කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව් රත්මලාන කෑලි තුනකට බෙදා වෙන්කරන බෙදුම්වාදියා ඔහු ය. නමින් වෙඩිවර්ධන මංජුල ය.
රත්මලානට සලකුණු කළ බෙදුම් රේඛා තුන මෙපරිදි ය.
*දුෂ්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා.
*කුකුළෙකු අතින් ගත් කිකිළී සහ රත්මලානේ වෙනත් කතා.
*සයිමන්ගේ මරණයට රතු පාට බවුසරයේ ඇති සම්බන්ධය සහ රත්මලානේ අනිත් කතා.
- දෙහිවල ගල්කිස්ස සමුද්‍ර ඝෝෂාවෙන් උපන් සමුද්‍ර ඝෝෂ විරිත, කළුබෝවිලෙන් – රත්මල්විලට
ඒඅනුසාරෙන් මේවා පුරාණ රත්මල් ආන, රත්මල්විල මූලාශ්රිත තුන් ඈඳුතු කෙටිකතා ය. සාහිත්‍ය තිරත්න මාලාව වෙඩිවර්ධනයානු ලිවිසැරියකි. පැය අටේ වැඩ මුරයට සීමා නොවූ ලේඛක ලේබරයාගේ අසාධ්‍ය අඛණ්ඩ ශ්‍රමය එබඳු ය. ඉදින් කිසිදු චකිතයකින් තොරව නූතන රත්මලාන ජනකතා සංග්‍රහය යැයි මෙය නම් කිරීමට තෙවරක් නොසිතිය යුතු ය.
රත්මලාන වනාහී මෙහෙව් නිර්වචන රොත්තකි.
කර්මාන්ත පුරයකි, වාමාංශික වෘත්තීය සමිතිකාරයින්, කම්කරුවන් රැස්වූ පිටියකි, පතුල් සම්බාහනය කළ බාටා ෆැක්ටරියකි. ජාතීන් වශයෙන් කම්කරුවන් බෙදුණා සේ ම ආගම් වශයෙන් ද කම්කරුවන් බෙදුණු ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයකි, බස් ඩිපෝවකි, 1936 දී සුද්දන් හැදූ අක්කර 68ක රේල්ලුවේ යාන්ත්‍රික ඉංජිනේරු වැඩබිමකි, බමුණසිංහආරච්චිගේ දොන් රම්පාල් මහතා ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු වූ රේල්ලුවේ වැඩ බිමකි, තරුණ වැඩිහිටි වයස් භේදයකින් තොරව හෑන්ඩ් මේඩ් රොකට් ගුවන්ගත කළ රේල්ලුවේ ග්‍රවුන්ඩ් එකකි, දඬුමොනර වෙනුවට එරෝප්ලෙන් අහසට නග්ගන ගුවන් තොටුපොළකි, සිතුවම් හිමිනමක්(මාපලගම විපුලසාර අපවත් හිමිනම) පිරිවෙන්පති දැරූ ධර්මයේ පරමත්වය සෙවූ පිරිවෙණ කි, ශබ්ද දූෂණ නොකළ බෙලෙක්කඩේ හංදියකි, ගොළුමඩම හංදියේ අඳ, ගොළු, බිහිරි පාසලකි, තිරය වැසී ගිය විජිත සහ පද්මා සිනමා හෝල් යුවලකි, නාස් පුඩු සරාගික සුවඳකින් මන්මත් කරවන මැලිබන් බිස්කට් කිරි පුසුඹකි. මල්ලිකා හෝටලයකි සහ බේකරියකි. පරණ ගාලු පාරේ රත්මලාන නම් නාගරික ග්‍රාමයකි හෙවත් ග්‍රාම නගරයකි.
තව මෙකී නොකී නහුතයක් කරුණු කාරණා ය. ඉදින් මේ ගැන සිතිවිලි හමන්නා වචන සන්ධි කරන, වචන විසන්ධි කරන වෑද්දුම් ශිල්පයේ මිකැනිසම්වරයා වෙඩ්ඩා ය. මෙයාකාරයෙන් මේ ලියන්නාට රත්මලාන යනු ටූල්ස් සහ මෙටීරියල්ස් පිරුණු වර්ක් ෂොප් එකකි.
දුෂ්ටකමේ සවුන්දර්ය, දෙවෙනි මුද්‍රණයක් ලෙසින් 2017 පළ කරද් දී එහි හමාර කීම ශීර්ෂය යටතේ ඇති පසු සටහනේ වෙඩිවර්ධන මෙසේ කියන්නේ ය.
“…ඒ අතීත වලාකුළු නැවත නැවතත් අහසෙහි හමුවීම තවත් එක් දන්න හඳුනන පරිච්ඡේදයකි. රත්මලාන නම් එහෙම ය. සංසාරය බඳු ය. අවසානයක් නැත. මා රත්මලාන ගැන බොහෝ දෑ දැනටමත් ලියා ඇත…”
ලියනගේ අමරකීර්තිගෙ ‘කෙටිකතා කලාව න්‍යායික සහ තුලනාත්මක අධ්‍යනයක්’ කෘතියෙන් මේ බව සනාථ කිරීමට 230 පිටුවේ පාදක සටහනක් ගෙන හැර පාමි.
