මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී “සරා” ය.ඔහු විසින් ම ඔහු දුහුනකු ලෙස හඳුන්වා ගනු ලබන්නේ වුව එය එසේ නොවෙතැයි හැඟෙන්නේ 1985 වැනි දශක හතරකට එහා සිට ඔහු සතතාභ්‍යාසයේ යෙදුණු තැන් විමසන කල්හි ය.
එක් ශානරයක් විසින් අනෙක් පෝෂණය කරනු ලබන බවට ඇති වියත් අදහස සරත්චන්ද්‍ර විෂයෙහි ද අර්ථාන්විත බව හැඟෙන්නේ ඔහු විසින් නිෂ්පාදනය කරන ලද සහ සම්මානයට පාත්‍ර වූ කෘති පිළිබඳ අවලෝකනයක දී ය.
නාට්‍ය නිෂ්පාදන:
- පිළිලය (1985) – දිගු නාට්‍ය
- සම්ප්‍රාප්තිය (1988) – කෙටි නාට්‍ය -යෞවන
සම්මාන - මට ඉඩක් නැද්ද ‘- කෙටි නාට්‍ය උලෙළ ,(2016)
අන්තර් රාජ්‍ය සේවක නාට්‍ය උලෙළ -(2015)
දහදිය සිත්තම-:( 2014)
වේදිකාවෙන් මහ පොළොවට (2015) - Curtain Call (2019)
(වාචික අභිනය රහිත කෙටි නාට්‍ය)
දහදිය සිත්තම - Dummy- වාචික අභිනය රහිත ඒක පාත්‍ර රංගය.
*කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ -2025
*Bhullung Bhulhunr internaional theatre festival
2025 september 3-7 Asam India
කාව්‍ය:
ඇස් දොළහක් හය විදියක් -2024

සරත්චන්ද්‍ර තම “බෝ දෑ නික්මෙති” සැකෙවි කවි සිත්තම පින්තාරු කර සහෘදගත කරන්නේ 2022 දී ය. එසේ වූ විට ඔහු නිහඬ ව්‍රතයක ගිලී නොසිටීම තහවුරු ය.ඒ හැරත් මුහුණු පොත වැනි සමාජ මාධ්‍යයන්හි මුදා හළ ක්ෂුද්‍ර තරංගවල නිම්තෙර නිසා ම , ඔහුගේ මේ කෘතිය ගැන යමක් සටහන් කිරීමේ අනිවාර්යය මෙහෙවර ඉටු කිරීම මැනවැයි හැඟේ.
සාහිත්‍යවේදී කේ.කේ.සමන් කුමාරයන්ගේ (සර්පයාගේ) විස රහිත ආරම්භක අවස්ථාවක් කවි පොත සතුවීම, කවි පොතේ අමූර්ත මිල කියාදීමකි.
කාව්‍යමය පරිපූර්ණත්වය ළඟා වීමට සම්මත නිර්ණායක අනවැසි බවට කෙටි කවි ශානරය දෙස් දෙයි. ඕනෑම සාහිත්‍ය රසයක් භාව විරේචනය හා බැඳී පවතී නම් එය කවර මාර්ගයක ගමන් ගත්තත් වෙසෙස් නම් නොවේ.
කවියාගේ ආරම්භක කවිය ම තම කුදු බව පසක් කරන ,ඒ නිසා ම කවියාගේ විසල් දෘෂ්ටිවාදිත්වය ප්‍රකට කරන්නකි.
වචන තෘෂ්ණාව මඬිමි
අර්ථ ප්‍රඥාව වඩමි
හයිකු පාරමී පුරමි
කවියකට පිට දෙමි
ඔහු තහවුරු කරන්නේ ම තමා තව දුරටත් සංවර්ධනය වීමේ පිපාසයෙන් නොතොර බව නොවේ ද.
ගප්පියෝ සාරි ඇඳලා
ටැංකියේ පාසි බැඳිලා
වටිනාකම් අඩු මිනිසුන් බැබළෙන ඉසව් පිළිබඳ කවියාගේ උත්ප්‍රාසය වචන පහකට සැකෙවි කරන’යුරු කදිම ය.
