කකුල් වෙවුලන එක තේරුම් ගතහැකි බවයි.
ජනතාවගේ ප්රජාතාන්ත්රික අයිතීන්ට එරෙහි “සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ” පනත් කෙටුම්පත ඔක්තෝබර් 6 දින ගැසට් කළ අතර, අද, ඔක්තෝම්බර් 20 දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී. පුබුදු ජයගොඩ පලකරන ලද අදහස් පහත දැක්වේ.
”සංවිධානාත්මක අපරාධ වැළක්වීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ සභාගත කළා. මේක ජනතාවට එරෙහිව පාලක පන්තිය කරන සංවිධානාත්මක අපරාධයක්. අපි අමතක කරන්න හොඳ නෑ, PSTA නමින් රාජ්ය ත්රස්තවාදය ප්රවර්ධනය කරන පනතකුත් දැනට සභාගත කර තිබෙනවා. පාලකයන්ගේ පැත්තෙන් පොදු ජනයාට එල්ල කරන ප්රහාරය ගැන තක්සේරු කරන්න වෙන්නේ 22 සංශෝධනය, රාජ්ය ත්රස්තවාදී පනත හා මේ පනත යන සියල්ලම එකට ගත්තාම. මේ පනත් කෙටුම්පතේ අරමුණ සංවිධානාත්මක අපරාධ මැඩලීම කියලා නිල වශයෙන් කිව්වාට ඇත්ත අරමුණ සංවිධානාත්මක ජනතා ක්රියාකාරකම් මැඩලීම. මෙහි නිර්වචන ඉතා පුළුල් නිසා අවශ්ය ලෙස “කන්න ඕනෑ වූ විට කබරගොයා තලගොයා කරන” න්යායෙන් මර්දනයට භාවිතා කළ හැකියි.
උදාහරණයකට සංවිධානාත්මක අපරාධ කල්ලියක් නිර්වචනය කරන්නේ සෘජුව හෝ වක්රව මූල්යමය හෝ වෙනත් ද්රව්යමය ප්රතිලාභයක් ලබාගැනීමේ අරමුණෙන්, බරපතල අපරාධ එකක් හෝ කිහිපයක් සිදු කිරීමේ අරමුණෙන්, යම් කාලපරිච්ඡේදයක් තිස්සේ පවතින හා එක්ව ක්රියා කරන පුද්ගලයන් තිදෙනෙකුගෙන් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත ව්යුහගත කණ්ඩායමක් විදියට. මේක ඕන පැත්තකට පෙරළා ගන්න පුළුවන්. ඒක ඔප්පු වෙන්නේ බරපතල අපරාධයක් පැහැදිලි කරන ආකාරයෙන්. බරපතල අපරධයක් කියන්නේ වසර හතරක හෝ ඊට වැඩි ප්රමාණයක සිර දඬුවමක් පනවන ඕනෑම වරදක් කියලා පනතේ තියෙන්නේ. එවැනි වැරදි උපලේඛනයේ සඳහන් කර තිබෙනවා. එම ලයිස්තුවේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, සොරකම, කර්තෘ අයිතිය උල්ලංඝනය කිරීම, බලපත්ර නොමැතිව කරන සූදුව සහ වනජීවී පනතේ ඇතැම් වැරදි පවා තිබෙනවා. එකක් ඔය වගේ චෝදනාවකට අත්අඩංගුවට අරන් රැඳවුම් නියෝග ගහලා සිර කරන එක පළිගැනීම් වලට පාවිච්චි නොවෙයිද? අනිත් එක ඒ බොහොමයක් වෙනත් නීති වලින් ආවරණය වෙනවා.