“ජේම්ස් ජොයිස් කියන රචකයා අයර්ලන්තයේ ඩබ්ලින් නගරය පසුබිම් කරගෙන කෙටිකතා සංග්‍රයක් පළ කළා සේම වෙඩිවර්ධන ද රත්මලාන පසුබිමෙහි මේ කෘතියේ එන සියලු කතා පිහිටුවනවා.”
කළුබෝවිල කජු වත්තෙන් ආරම්භ කළ රේසර් රෝද යොදා බයිසිකල් රිම් එකෙන් මැනුවෙල් කරකැවූ වෙසක් පහන් කූඩුවේ වෙසෙස් බව නම් අපූරු මනරම් කැටයම් කලාවයි.
පසු කාලයේ දී ජිප්සීස් වූ වෙසක් පහන් කූඩුව යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාකරන රත්මලානේ යෝධ වෙසක් පහන් කූඩුව ලෙසින් බ්‍රෑන්ඩ් නේම් එකක් බවට පත්වෙයි. අතීතයේ බුද්ධාලම්බන ප්‍රීතිය ගෙනා කළුබෝවිල වෙසක් පහන් කූඩුව, වර්තමානයේ විකිණීමේ සහ පරිභෝජනයේ බුද්ධාකලම්බන ශෝකය බවට සංවේගප්රාප්ත වෙයි. රත්මලාන පහන් කූඩුව පරිණාමය වීමේ සංසිද්ධිය එබඳු යි.
දෙහිවල ගල්කිස්ස නගර සභාවෙ මුල් අකුරු හතර ගලවා එකට හමන්නා සිනොප්සිගත කළා ම දෙගනස ලෙසින් නාමකරණය වෙයි. එහෙව් දෙගනසට අයිති කළුබෝවිල මංජුල වෙඩිවර්ධනගෙ ගවලෙන, අමුතු තරුවක් දිලුණ.
මේ රචනාවේ රචක ඔටුනුපේනගම ලියන්නාගේ සල් උයනත් කළුබෝවිල ය. ඉදින් මේවා සොඳුරු අහම්බ නොවේ ද?
මේවා ගෙඩිය පිටින් ගත්විට එතරම් තැකීමක් නොකළ යුතු දෑ ලෙස දකින්නත් ඕනෑ ම කෙනෙකුට ඕනෑ ම විදිහේ ශුද්ධ වූ අයිතියක් තිබේ. එහෙත් ගෙඩියේ පොත්ත හැරගෙන මදයට යන්න කියා මම යෝජනා කරන්නෙමි. ඒයානුසාරයෙන් මේවා නිකම්ම නිකම් අහම්බ නොවෙනු ඇත.
මෙතෙක් කතාවෙන් පසුව ඉදිරි පරිච්ඡේදවල දී මම වෙඩිවර්ධනගෙ පොතේ සම්බන්ධයත් එක්ක ඒව එකලස් කරන්න යම්තාක් දුරකට වීරිය වඩන්නෙමි. සංයමය, මනා පුහුණුව කියවීමට ආදේශ කරගන්න ප්‍රැක්ටිස් කරන්නෙමි. වෙඩිවර්ධනයානු කෙටිකතාව යනු ගෙවා දැමිය යුතු එහෙව් සංසාරයකි.
ඉදින් වෙසක් පහන් කූඩුව සිරස් අතටත් තිරස් අතටත් කරකැවෙයි. විවිධ හැඩතලවලට කරකැවෙයි. විදුලි බුබුළු නිවෙයි දැල්වෙයි. ජාතක කතාවල චරිත සංසාරෙ පුරා ම යන්ත්‍රානුසාරයෙන් ඇවිදියි, දුවයි, පනියි, සිනාසෙයි, හඬයි. ස්ටීරියෝ ටයිප් හඬවල්වලට චරිත තොල් සොලවයි. කටවල් අරියි වහයි. පහන් කූඩුවේ දේහය ඉන්තේරුවෙන් ම මනරම් කැටයමක් ව බැබළෙයි.
සාන්ත දාන්ත නැති වෙඩ්ඩා ආදි පීතරයෙකි. ඒකෙ හිටපු රග්බි ක්‍රීඩකයෙකි. එක කණ්ඩායමකට පහළොස් දෙනා බැගින් ක්‍රීඩා කරන රග්බි ක්‍රීඩාවෙදි බෝලයේ හිමිකාරිත්වය ලබාගන්නා කණ්ඩායමට එකී මෙහොත වාසි සහගත ය. ක්‍රීඩාත්මක මොහොතේ දී බෝලයේ හිමිකාරිත්වය නැති ක්‍රීඩකයන් බලන්නේ බෝලය අතින් අත පාස් කරගෙන ඉදිරියට දුව එන ක්‍රීඩකයන්ට දණහිසෙන් පහළට ටැකල් කිරීමට ය.(එසේ නැතිව බෙල්ලෙන් ඇද නෙක් ටැකල් දීම ෆවුල් කෙළියකි. ඒවා දැක දැකත් ටීම්මෙකානුව නොදැක්කා සේ සිටින මැච් රෙෆ්රිලා පැවිලියන් වහලවල් තරමට ම උස ය.) රගර් තරඟයක ඩිෆෙන්ස් සහ ඇටෑක් හැදෙන්නේ එලෙසිනි. බෝලයේ හිමිකාරිත්වය අතැතිව අනෙක් කණ්ඩායමේ ගෝල කනු සීමාව පහුකර උත්සාහක දිනුම් ලබාගන්න දුවද් දී අනෙක් කණ්ඩායමේ පහළොව අතරේ ගැප් ක්‍රියේට් කරගනී. එලෙස ජවයකින් දුවමින් සිරුරු භාෂාවේ හැඩතලවලට සහ රිද්මයට ක්‍රීඩක හිඩැස් අතරින් රිංගීමට, රගර් නරඹන්නන්ගේ කටවහරේ වචන දෙක ‘කැටයම් දැමීම’ යනුවෙනි.
