වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරු හෝ සාමාන්‍ය රාජ්‍ය නිලධාරීන් විසින් අත්සන් කළ හැකි සාමන්‍ය ගිවිසුමක් අත්සන් කිරීමටදැයි සැක මතුවන බව පුබුදු ජයගොඩ පවසයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද දින පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ආණ්ඩුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන ආකාරයට ඉන්දීය ආරක්ෂක ඇමතිවරයා කැඩෙට් පුහුණුව, ආරක්ෂක විශ්ව විද්‍යාල අතර සහයෝගීතාවය, ඉන්දියාවෙන් ලබාදුන් ආයුධ වල නඩත්තුව නොමිලේ සිදුකර දීම වැනි ගිවිසුම් අත්සන් කිරීමටදැයි සාධාරණ සැකයක් මතුවන බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,

”ඉන්දියානු ආරක්ෂක ඇමති රාජ්නාත් සිං ලංකාවට පැමිණ අත්සන් කළ සැබෑ ගිවිසුම් සහ පැමිණි සැබෑ එකඟතා ආණ්ඩුව ජනතාවට හෙලිදරව් කළ යුතුයි. ආණ්ඩුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ කැඩෙට් පුහුණුව, ආරක්ෂක විශ්ව විද්‍යාල අතර සහයෝගීතාවය, ඉන්දියාවෙන් ලබාදුන් ආයුධ වල නඩත්තුව නොමිලේ සිදුකර දීම වැනි ගිවිසුම් අත්සන් කළ බව. නමුත් ඒ ගැන සාධාරණ සැකයක් මතු වෙනවා. ඉන්දියාව වැනි බලගතු රටක ආරක්ෂක අමාත්‍යවරයා ලංකාවට එන්නේ දෙරටේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරු හෝ සාමාන්‍ය රාජ්‍ය නිලධාරීන් විසින් අත්සන් කළ හැකි එවැනි ගිවිසුම් අත්සන් කරන්න වෙන්න බැහැ. ඉන්දියානු ආරක්ෂක ඇමතිවරයෙක් මේ ලංකාවට එන්නේ වසර 38කට පසුව. මීට පෙර එවකට ඉන්දියානු ආරක්ෂක ඇමති කේ. සී. පාන්ට් ලංකාවට ආවේ 1988දී. ඒ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර, ඉතාම සංකීර්ණ තත්වයක් තිබියදී ඒ ගැන සාකච්ඡා කරන්න. දශක හතරකට ආසන්න කාලයකට පසුව මෙවර එන්නේ කැඩෙට් පුහුණුව ගැන හෝ යුද අවි නඩත්තුව ගැන කතා කරන්න වෙන්න බෑ. ඇත්තටම සාකච්ඡා කළේ මොනවද, ඇත්තටම පැමිණි එකඟතා මොනවාද කියා ආණ්ඩුව ජනතාවට අනාවරණය කළ යුතුයි.

මීට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 ජනවාරියේ ඉන්දියානු සංචාරය අතරතුර එකඟතා ගිවිසුම් ගණනාවක් අත්සන් කර තිබුණා. ඒවා මොනවාදැයි තවමත් ජනතාව දන්නේ නෑ. 2025 අප්‍රේල් 5 වැනිදා ඉන්දියාව සමග ගිවිසුම් හතක් අත්සන් කළා. ඒවායේ පිටපත් තවම නිල වශයෙන් නිකුත් කළේ නෑ. ඒ ගිවිසුම් හත අතර ආරක්ෂක සහයෝගිතා අවබෝධතා ගිවිසුමකුත් තිබෙනවා. මීට පෙර ඉන්දියානු මාධ්‍ය වල පළවුනා ඉන්දියානු ආරක්ෂක ඇමතිවරයා ලංකාවට එන්නේ ඒ අවබෝධතා ගිවිසුම මත පදනම්ව තවත් පුළුල් ආරක්ෂක සහයෝගීතාවයක් අත්සන් කරන්න කියලා. ආණ්ඩුව මේ ඔක්කොම ජනතාවගෙන් සඟවනවා. 2025 අප්‍රේල් 5 දින ඉන්දියාව සමගත්, 2025 සැප්තැම්බර් 26 දින ජපානය සමගත්. 2025 නොඅම්බර් 14 දින ඇමරිකා එක්සත් ජනපදය සමගත් ආරක්ෂක සහයෝගිතා ගිවිසුම් අත්සන් කළා. එම රටවල් තුන ආසියාවේ නේටෝව ලෙස හඳුන්වන ක්වඩ් යුද සන්ධානයේ පාර්ශව හතරෙන් තුනක්. මේ හරහා ලංකාව ආසියාවේ නෙටෝවට ගැටගසා තිබෙනවා.

ඒ වගේම පසුගිය සතියේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් තුයියකොන්තා නේටෝ සංවිධානයේ සිටින රටවල් සමග සමීප සහයෝගීතාවයකට එකඟ වුනා කියලා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා. ලංකාව එඅනි එකඟතාවයකට එන්නේ ඉතිහාසයේ ප්‍රථම වරට. ආසියාවේ නෙටෝවෙන් නොනැවතී ප්‍රධාන නේටෝ සංවිධානයටම ලංකාව ගැටගැසුවාද? මේ ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තිය විසින් ලංකාව භූ දේශපාලන උගුලක හසුවීමට ඉඩ තිබෙනවා. ඒ වගේම නව දේශපාලන සංස්කෘතියක් ගැන පොරොන්දු දී බලයට පැමිණි මේ ආණ්ඩුව මේ සියල්ල ජනතාවගෙන් සඟවමින්, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට වැට බඳිමින් ඉතාම නරක දේශපාලන සංස්කෘතියක් අභ්‍යාස කරමින් සිටිනවා. ඒ නිසා විදෙස් සබඳතා ක්ෂේත්‍රයේ ආණ්ඩුව ගන්නා සියලු පියවර පිලිබඳ සත්‍යය ජනතාවට හෙළිකරන ලෙස බලකළ යතුයි. මේවායේ ප්‍රතිවිපාක විඳින්න වෙන්නේ ආණ්ඩුවේ නායකයන්ට පමණක් නෙවෙයි, සමස්ත ජනතාවට.”

Share post:

Popular

වෙනත් පුවත්

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

කාන්තා සහ ළමා කටයුතු වෙනුවෙන් 1% ක්  වත් ඉල්ලන නිදහස උදෙසා කාන්තාවෝ 

දළ දේශීය නිෂ්පාදනයෙන් අවම වශයෙන් 1% වත් ඉල්ලන්න යෝජනා...

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...