විල නිසොල්මන
ගල් කැටය කැලඹිණ
විරෝධාකල්පය වචන’තර ගළප’නයුරු අපූර්ව ය.නිසල විල කළඹන්නට යන ගල් කැටය ම කැළඹෙනු විනා විල නොකැළඹෙයි. ‘විල’ යන බරසාර සංකේතය සොලවන්නට කුඩා ගල්කැටය අපොහොසත් බව නොපෙනේද .
හැර දැමූ කවුළුවෙන්
නේක දෑ පිවිසෙති
බෝ දෑ නික්මෙති
වචනවල ව්‍යාංජනා ශක්තියෙන් වැඩි වැඩක් ගන්නෝ කවීහු ම වෙති.ආර්ථිකය හා බැඳෙන ඇසකට මේ විවෘත ආර්ථිකය පිළිබඳ අදහසකි.ආධ්‍යාත්මික ඇසකට එහි දමනය නොකළ ඉඳුරන් පිළිබඳ අදහසකි.
හාදු කලවම් කරන නා දලු
මෝදු වී පොපියන හී ගඩු
අතිශය ශෘංගාරාත්මක මොහොතක් සංක්ෂිප්ත කරන’යුරු මනරම් ය. ප්‍රේමාලිංගනයක දී සිරුරේ සෑම අංශුවක් ම සංවේදී ඉන්ද්‍රියෝ ය.දෙලවන් එක්වීම තිසර තුඩක එසවීමට නිමිති සපයනයුරු කවි අතැඟිලිවලට හසුවූ විචිත්‍රත්වය මැනවි.
කොතරම් වැළපුණ ද සයුරු රළ
තෙතමනය දැනුණේ ම වෙරළට
සරත්චන්ද්‍ර කවියා බොහෝ සේ සමීප ස්ත්‍රිවාදී සාහිත්‍යයට වුව මෙහි වාච්යාර්ථ ඉක්මවන කලාපයේ දී හමුවන්නේ අන් අරුතකි. වැළපෙන සයුරු රළ නිතර කඳුළු සලන ඇය ය. නාඬන එහෙත් තෙතමනය සහිත වෙරළ ඔහු ම නොවන්නේ ද. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සිදුවන්නේ පුරුෂ මූලික තත්ත්වයක පමණ ද.එය ආවරණය කර ගනු වස් ඇය හුරුපුරුදු කඳුළු නොසලන්නී ද විමසනු යෙහෙකි.
හොවා තිබුණත් බිම
අහම්බෙන් මුණ ගැසුණි මට
එක ම එක වතාවක්
ඒ මහා නුග රුක
වධකාගාරයක දී මොරටුව
කවියක තැවරෙන දේශපාලනික අර්ථ මෙතරම් ඉසියුම් ලෙස කක්ෂ ගත කළ හැකි සැකෙවි කවි ශානරයේ මිහිර මෙසේ විඳගත හැකි ය. ඒ මහා නුග රුක හමුවූ එකම එක වතාව අතීත ඛේදවාචකයක සුලමුල බව හෙළි කරන්නේ “වධකාගාර” වචනයේ අඳුරු තිතට පහන් එළියක් දිගු කරමිනි.
ඇතිරුවාට රටාවට ලස්සනට
සිර කරපු මල් නොවෙද වට්ටියක
බිත්ති රහිත පන්ති කාමර ගැන අධ්‍යාපනය සම්බන්ධ කථිකාවන් බොහෝ ය.ඒවා ක්‍රියාත්මක කෙරුණු රටවල් ගැන ද ඇසේ.නූතන පන්ති කාමර අධ්‍යාපනය වෙනස් විය යුතු බවට විදග්ධ මතවාද,පර්යේෂණානුසාර එළිදැක්වීම් කොතෙකුත් ඇතත් තවමත් ඒවා එතැන ම ය.නන්දන වීරසිංහ කවියා උත්ප්‍රාසයෙන් ලීවේ ඒ “ආදරණීය පාසල”ලෙසිනි. පාසල-පන්ති කාමරය තුළ සිර කළ දරුවා ද වට්ටියක සිය කරන ලද මල් ම නොවන්නේ ද .මෙහි රසය තීව්‍ර වන්නේ පිදුම් සුදුසු මල් ලෙස වට්ටියක සිරවීමයි.