රග්බි ක්‍රීඩාකරන සමයේ රග්බිවල දී ත් කැටයම් දැමූ වෙඩ්ඩා ලේඛනයේ දී ත් භාෂාව මට්ටු කරමින් වචනවලින් කැටයම් දමයි. ඔහු අත වචන මැටි පිඬවල් ය. වරෙක සන්ධි කරමින් අඹයි, වරෙක විසන්ධි කරමින් අඹයි.
ඉදින් මංජුල වෙඩිවර්ධනගෙ කවිය, කෙටිකතාව සහ නවකතාවත් එබඳුයි. ඔහුගෙ වචන ණයට අරගෙන කියනවනම් ඔහු, ‘වචනවලින් කැටයම් දමයි. ඔහුගේ හිස මත අතීත මොහොතවල් පිරීතිරිලා තියෙන ආකවිස් ඔලොගුවක, මතක පැස බරපතල ය. අසාධ්‍ය ය. මේවා සිද්ධි වශයෙන් ආපහු අරගෙන රියල් එකෙයි, පික්ෂන් එකෙයි තියෙන කෙස් ගසේ හිඩැසෙන් රිංගන්න වෙඩිවර්ධන දනී. රිංගලත් තිබෙන්නේ ය, හරියට රග්බිවලදි ගැප් එක පාවිච්චි කරලා ප්ලේ කළා වැනි ය.
මේ කෘතියේ සංගෘහිත කෙටිකතා හයෙන්, තුනක බලයක් ගැන පමණක් මේ රචනාවෙන් කියවමි. මේ කෙටිකතා හයේ ම කාව්යයක්කාරයෙක් ගැදියෙන් පැදි හයක් ගායනා කරයි. රතු පාට බවුසරයේ දොර මංජුල වෙඩිවර්ධන අරින්නේ ජෝසෙෆ් කොන්ඩ්රඩ්ගේ හෘදය සාක්ෂියක අඳෝනාව නැමැති යතුරෙනි.
- නාරි ලාලිත්යයක නුරාව සාරියකින් නාභිගත කිරීම
සයිමන්ගේ මරණයට රතු පාට බවුසරයේ ඇති සම්බන්ධය කෙටිකතා කෘතියේ, පස්වැන්න නාමකරකරණය කරලා තියෙන්නේ නාරි සූත්‍රයක් සහ සාරි සූත්‍රයක්’ යනුවෙනි.
එය දේශපාලන සංසිද්ධියක් සෞන්දර්ය කරපු කෙටිකතාවකි.
එලෙසම නෙතේ සහ සිතේ සෞන්දර්යාත්මක එබී බැලීම කියාපාන මේ කතාවෙන් කවියක් සහ කවියෙක් ජනිත කරවයි. එය තොරණක විචිත්‍රත්වයෙන් බැබළෙයි.
මට අනුව, ගද්‍ය කාව්‍ය ආකෘතියෙන් ලියූ පද්‍ය කාව්‍යයක් ලෙසට හඳුන්වන්න පුළුවන්. රත්තිනි ටීචර්ගේ නාභියට නාභිගත වී එහි කිමිදෙන කවිවර්ධන නේත්‍රා උලෙළකි ය අධිමාත්‍රා.
මේ බලන්න ඒ අමූලික ඇත්තට දෙයියොත් සාක්කිය.
“ඉදින් අපි රත්තිනි ටීචර්ගේ සුසුදු නෙරිය රැලිති දිහා බලන් උන්නෙ, විෂ්ණු මහාමේරු පර්වතය දමා, ක්ෂීර සාගරය කලම්බන කල්හි කල්ප ලතාව, භද්‍ර ඝටය, චින්තා මාණික්‍යය හෝ සුරබිදෙන සයුර පළාගෙන මතුවෙන්නා සේ රත්තිනි ටීචර්ගේ නාභිය මතු වන තුරු.”
(පිටුව 113)
“පැහැ සරණිය සළු ඇමිණිය ඇසින් පිට
හද මිමිනිය හිතු සැලුණිය විටින් විට
වන රමණිය මඟ හැරුණිය ඇතුන් හට
ගුරු තරුණිය මන රමණිය ඉතින් මට”
කියවන්නන් වන අප කවිවර්ධනගෙන් අහන්න ඕනෙ ප්‍රශ්නයක් කවිවර්ධන රත්තිනි ටීචර් ලවා “කොහොමද මෙහෙම ලියන්නෙ” කියලා අස්සවලා හිත හදා ගනී. ශිෂ්‍ය අවධියේ දී මෙහෙව් ශිෂ්‍යයෙකු නොවීම පිළිබඳව පැහැදිලි ඉරිසියාවක් සහ ඉසියුම් පශ්චාත්තාපයකින් යුතුව ලියා තබමි.
