විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතනට අධිකරණ භූමියට ඇතුල් වීම සම්බන්ධයෙන් අනුරාධපුර 1 කොට්ඨාශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා, උඩමළුව භාර පොලිස් ස්ථානාධිපතිවරයා හා අනුරාධපුර පොලීසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාව අනුරාධපුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් කැඳවා ඇතැයි වාර්තාවේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් එසේ ඔවුන්ව අද (අගෝස්තු 24) දින කැඳවා ඇත්තේ රාජකාරි අවශ්‍යතාවයක් නොතිබියදී දැරිවියකට ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතනට එරෙහිව නඩුව කැඳවූ අගෝස්තු 21 වැනිදා එම නිලධාරීන් අනුරාධපුර අධිකරණයේ විනිසුරුවරුන්ට ඇතුල් වීමට ඇති ගෙට්ටුව අසල සිටීම හේතුවෙන්ය.
හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන ඔහුගේ නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්සගේ වාහනයෙන් විනිසුරුවරුන්ට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් අධිකරණ භූමියට ඇතුල්වන අවස්ථාවේදී එහි රාජකාරියට සිටි පොලිස් නිලධාරීන් එය වළක්වන්නට උත්සහා ගෙන ඇතත්, අනුරාධපුර පොලීසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා එම පොලිස් නිලධාරීන්ට අතින් සංඥා කරමින් ඇතුල් වීමට ඉඩ ලබාදෙන ලෙස උපදෙස් ලබාදී ඇති අතර එම ස්ථානයේ උඩමළුව භාර පොලිස් ස්ථානාධිපතිවරයා මෙන්ම අනුරාධපුර 1 කොට්ඨාශය භාර සහකාර පොලිස් අධිකාරිවරයාස සිට ඇත.
මෙම භික්ෂුව මෙවැනි ආකාරයෙන් සැළකුම් ලබන්නේ ඔහු ශුක්‍රාණු පිසදැමූ බවට බාලවයස්කාර දැරිය විසින් පෙන්වන ලද පාපිස්සෙහි එම හිමියන්ගේ ශුක්‍රාණු තිබූ බව රස පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇතැයි රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට දැනුම් දී තිබියදීයි.
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති රස පරීක්ෂණ වාර්තාව මගින් අදාළ පාපිස්සෙහි දෙපැත්තෙහි ම සැකකාර හිමියන්ගේ ශුක්‍රාණු පැවති බව දැනුම් දී ඇත.
රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට මෙලෙස දැනුම් දී ඇත්තේ, අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් බාල වයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික හිංසනයට ලක් කළ බව කියන සිද්ධියට අදාළව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින බී 22424/ 2026 අංක දරන නඩු ගොනුවට අදාළ රස පරීක්ෂක වාර්තාව නිල ලේඛනයක් ලෙස ගොනු කරමිනි. මෙම රස පරීක්ෂක වාර්තාවේ පිටපතක් රජයේ රස පරීක්ෂකවරයා විසින් නීතිපතිවරයාට ද යොමු කරනු ලැබ ඇත.
නඩුව නැවත කැඳවීම ලබන වසරේ ජනවාරි මාසය දක්වා කල් දමා තිබේ.
මේ අතර බොහෝ පිරිසක් ප්‍රශ්න කර සිටින්නේ ආණ්ඩුව හදිසියේ විනිසුරු වයස වැඩිකරන්නේ මෙවැනි නඩු ඉක්මනින් අවසන් කිරීමට ඇති වුවමනාව නිසාද යන්නයි.