අමු කිණිත්තක
ඉදුණු කවියකි
ඇතැම් ආධුනික කවියෙකුගේ පොහොසත්කම පෙන්වන’යුරු විශිෂ්ට ය.එක ම කවි පොතක් වත් නොකළ අප්‍රකට කවීහු කොතෙක් ද.ඔවුහූ කවීහූ නොවෙත් ද. පොතක් මුද්‍රණද්වාරයෙන් කලඑළි බසින්නට කොතෙක් නම් වරම් ගත යුතු ද. දහදිය සුවඳ සමඟ ගොඩ නැගුණු රජයකට පවා මේ පරතරය පියවන්නට හැකිව තිබේ ද.පොතක් මුද්‍රණය කිරීම යනු ම ලේඛකයෙකු කෙටි කලකට තම ආර්ථික ජීවිතය සියතින් ම නසා ගැනීමකි.
කන්ද උඩ සාදය
තැනිතලා වාදය
කවියාගේ දේශපාලනික දැක්මෙහි තවත් ආස්තරණයකි මේ.ඔවූහූ ඉහළ පරිභෝජන තත්ත්වයක සිටිමින් සාද පවත්වද්දී ගැටෙන්නේ පීඩිතයෝ ම නොවෙත් ද
රටා ඇඳි තල් ඉරටු පින්සල්
රටා මැකි කොසු ඉදල් පන්සල්
බුදුදහමේ හරය ම සමානාත්මතාවයි. එහෙත් එය එසේ ම වී ද.”තල් ඉරටු” යනු ම අපේ රටේ ම උතුරේ සහෝදරත්වයයි. ඒ සහසම්බන්ධතාව රැක ගැනීමේ හෝ පවත්වාගෙන යාමේ සත්පුරුෂ කාර්යය බෞද්ධාගාමික ආයතනවලින් ඒ අයුරින් ම ඉටු වූවාද යන්න ප්‍රශ්න කරන මේ කවියට මගේ ප්‍රේමය අපමණ ය.
හදවතක් සතපවන
නිවහනක් උරහිසක
කෙටිකතාවක් කෙටි කවක් කිරීමේ මහා බ්‍රහ්ම කාර්යය කළ හැක්කේ කවියකුට පමණි.සතපවන්නේ හදවතක් වුව කවියාට එය නිවහනකි.
මගෙවත් නොවන මාව
ඔයා අරගත්තා ම කෝ ම
දාර්ශනික සංකල්පයකි. කවියා තුළ වූ දර්ශනවාදියා මතුවන කවි කීපයක් ම හමුවෙයි.
කෙටි කවි 102 ම වරින්වර පැමිණ මගේ අකුරුවල රැඳෙන්නට අනවරත ව යෙදුණු අරගලය ඉදිරියේ අසරණ වීමි. පොතේ අවසන් කව පමණක් මෙහි තබමි.නාට්‍යකරණයේ දී කවියා ලද පරිචය කවිය සමඟ පෙමක ගළප’නයුරු සිත් ගනී.
තෙවෙනි සීනුව නාද නූණු
තිරය දෙපළුව දෙබෑ නූණු
රංගයට ඉඩ විවර නූණු
වේදිකාවක රාමු නූණු

මේ අද අප සැම අත්විඳින යථාර්ථයයි. අපි තවමත් තෙවෙනි සීනුව නාද වනතුරු බලා සිටින්නෝ නොවෙමු ද. අපේ සිහින වේදිකාවක රාමු වූ ඒවා ද.එය බොහෝ සැඟවුණු කලාකරුවන්ගේ වර්තමානයයි.
බෝ දෑ නික්ම ගිය ද සරත්චන්ද්‍රගේ සැකෙවි කවියේ රසාර්ථවත් බව නික්ම නොයේ.
මේ කාව්‍ය සංග්‍රහය 2021 ගොඩගේ අත්පිටපත් තරගයේ ප්‍රශස්ත කාව්‍ය සංග්‍රහය ලෙස සම්මාන දිනූ කෘතියයි.
ධම්මිකා විජේසිරි