එලෙස ම “කොහොමද මෙහෙම ලියන්නෙ” කියන ප්‍රශ්නාර්ථය තුළ ම ධ්වනියක් තිබේ. එක රෙස්පෙක්ට් නොකිරීම ය. දෙක සප්‍රයිස් වීමකි.
රත්තිනි ටීච නම් සිංහල උගන්වන්නී,
“කෙළින් බලන කෙනෙක් දිහා කෙළින් බලන්න. මොකද බැල්මක් කියන්නෙ කවියක්.”
(පිටුව 120)
කවිය පිළිබඳ මීටත් වඩා අධ්යහාරයක්, ව්‍යුත්පත්තියක් තිබිය හැකි ද?
තව ද කවියෝ හෝ කිවිඳියෝ කවුරු ද යන්න වර නැගීමට මීට වඩා නිර්වචනයක් තවත් වෙත්ද?
“කවියො කියන්නෙ මද්දහනේ කණාමැදිරි.” රත්තිනි ටීච ලවා කවිවර්ධන පාඨක අපට උගන්වන පාඩමයි.
(පිටුව 121)
චතෘෘගේ ඇඹේණිය වූ මිරැන්ඩා ලවා නාභිය තුළ නාභිගත කරන තියුණු දේශපාලන උත්ප්රාසය බලන්න.
“…විජේවීරට ඕනි විදිහට ස්ත්‍රී නාභිය ඇතුළෙ විප්ලව කරන්න දෙන්න බෑ. ප්‍රේමදාසට ඕනි විදිහට නාභිය ඇතුළෙ උදාගම් හදන්න කිසිම කාන්තාවක් ඉඩ දෙන්නෙ නෑ.”
කවිවර්ධනට කවිවර්ධනව බරපතල ලෙස බලපාන්නේ චතෲ ලෙසට ය.
(පිටුව 123)
රත්තිනි ටීචගෙ වල්ලභ තෙමේව කවිවර්ධන වනන්නේ මෙලෙසිනි. බඩ තඩි විසුළු ලාෆින් බුද්ධාව ‘සිනහ බුද්ධ’ රූපය ලෙස සිංහලෙන් වර නගයි. එහි ඇති උත්ප්රාසය බලන්න. නාරි ලාලිත්‍යයෙන් ආඩ්‍ය රත්තිනි ටීචර්ගේ වල්ලභයා අනෙකාගේ ආකර්ෂණය දිනා ගැනීමට අසමත් අප්‍රිය අමනාප බව ගැන වචන වළින් අඳින චිත්‍රය.
ඉදින් දැන් මම, මා ඇතුළු පාඨකයන්ට පැවරුමක් දෙමි. එනම් පහතින් දක්වන වාක්‍ය එකලස් කරගන්නා ලෙස ය.
“…රන් තැඹිලි පාට ගවුමක සඟවා තිබූ ඇගෙ අසිරිය මුළුමනින් ම දැකපු ඒ දවසෙ.”
(පිටුව 126)
“…රත්න ශ්‍රී ගේ බිය නොවන් අයියණ්ඩි’ කවරයෙන් දෑස මෑත් කරපු මම, පොත් කුටියේ දොරටුව දෙස බලනු දුටු රත්තිනි ටීචර්, “මහත්තයද” යි යන ප්රශ්නය ද අසා, “එයා ගියා” යැයි කීවේ, දෙන්නෙකුට බෙදාහදා ගන්නට පුළුවන් තනි උත්තරයක් වගේ.”
වෙඩිවර්ධන, චත්‍රගේ යටි සිතේ ක්‍රියාත්මක සිතිවිලි දහරාව සංකේතවත් කරනාකාරය බලන්න. ඉහත උද්ධෘතයේ ‘බිය නොවන් අයියණ්ඩි’ කාව්‍ය නාමකරණයේ ඇති ධ්වනිය කොතරම් ප්‍රබල ද?
මේ පහත උද්ධෘතවල ප්‍රේමයේ අධ්යහාරය ගෙනෙන හැටි,
“ඒ කවිය නරකයි ද?” මම ඇසුවා. “මං කිව්වෙ පැහැසරණිය.”
“නරක නෑ දරුණුයි. ඒ දරුණුකමට මං කැමැතියි.”
(පිටුව 127)
“කවියකුගේ ජීවන ඉතිහාසය හා සබැඳුණු මේ නින්දිත කතාව එහෙම එතැනින් නතර වෙන්න ඉඩ දීලා, පෑන දෙකට කඩලා, මට අත පිහිදගන්න බැරිකමක් නෑ. කොහොමත් බණින කෙනා බණිනවා. විඳින කෙනා විඳිනවා…”
“…උසස් පෙළට කලින් අන්තිම සෙමිනා එක තිබ්බ දවසෙ රත්තිනි ටීචර් නිස්කාරණේ වමනෙ කෙරුවා…”
“…සීයට සීයක් පුතිඵල ගත්තු ඉස්සරෝම අවුරුද්ද. විදුහල්පති සේරසිංහ සර් හිටියෙ උස ම ගොඩනැගිල්ලෙ වහලෙ. රත්තිනි ටීචර් අපිට සුබ පැතුවෙ අමාරුවෙන්, ඉණට අතක් ගහගෙන, විටින් විට කුස අතගාගෙන. රන් එරන්වන් නාභිය තිබුණෙ එළියට නෙරලා, කණපිට ගැහිලා…”
(පිටුව 128)
රත්තිනි ටීචර් මාරුවක් හදන් ගමට ගියා කියලා කිව්වෙ සේරසිංහ සර්, රැස්වීමෙදි…”
රුදු රිදුම සුසුමකට හරවමි
කඳුළු මල් බඳුනකට පුරවමි
කවි කිනිති ලමි බඳුන සරසමි
සමුනොගෙන සමුගන්න ගුරුතුමී
(පිටුව 129)
එකලස් කිරීමට අමුද්‍රව්‍ය එපමණකි.
