පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්රධානතම ගල් අඟුරු බලාගාරය වන නොරොච්චෝලේ ලක්විජය බලාගාරය නැවත සක්රිය කිරීම සඳහා තවත් දින කිහිපයක් ගතවනු ඇති බව වාර්තා වේ.
පද්ධති ආරක්ෂණ ක්රමවේද සම්පූර්ණ වන තෙක් බලාගාරය ජාතික ජාලයට එක් නොකරන බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO) පවසයි. මෙම තත්ත්වය හමුවේ ජාතික පද්ධතියට අහිමි වී ඇති ධාරිතාව මෙගාවොට් 810කි.
ජනන ඒකකයක් හදිසියේ පද්ධතියෙන් විසන්ධි වීමෙන් හටගත් අසමතුලිතතාව හේතුවෙන් තත්පර තිහකට අඩු කාලයකදී මුළු ජාලයම අඩපණ වූ බව වාර්තා වේ. ප්රධාන රෝහල්, ජල පවිත්රාගාර සහ ගුවන්තොටුපළ ඇතුළු අත්යවශ්ය සේවා සඳහා පස්වරුව වන විට සැපයුම යථා තත්ත්වයට පත් කෙරුණද, පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳවැටීමේ සැබෑ ගැටලුව තවමත් විසඳී නොමැත.
නොරොච්චෝලේ අහිමි වීමෙන් පැන නැගිය හැකි විදුලි හිඟය කළමනාකරණය කර ගැනීමට හැකිවී තිබෙන්නේ ජල විදුලියට නිෂ්පාදනය සඳහා අවශ්ය තරම් ජලය පවතින නිසාවෙනි.
මේ අතර මෙම බිඳවැටීමට ඉහළ කොත්මලේ බලාගාරය හේතු වූ බවට පළවන ප්රකාශ විදුලි පාරිභෝගිකයින්ගේ සංගමය (ECA) ප්රතික්ෂේප කරයි. මෙගාවොට් 75ක එක් ඒකකයක් අක්රිය වීමෙන් මුළු රටේම විදුලිය ඇනහිටිය නොහැකි බවත්, අර්බුදයේ මූලය නොරොච්චෝලේ බලාගාරය බවත් එම සංගමය පෙන්වා දෙයි.
ප්රමිතියෙන් තොර බාල ගල් අඟුරු භාවිතය මෙවැනි හදිසි තාක්ෂණික බිඳවැටීම්වලට මූලික හේතුව බවට විදුලි පාරිභෝගිකයින්ගේ සංගමයේ ප්රධාන ලේකම් සංජීව ධම්මික චෝදනා නගයි. මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ බලශක්ති අමාත්යාංශයේ විශේෂ මාධ්ය හමුවද හදිසියේ කල් දමා ඇත.




