‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන් නිර්ප්‍රභුන් පලවා හැර එය ප්‍රභූන්ගේ ආධිපත්‍යයට සහා ඒකාධිකාරයට ගොදුරු කිරීමට උත්සහ කරන බව පුබුදු ජයගොඩ පවසයි. සූර්ය බලශක්තිය අධෛර්යමත් කිරීම් සඳහා 2026 සැප්තැම්බර් 11 වැනිදා නිකුත් කරන ලද චක්‍රලේඛය සම්බන්ධයෙන් අද, ඔක්තෝබර් 5 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙම අදහස් දැක්වීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,

“රටේ සාමාන්‍ය ජනතාව සහ සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් සූර්ය බලශක්තිය ජනනය කිරීම අධෛර්යමත් කිරීම් සඳහා මේ ආණ්ඩුව චක්‍රලේඛ දෙකක් නිකුත් කරනු ලැබුවා. සූර්ය බලශක්තිය ආකාර කිහිපයකට ලබා ගන්නවා. පියසි මත සූර්ය පැනල, පොළොවේ සවි කරන ලද සූර්ය පැනල සහ පාවෙන සූර්ය පැනල ඒ ප්‍රධාන ආකාර තුන. මේ අතරින් දෙවන සහ තුන්වන ක්‍රම වලින් විදුලි ජනනය කරන්නේ ඒකාධිකාර සමාගම් සහ මහා පරිමාණ නිෂ්පාදකයන්. පළමු ක්‍රමය තමයි සාමාන්‍ය ජනතාව සහ සුළු පරිමාණ නිෂ්පාදකයන් විසින් අනුගමනය කරන්නේ. ඒ පියසි මත සූර්ය පැනල සඳහා ක්‍රම හතරක් තිබුණා. Net Accounting, Net Metering, Net Plus සහ Net Plus Plus නමින් එම ක්‍රම හතර නම් කර තිබුණා. මේ ආණ්ඩුව මුලින්ම 2025 පෙබරවාරියේ රිලවා පැනීමේ නාඩගමක් පෙන්වා 2025 මාර්තු 17 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කර Net Plus Plus ක්‍රමය අහෝසි කළා. දැන් 2026 සැප්තැම්බර් 11 වැනිදා දිනැති චක්‍රලේඛය මගින් Net Accounting හා Net Metering ක්‍රම දෙකත් නතර කරලා. දැන් ඉතිරි Net Plus ක්‍රමය පමණයි. මෙය පැහැදිලිවම සූර්ය බලශක්තිය ජනනය කිරීම සඳහා සාමාන්‍ය ජනතාව සහ සුළු නිෂ්පාදකයන් අධෛර්යමත් කිරීමක් බව පැහැදිලියි. දැනට සූර්ය පැනල හරහා විදුලි ජනනය කරන සම්බන්ධතා වලින් 70.2%ක්ම Net Accounting, 14.0%ක් Net Metering, 12.7%ක් Net Plus Plus. ඒ ක්‍රම තුනම අහෝසි කර ඉතිරි කර තිබෙන Net Plus ක්‍රමයේ සම්බන්ධතා තිබෙන්නේ 3.1%ක් පමණයි. එයින් පෙනෙන්නේ එය ඉතිරි කළාට ජනතාවට එම ක්‍රමයට විදුලි ජනනය කිරීමේ හැකියාව අඩු බව. මේ ක්‍රමයේදී නිවසක හෝ කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරන සමස්ත විදුලි ප්‍රමාණය ජාතික විදුලි බල පද්ධතියට විකුණා තමන්ගේ විදුලි බිල වෙනම ගෙවිය යුතුයි. ඒ වගේම Net Plus Plus ක්‍රමයේදී මෙන් රාත්‍රියට වැඩි මුදලක් ගෙවීම සිදු වන්නේත් නෑ. අනෙක් අතට 3.1%ක් සම්බන්ධතා ප්‍රතිශතයකින් සමස්ත ධාරිතාවයෙන් 11.3%ක් නිෂ්පාදනය කරලා. ඒ කියන්නේ මේවා වැඩි විදුලි ජනනයක් කරන, සාමාන්‍ය නිවෙසක සවි කළ නොහැකි, ඇතැම් විට 60 KV වැනි විය හැකි විශාල ඒවා. මේ අනුව එක පැත්තකින් පියසි මත සූර්ය පැනල වෙනුවට පොළොවේ සවි කරන ලද සහ පාවෙන පැනල වැඩි කිරීම හරහාත්, අනෙක් පැත්තෙන් පියසි මත සූර්ය පැනල වලත් විශාල සමාගම් වලට පමණක් කළ හැකි ක්‍රමය ඉතිරි කර ජනතාව වැඩිපුර භාවිතා කළ ක්‍රම තහනම් කිරීම හරහාත් මේ ක්ෂේත්‍රය ඒකාධිකාර සමාගම් වල බූදලයක් කරන්න ආණ්ඩුව සූදානම් වෙන්නේ. මේ ආණ්ඩුව නිර්ප්‍රභූ කිව්වාට පුනර්ජනනීය විදුලි බල ජනනයෙන් නිර්ප්‍රභුන් පලවා හැර එය ප්‍රභූන්ගේ ආධිපත්‍යයට සහා ඒකාධිකාරයට ගොදුරු කරන්න යන්නේ.