- පිටතින් කුණු ඇති ඇතුළතින් කුණු නැති කුණු මහින්ද
කුණු මහින්ද කතාව ගත්තොත්, කුණු කාගෙන කුණු ඇතුළෙ ජීවත්වෙන කුණු මහින්දගෙ ඇතුළෙ කුණු නැත. හැබැයි පාරිශුද්ධ බව පිටට පෙන්නගෙන ඉන්න මිනිස්සුන්ගෙ ආත්මය ම මීතොටමුල්ලටත් වඩා උස කුණු කන්දරාවකි.
නුවරඑළියට හිම වැටෙනවානම් එහි ඇති කිසිදු අපූර්වත්වයක් නැත. ඒත් මේ හිම පතනය රත්මලානට ය. මේ හිම තට්ටුව කියන්නෙ ඊනියා පාරිශුද්ධභාවය වසාගෙන සිටින බොරු ඝනීභවනයට ය. හිම කියන බොරුව දියවෙලා ගිහින් කාණු පෑදිලා කුණු මහින්ද නිරාවරණය වෙයි. එනයින් මහින්දලා දෙන්නෙක් මතුවෙයි. ඒ මතුපිටින් ඉන්න කුණු මහින්ද සහ ලේඛකයා පරිකල්පනය කරන කුණු මහින්ද. එකම චරිතයකින් මහින්දලා දෙන්නෙක් එළියට එයි, එළියට ගනියි. මේ කතාවෙ ප්‍රධාන රූපකය වන්නේත් කුණු මහින්ද යි.
වෙඩිවර්ධන කුණු මහින්ද කතාව ඇතුළෙදි හිස් නියුඩ් ස්ලෝගන් උස්සගෙන කෑ ගහන්නෙ නැත. විරෝධාකල්ප වුණත් ලොජික් එකක් ඇතුළෙ තමයි ප්ලේ කරවන්නෙ. තවමත් හොල්මන් කරන වැඩවසම්බවට එල්ල කරන නිර්දය උපහාසාත්මක විරෝධය ඔහු ගේන හැටි හරි අපූරුයි.
ශෝකාලාපය පවා උපහාසාලාපයකට රූපාන්තරණය කරනවා. කුණු මහින්දගෙ හඬින් වෙඩිවර්ධන ඩබින් කරන ක්‍රියේටිව් විරෝධය පහත සඳහන් පරිදි ය. තරුණයා කුණු මහින්දගෙන් අසයි,
“ඇයි ලොක්කා, ලොක්කම මේකට මාලිගාව කියන්නෙ?
කුණු මහින්ද පෙරළා උත්තර දෙනවා.
“මේ තරුණයට තේරෙන්න ඕනි ඒක? ඉටිකොළවලින් වහපු ලදරං මඩුවකට වලව්ව කිව්වම, ඇත්තට ම වලව්වල ඉපදුණා කියලා වැළලෙන්න හදන අයගෙ උත්තරීතර ගර්වයට මොකද වෙන්නෙ? ඒ ගර්වය පෙඟෙන්න ගන්නවා. ඊට පස්සෙ රිදෙන්න ගන්නවා. එතකොට වලව්කාරයො නැහෙන්න ගන්නවා.”
“මං වලව්කාරයෙක් නෙමෙයි විකාරකාරයෙක් කියලත් ඕනි ම කෙනෙක් හිතනවා. මගේ වලව්වත්, වලව්කාරකමත් ප්‍රබන්ධයක්. ඒකෙ දෙකක් නෑ.
නමුත් තමන් සතු වලව්වත්, වලව්කාරකමත් ප්‍රබන්ධයක් වෙන්නෙ මගේ විතර ද? අන්න ඒ ප්‍රවාදය මගේ භාවිතය හරහා සමාජය තුළ වැඩ කරන්න ගන්නවා. විශේෂයෙන් ම බොරු වලව්කාරයන්ගෙ ආත්මයේ පැල්මක් ඇතිවෙනවා.”
(සයිමන්ගෙ මරණයට රතු පාට බවුසරයේ ඇති සම්බන්ධය පිටු 24, 25)
මකියාවෙල්ලිගේ ප්රින්ස්ටවත් නො වැටහුණු බලය පිළිබඳ සංකල්පයක් කුණු මහින්ද ඇතුළෙන් වෙඩිවර්ධන ඉස්මතු කරයි. බලන්න මේකෙ තියෙන දේශපාලන උත්ප්රාසය,
මේ තමයි කුණු මහින්ද කියන ඔහු,
“ඔහු සිස්ටම් එක ගැන කතා කළේ වෙන ම තියරියකි. ඔහුට අනුව ප්රජාතන්ත්රවාදය යනු විකාරයකි. ප්රශ්නය තිබුණේ බලය ගන්න ආකාරය තුළ නොව බලය තුළ ය. බලය අපව රැගෙන යනුයේ ජයග්‍රහණයට නොව විනාශයට බව කුණු මහින්ද නිතර නිතර පුනරුච්චාරණ ය කරයි.”