මේ පනතේ වංචනික උවමනාව පෙනෙන්නේ යම් අපරාධ කල්ලියක සාමාජිකයෙකු හඳුනාගැනීමේ වගන්තියේ. 4(2) වගන්තියේ සඳහන් ආකාරයට “එම අපරාධ කල්ලියේ සාමාජිකයන් භාවිතා කරන ඇඳුම් විලාසිතා, අභිනයන්, භාෂාව හෝ පච්ච භාවිතා කිරීම” නිසා අත්අඩංගුවට ගන්න පුළුවන්. කොණ්ඩය වවන, ටැටූ ගහන තරුණයන් අහේතුකව පොලීසියෙන් ගන්න එක නවත්වන්නේ කොහොමද? අනිත් එක අපරාධ කල්ලි වල භාවිතා කරන ඇඳුම් විලාසිතා මොනවද? හස්ත මුද්රා ඇතුළු අභිනයන් මොනවාද? ඒ අය භාවිතා කරන විශේෂ භාෂා සම්ප්රදාය, වචන මොනවාද? ඒවා භාවිතය නිසා කෙනෙකුව අත්අඩංගුවට ගන්න පුළුවන්ද? ආණ්ඩුව කාටද මෙච්චර බය වෙලා තියෙන්නේ? ඇයි මේ එකකට පසු එකක් ලෙස මර්දන නීති ගෙනත් භීෂණයක් මවන්න හදන්නේ? මේක පනත් වලට සීමා වෙන්නේ නෑ. ඊයේ පොලීසියේ නිල ෆේස්බුක් අඩවියේ දැන්වීමක් දාලා, කතා කරද්දී දෙපාරක් හිතන්න කියලා. ආණ්ඩුව බයවුණු පාර කට වටකර වැට බඳින්න යන්නේ. එතකොට භාෂණයේ නිදහස කියලා ව්යවස්ථාවේ ලියලා තියෙන්නේ මොකටද? ඒක බොරුවක්ද?
මේක විශේෂ මර්දන නීතියක්. 20(1) වගන්තියට අනුව පැය 24ක් නොව සැකකරුවෙකු පැය 72ක් මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් නොකර පොලීසියේ රඳවා ගන්න පුළුවන්. ඉන් අනතුරුව පොලිස් නිලධාරියෙකුගේ ඉල්ලීම පරිදි මහජන ආරක්ෂක අමාත්යංශයේ හෝ පොලීසිය අයත් අමාත්යංශයේ ලේකම්වරයාට වරකට මාස දෙක බැගින් වසරක කාලයක් සැකකරුව පොලීසියේ හෝ බන්ධනාගාර නොවන වෙනත් ස්ථානයක රඳවා ගැනීමේ රැඳවුම් නියෝග නිකුත් කළ හැකි බව 21 වගන්තියේ දැක්වෙනවා.
23 වන වගන්තියට අනුව මෙම පනත යටතේ අත්අඩංගුවට ගත් අයෙකුට ඇප දීමේ බලයක් මහේස්ත්රාත්වරයාට නැහැ. 25 වන වගන්තියට අනුව අධිකරණය විසින් රිමාන්ඩ් කරන ලද සැකකරුවෙකු පවා පොලිස් ස්ථානයක හුදෙකලාව රඳවාගෙන මාස හයක් තබාගන්න පුළුවන්. PSTA ගේද්දී කියන්නේ ඒක කරන්නේ PTA අහෝසි කරන්න කියලා. නමුත් කලින් PTA එකේ තිබී ඉවත් කරන ලද, සැකකරුවෙකු පොලීසියේදී කරනු ලබන පාපොච්චාරණයක් නඩුවකදී ඔහුට එරෙහි සාක්ෂියක් ලෙස භාවිතා කිරීම හොරෙන්ම මේ පනතේ 47 වගන්තියෙන් යළි බලාත්මක කරලා.
මේ මර්දන පනත් ගේන්නේ ආණ්ඩුව ජනතාවට බයවෙලා නිසා. ඉන්දියාවේ, ප්රංශයේ, බෙල්ජියමේ, ඉතාලියේ වෙන දේවල් දැක්කාම පාලක පන්තියේ බඩ බුරුල් වෙලා. නිර්ප්රභූ ජනතාව අරගල බිමට එනවා දැක්කම ප්රභූන්ගේ විතරක් නෙවෙයි නිව්ප්රභූන්ගෙත් කකුල් වෙවුලන එක තේරුම් ගන්න පුළුවන්. මේ මර්දන උත්සාහයන් ඔක්කොම මහපාරේ පරදවමු.”