2013දී 3.35MW ප්‍රමාණයේ තිබු සූර්ය විදුලි බල ජනනය 2016 වනවිට 2502MW දක්වා වැඩිවී තිබෙනවා. ඒ මුළුමනින්ම ජනතාවගේ මැදිහත්වීමෙන්. රජයේ මුදල් සතයක් වියදම් නොකර තමන්ගේ පෞද්ගලික මුදලින් 2024 වසරේදී පමණක් පියසි මත සූර්ය පැනල හරහා 600MW විදුලි බලයක් ජාතික විදුලි බල පද්ධතියට මුදා හැර තිබෙනවා. ණය අරන් ඉදිකළ නොරොච්චෝලේ බලාගාරයේ ජනන ධාරිතාවයත් 900 MW පමණක් වෙද්දී වසරක් තුළ ජනතාවගේ මැදිහත්වීම කැපී පෙනෙනවා. ආණ්ඩුව මේකට කියන ලොකුම තර්කය කුඩා පරිමාණ සූර්ය පැනල නිසා පාලනය කළ නොහැකි ලෙස දිවා කාලයේදී එකවර වැඩි විදුලියක් පද්ධතියට එක්වී පද්ධති ස්ථායිතාවය නැතිවන බව. අපට අසන්නට තිබෙන සරල ප්‍රශ්න මේවා. ජනතාව තමන් විසින්ම බැටරියක් සවිකරගෙන දිවා කාලයේ ජනනය වන විදුලිය ගබඩා කරගෙන රාත්‍රී කාලයේදී ජාතික පද්ධතියට ලබාදුන් Net Plus Plus ක්‍රමය නතර කළේ ඇයි? එමගින් ප්‍රශ්නය වැඩි වෙන්නේ නෑ, එය ප්‍රශ්නයට උත්තරයක්. නිවසේ ජනනය වන විදුලියෙන් කොටසක් තමන් භාවිතා කර ඉතිරිය පමණක් ජාතික පද්ධතියට ලබාදෙන ක්‍රම නතර කර, ජනනය වන සමස්ත විදුලි ප්‍රමාණය ජාතික පද්ධතියට මුදාහරින Net Plus ක්‍රමය ඉතිරි කිරීම පහදා දෙන තර්කය කුමක්ද?

සාමාන්‍ය ජනතාව නිවසේ බැටරියක් සවි කර ගැනීම දිරිමත් කරන ලෙස බදු සහන සහ අඩු පොලී බැංකු ණය වැනි ක්‍රම ක්‍රියාත්මක කිරීම වෙනුවට 5KV – 250KV සුළු පරිමාණ බැටරි සඳහා 52%ක බදු අය කරන අතර මෙගාවොට් ගණන් වල සමාගම් බැටරි සඳහා බදු ශුන්‍ය කරමින් ජනතාව මේ ක්ෂේත්‍රයෙන් පලවා හරින්නේ ඇයි? ලංකාවේ වැඩිම සූර්ය බල නිෂ්පාදනය කොළඹ, ගාල්ල, ගම්පහ වැනි දිස්ත්‍රික්ක වල සිදු කෙරෙද්දී එම ප්‍රදේශ වල බැටරි පද්ධති සවි කිරීම වෙනුවට ටෙන්ඩරයේ ප්‍රමුඛතාව පියසි මත සූර්ය පැනල ඉතා අඩු කිලිනොච්චි, වවුනියා, පොලොන්නරුව, වාලච්චනෙයි, වවුනතිව්, මොනරාගල,අම්පාර, මහියංගනය වැනි ප්‍රදේශ වලට ලබා දුන්නේ ඇයි? ආණ්ඩුවට වැදගත් පුනර්ජනනීය බලශක්ති උත්පාදනයේ ජන සහභාගීත්වයද, සමාගම් වලට ඒකාධිකාර සකස් කිරීමද? පළමු ටෙන්ඩරයේ බැටරි පද්ධතියේ ඒකක 16කින් 13ක්ම එක සමාගමකට ලැබෙන අතර දෙවන ටෙන්ඩරයේ ඒකක 25කින් 23ක්ම වෙනත් තනි සමාගමකට ලැබීමත්, එම සමාගම් දෙකේ හිමිකරුවන් ආණ්ඩුවේ සමීපතමයන් වීමත් අතර සම්බන්ධයක් තිබේද?

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...