(පිටුව 31)
“ඔහුගේ නාමකාය වරනඟන්නේ එවන් අරුතක් විය හැකි ය. එසේ වුව ද, ඔහු එවැන්නෙකු නොවන බව අවධාරණය කළ යුතු වන්නේ ය. එබැවින් එම නාමකරණය වනාහි වරදවා වටහා ගැන්මක සාමූහික යෙදුමක් බව කිසිදු පැකිළීමකින් තොර ව කිව්ව හැකි ය.”
(පිටුුව 8)
වහෙන් හොරෝ ඉඟි කිරීම්, සංඥාර්ථ ඇතුළත් ජනප්‍රිය සුලභ නාමකායක් සංකල්ප රූප ඇතුළෙ පැරඩොක්ස් එකකට ගෙන එයි.
එමගින් කුණු මහින්ද කියන චරිතයේ වෙනත් මානයක අපූරු රූපකාර්ථවත් බවකුත් මතු කරයි.
මේ කතාවේ කුණු මහින්ද යනු NGO ප්‍රොජෙක්ට් එකක පරිසරවේදියෙකුත් නෙවෙයි.
කුණු මහින්ද පොත් කියවන්නෙක්. කුණු මහින්දගේ පරිකල්පනය කතුවරයා අපට දනවන්නේ අපව එහි සහානුභූතියට අරගෙන නෙවෙයි. බර්ටොල් බ්‍රෙෂ්ට් වගේ දුරස්ථකරනයෙන්.
“සොර්මෝවෝ නගරය යැයි සිතා ගාලු පාරේ එහෙට මෙහෙට ඇවිදන් ගිය පුල්ලෝවර ඇඟ නොලෑ දිග සීත ඝෘතුවකි. තම්බි කඩේ ළග ලැස්ලින් මාමගෙ කම්මල පිළිකන්නේ වානේ පන්නරය ලබන තුරු පොප්ලර් කොළ ලෙස ගත් පේර කොළ රහසින් පොඩි කර කර සිටි කාලයකි. කුණු මහින්දට අභිමුඛ වූයේ ඔන්න ඔය අතර ය. කුණු මහින්ද මුලින් ම සිදු කළේ, මා සන්තකයේ තිබූ ඒ සියලු පොත් එකට එකතු කර, අට්ටි ගසා, ඊට උඩින් කරමසෝ සහෝදරයෝ තැබීම ය. දැදිගම වී අහුලන් කකා සිටි අපට සිරිල් සී පෙන්නුවේ කුණු මහින්දයා ය.”
(පිටුව 21)
- රතු පාට බවුසරයට යටවූ සයිමන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය
K. K. සමන් කුමාරගේ ‘සිංහල ජාතියේ වංශකතාව සංසාරණ්‍යය සහ සයිමන් නවගත්තේගම’ කෘතියේ සංක්ෂිප්ත පෙරවදනේ ශීර්ෂය වන්නේ, ‘කඩුලු තහංචිය.’ එකී පෙරවදනේ සර්පයා මෙසේ කියයි, “සයිමන්ගේ කෘති උරගා බැලුනේ අපගේ ජීවිත නැමැති අරගලේ ය.”
(පිටුව 7)
වෙඩිවර්ධන, සයිමන්ව රත්මලානේ ලුම්පන් සහ බොහිමියන් තරුණ ජීවිතවල උරිච්චි කර ජීවිත පරිඥානය සඳහා ඔප මට්ටම් කරයි.
සයිමන් අරභයා K. K. සමන් කුමාරගේ ශාස්ත්‍රීය විමංසනයකුත්, මංජුල වෙඩිවර්ධන සයිමන් අරභයා ප්‍රබන්ධයක් තුළින් ප්රතිරචනයකුත් සාහිත්‍ය ලෝකයට සම්ප්රදානය කරයි. මා ඒ කෘති දෙක දෙපස තබා සයිමන් එකලස් කරන්න කට්ටක් කන විලසට වීරිය වඩමි.
‘සිංහල ජාතියේ වංශකතාව සංසාරණ්‍යය සහ සයිමන් නවගත්තේගම’ කෘතියේ ම K. K. මෙසේ කියයි,
“දශකයකට පමණ පසු සයිමන්ගේ මළ මිනිය ගොඩගත් බුද්ධිමතුන් හා විචාරකයින් අහිනක් සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා ගැන චරිත සහතික ලියන්නටත්, පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන්නටත් වූහ. අසූව අග භාගයේ, අනූව මුල් භාගයේ කෙරුණු කතිකාවෙන් සයිමන් සම්පූර්ණයෙන් ම බැහැර විය. ටෙනිසන් තමා විසින් ම මිනී වළින් නැගිට යළි සාහිත්‍ය ක්ෂේත්රයට එක්වන්නේ මෙම කතිකාව අතරමැද ය. නා නා ප්‍රකාර විචාර සංකල්ප කන ළඟින් කී කීං ගාගෙන එහෙටත් මෙහෙටත් ඇදී යන මොහොතක ය. ඉන් අන්ද මන්ද වූවත් ටෙනිසන් ඒ මැද අත පත ගාමින් උන්නේ ය.”
(පිටු 15, 16)
වෙඩිවර්ධන පරිකල්පනය කරපු සයිමන්ගෙ කතාවෙ ඉන්න බජාර් තරුණයෝ, නිල බුද්ධිමතුන්, නිල විචාරකයින් එහෙම නෙවෙයි ඒත් තම තම නැණ පමනින් සයිමන් නැමැති මහා ආඛ්‍යානය කපා කොටා බලයි. චරිත ලවා එසේ කරවන ව්යච්ඡේදකයා වන්නේ කතුවරයා යි.
‘සිංහල ජාතියේ වංශකතාව සංසාරණ්‍යය සහ සයිමන් නවගත්තේගම’ කෘතියේ සර්පයා ගත්ත සයිමන්ගෙ ෆොටෝවක් තිබෙයි. කංචුකයේත්, 10වෙනි පිටුවේත්, කවරෙ පිටුපස පැත්තේත් ඒ කළු සුදු සහ පඬු පැහැ ගැන්වූ ෆොටෝව තිබෙයි.
සයිමන් සිගරැට්ටුවෙන් දුම් වළලු අරින ගමන් සිගරැට්ටුවේ ෆිල්ටරේ නළලට තියාගෙන කල්පනා ලෝකෙක තනිවෙලා ඉන්නෙ, “අහෝ! මං ප්‍රේමදාස ප්‍රොජෙක්ට් එකට පාවිච්චි වුණා” වැනි පශ්චාත්තාපයකිනි.
සයිමන්ගෙ කතාවෙ, රත්මලානේ ඇස්කා ගිල්ටි ෆීලින් එකකින් කරන පාපොච්චාරනය මෙබඳු ය.
“අපි එද්දි සර් හිටිය උඩ. හැබැයි ටික වෙලාවකින් සර් එළියට බැස්සා. මුරකාරයා එක්ක ටිකක් කතා කර කර හිටියා. එළියට බැහැලා පාරවල් දිගේ ඇවිද්ද. මං හිතන්නෙ සිගරැට් හොයන්න වෙන්න පුළුවන්. සිගරැට් තියා බීඩියක්වත් හොයාගන්න තිබුණේ නෑ. සර් ආවෙ හිස් අතින්.”
(‘සයිමන්ගෙ මරණයට රතු පාට බවුසරයේ ඇති සම්බන්ධය’, පිටුව 85)
සයිමන් ගැන වෙඩිවර්ධනගෙ කෙටිකතාවෙ ඉහත උපුටනයයි, K. K. සමන් කුමාර සයිමන් සිගරැට්ටුව බොද්දි අරගත්ත ෆොටෝවෙ ආට් එකයි මම එසෙම්බල් කරන්නෙමි. ඉතිරි ටික හෝම්වර්ක් කරන්න පාඨකයන්ට භාර කරන්නෙමි.
රියල් සයිමන් තුන් වේලට, අතුරුපසට සහ තව තවත් දේවලට ෆුල්ටයිම් සිගරැට් කාපු මනුස්ස ප්‍රාණියෙකි. ඒ ගැන වෙඩිවර්ධන වචනවලින් ඇඳපු චිත්‍රය යි, K. K. සමන් කුමාර කැමරාවෙන් ලියපු කවිය යි දෙකම අපූරුයි. එලෙස මාධ්‍ය දෙකක නිර්මාණ දෙකක් අතිපිහිත වෙමින් පෝෂණය ලැබීම කොයිතරම් චමත්කාරජනකද?
සයිමන්ගෙ තොප්පිය, K. K. සර්පයගෙ තොප්පිය සහ වෙඩ්ඩගෙ තොප්පි ය කියන තොප්පි තුන වැටෙන ඔළුගෙඩි තුන මෙලෙසිනි ය.
- තොප්පිය පැළඳ සිටීම නැත්නම් තොප්පිය දාගෙන සිටීම සයිමන්ගේ රූපික අනන්‍යතාවයකි.
- K. K. සමන් කුමාර, සයිමන් නවගත්තේගම ගැන ලියූ විචාර කෘතියෙ සයිමන්ගෙ ඔළුවට හරි නිසා පැළඳ වූ තොප්පියකි.
“සයිමන් අපේ බෞද්ධ සංස්කෘතියෙන් සම්ප්‍රදායෙන් පිට පැන මේ සොයා යන්නේ යටපත් කර දැමූ, විනාශ කර දැමූ අපේ බෞද්ධ සම්ප්රදායද? නැතහොත් එය සයිමන්ට හරියන තොප්පිය දා ගැනීමක් ද? තන්ත්රයානයේ එන ශරීරය ද, ලිංගිකත්වය ද තුළින් ප්‍රඥාව ලබා ගැනීම සයිමන්ගේ ලිංගික නිදහස්කාමී ඔළුවට දැමූ තොප්පියක් ද? ශුන්‍යත්වය, මරණය, පුනර්භවය, කාලත්රය යන සියල්ල ඔහුගේ ම මරණ භයට දමා ගත්තා වූ තොප්පියක් ද?”
(සිංහල සාහිත්‍යය ථෙරවාදයෙන් වජ්‍රයානයට පරිච්ඡේද අංක 3, පිටුව 84)
වෙඩිවර්ධනගෙ තොප්පියට සයිමන්ගෙ ඔළුව පැළඳවීම.
“…ඇගේ අත තවමත් දැල්පන්දුවට පැලඳූ තොප්පිය මත ය. අනිත් අත මේසය උඩ ය…”
(පිටුව 93)
සයිමන්ගේ ප්‍රියම්බිකාව මල්ලිකාවෝ,
“එයා මුලින් ම අපේ ගෙදර ආව දවසෙ මං හිටියෙ නෙට්බෝල් ගහන්න ගිහිල්ලා. ගෙදර ආව හැටියෙ එයාට කලින් මං දැක්කෙ තොප්පිය. මං කාමරේට යද්දි මෙන්න තොප්පියක් තියෙනවා. මාව ගැස්සුණා. ඒ ගැස්සිල්ල තාම දැනෙනවා හැමදාක ම. මල්ලිට කියන්න මං කැමැති යි ගැස්සෙන්න.”
(පිටුව 94)
මල්ලිකාවෝ නොනවත්වා තොල් සොලවන්නී, වෙඩිවර්ධන ඩබින් කරන්නේ මෙලෙසිනි.
“…වැවට නාන්න යන්නෙත් තොප්පිය දාගෙන. නාලා එන්නෙත් තොප්පිය දාගෙන. කොටින් ම බඳින දවසෙවත් ඕක ගැලව්වෙ නෑ ඔළුවෙන්. මල්ලි දන්නෑ, සමහර දවස්වල නිදාගන්නෙත් තොප්පිය දාගෙන. මං තමයි හිමින් සැරේ ගලවලා පැත්තකින් තියන්නෙ. ආයෙ ඉතින් ඉතින් නැගිට්ට හැටියෙ ඕකත් දාගෙන තමයි සිගරැට් එකක් පත්තු කරගන්නෙ. තේ එක බොන්න සාලෙට එන්නෙ දුං දාගෙන. ටොයිලට් ගියත් තොප්පිය ඔළුවෙ. කවද හරි නැති වෙච්ච දවසකත් කතා දෙකක් නෑ, පෙට්ටියෙ දිගෑ වෙලා ඉන්දැද්දිත් තොප්පිය ඔළුවෙ තියෙයි.”
“දැල් පන්දුව අතට ගත් ඈ එය විස්මිත ලෙස කරකවා දකුණතෙ දබරැඟිල්ලෙහි රන්දා ගත්තා ය. දැල් පන්දුව නො නවත්වා ම කැරකෙමින් තිබිණ.”
(පිටුව 94, 95)
ඒ රූපකය බලන්න, දැල් පන්දුවක් කියන්නෙ ම අනුන්ගේ අත්වලින් දැලකට බලෙන් කොටුවීමකට. මල්ලිකාගෙ දැල් පන්දුවට, වෙඩිවර්ධන සයිමන්ගේ තොප්පිය දමා ඇත.
ප්‍රේමදාස ප්‍රොජෙක්ට් එකට පාවිච්චි වීම සහ වාමාංශය තවරාගත් අක්ෂාංශ දේශාංස දේශප්‍රේමය අනෙකාගේ මාංශය සොයා ලුහු බැඳීම සංසාරයකි. සංස්කෘතිය ස්තිථික නොවී ගතික වීමේ යාවත්කාලීන ය නිසි වුව ද දේශපාලනයේ කටුසු රූපාන්තරණ ගතිකත්වය නම් අතිශය නරුම ය.
සයිමන්ගේ මරණයට රතු පාට බවුසරයේ ඇති සම්බන්ධය වෙඩිවර්ධන සංකල්ප රූප ගතව සහසම්බන්ධ කරන්නේ දේශපාලනිකව බැරූරුම් සවිඥානකත්වයකින් සන්නද්ධව ය.
රතු පාට බවුසරයේ ඇති ලෝගෝවේ පන්දමක් අතැතිව නිරුවතින් දුවන මිනිසා, රක්තානුගමිකයන්ට අතිශය අසාධ්‍ය වීමට ඉඩ තිබේ.
ඒ බව සනාථ කිරීමේ වෙඩිවර්ධනයානු රූපකය අතිශය තියුණු ය. දේශපාලනිකවත් උත්ප්රාසාත්මක ය.
“සයිමන් සර් දුවමින් හිටියෙ අමු හෙළුවෙන්. ගාලු පාර. ඔලිම්පික් පදක්කමක් උස්සගෙන. ඔන්න, දුවන අතරෙ පන්දම දෑකැත්තක් වෙනවා. ආයෙ ටික දුරක් දුවද්දි ඒක අතකොලුවක් වෙනවා. ආයෙ කිරිච්චියක් වෙනවා. ආයෙ ඒක තුවක්කුවක් වෙනවා.”
මගේ ඉවසුම හොඳට ම බිඳී ගොස් තිබුණි. “සයිමන් එහෙම දුවන් යද්දී එයා පස්සෙ නන්නාඳුනන රතුපාට මිනිහෙක් පන්නන් එනවා.”
(පිටුව 79)
කෙටිකතාවේ, පරිකතාවෙදි කතන්දරය අවසන් කරන හැටි බලන්න.
සොඳුරු ආඥාදායක මංජුල වෙඩිවර්ධන සොඳුරු ආඥාවක් කරන්නේ ය.
ඒ තමයි “සයිමන් කියවලා එන්න.”
(පිටුව 97)





