Breaking News

කුරුළු සුන්දර මතක අතරින් ආදරයේ ලොවක් සොයන්නිය….

කුමුදුනී මෙන්ඩිස් නව යෞවනයේ සිට මානවීයත්වයෙන් පිරුණු ලොවක් සොයා යන්නික බව ඇය සමග මා කළ බොහෝ පිළිසඳර කතා බහෙන් අවබෝධ ගත්තෙමි.මුහුණු පොත හරහා කුමුදුනී ලියූ කවි ඇසුරු කරමින් සිටි මා කලකට පෙර ඇය විසින් ප්‍රබන්ධ කළ “මනියම්” නම් කෙටි කථාව හරහා කුමුදුනී තුළ වන විසල් මානව සංවේදනාවද අත් දුටිමි. වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යවරියක් වන කුමුදුනී සිය වෘත්තිමය ජීවිතයේ කනිෂ්ඨ සේවකයෙකු ගේ දිවිය ඇසුරින් ලද අත්දැකීමක් අපූර්ව ලෙස ප්‍රති නිර්මාණය කරන ලද ” මනියම් ” සමාජයේ ආන්තික කංඩායම් පෙළන පීඩනය ඉස්මතු කරන්නට වෑයම් කරන නිර්මාණයකි. ඒ හරහා කුමුදුනීගේ සමාජ දේශපාලන මානවීය දෘෂ්ටිය මනාව නිරූපණය වේ.

සැබැවින්ම මානව හිතවාදී නිර්මාණයක් බිහි කළ හැක්කේ අප දිවි ගෙවන සමාජය පිළිබද අතිශයින් සංවේදී සහ කම්පනයක් සහ මානව අනුභූතින් ගැඹුරින් ස්පර්ශ කරන තමා ජීවත්වන දේශපාලන සමාජ ආර්ථික පරිසරය පිළිබද පැහැදිලි දැක්මක් අවබෝධයක් ඇති නම් පමණි.කුමුදුනී මෙන්ඩිස් තුළ පවත්නා ඒ දුර්ලභ මානව හිතවාදී සංවේදීත්වය හා ජීවිතය.. මනුෂ්‍යත්වය දෙස හෙළන අපූර්ව පරිණත දෘෂ්ටිය ඇසුරින් කාලාන්තරයක් පුරා ඇය මනසින් නිර්මාණය කළ කාව්‍යමය නිර්මාණ එකතුවක්
“කුරුලු සුන්දර මතක ඇහිදිමි” නමින් පසු ගිය ජූලි 12 වන දින දොරට වැඩියේය.

ඒ කාව්‍යමය අනුභූතීන් අතරින් බොහොමයක් කුමුදුනී එදිනෙදා දිවියේ සාමාන්‍ය මිනිසුන් අතර ඇවිද යාමේදී අත් විදි සැබෑ අද්දැකීම්‍ ය.
ඒ අතර දශක ගණනකට පෙරාතුව මතකයන්ද කුමුදුනී රිද්මීය භාෂණයකින් කාව්‍යාත්මක වැකි හරහා අප වෙත ගෙන එන්නීය.
“තාත්තේ මේක පරණ ප්‍රශ්නයක්..’ කාව්‍ය 1983 ජූලි මාසය දක්වා මීට වසර හතළිහකට පමණ ඉහත ඇතිවූ දෙමළ ජනය මත හිංසා පීඩා පැමිණවූ කළු ජූලිය වෙත අප මනස රැගෙන යයි.

” අසූ තුනේ
ජූලි වල
ක්‍රිෂ්ණ තෙල් මෝලෙට
ගිනි තියල බැරල් ගණන්
තෙල් උස්සගෙන ගියපු
කොල්ලන්ගේ අම්මලා
ඒවායින් අවුරුදු කැවුම් බැද්ද ද..
බුදු පුදට තිබ්බ ද..
එකසිය අටක්
පහන් දල්වා
බෝධි පූජා කෙරුව ද …
පුත්තුන්ට ශාන්තිය පතා
දේවාල කෝවිල් ආලෝක කෙරුව ද..
පුත්තුන්ගේ හපන්කං
උජාරුව දෙඩුව ද..”

මේ කාව්‍යය හරහා කිවිදිය ප්‍රශ්න ගණනාවක් ඉස්මතු කරනුයේ ඒ වෛරීය වාර්ගික මනෝභාවය පිළිබද දැඩි සෝපාහාසයක් ගම්‍ය කරමින් ඒ සංස්කෘතික ම්ලේච්ඡවය දැඩිව ප්‍රශ්න කරමිනි. එක් ජනවර්ගයක් මත සංස්කෘතික ආධිපත්‍යයක් පතුරුවමින් රකින්නට හදන අධිපති සංස්කෘතික භාවිතාවන් මනෝභාවන් මෙහිදී කිවිදිය ප්‍රභලව හා නිර්මාණාත්මකව ප්‍රශ්න කරමින් බැහැර කරයි.එසේම ලාංකික වාර්ගික හිංසනය පිටු දැකීමේ නව සිතා බැලීමකට මේ මානව ප්‍රචණ්ඩත්වය සංස්කෘතිකව විනි විදින්නට සහෘද මනසට ඇය අභිමුඛ කරයි.

මේ සිදු වීම කුමුදුනී ළමා වියේදී වත්තල ප්‍රදේශයේදී සියැසින් අත්දුටු සිදුවීමක් බව මා සමග පූර්වයෙන් පවසා ඇත.දශක හතරක් තරම් දිගු කාලයක් ඇගේ චිත්තාභ්‍යන්තරයේ තැන්පත්ව තිබූ මේ රළු ශෝචනීය අනුභූතිය ඇය මුදා හරිනුයේ මේ අතීත සංස්කෘතික භාවිතාවන්ගෙන් මිදී සහෝදරාත්මක සංස්කෘතියක් සිංහල දෙමළ ජනවර්ග අතර ගොඩ නැංවීමේ අපේක්ෂාව මිශ්‍රිත භාවමය හැගීමකිනි.

“සිලි සිලි උර..”කාව්‍යය හරහා කුමුදුනී කෘෂි කම්කරු ක්ෂේත්‍රයේ නිරත ස්ත්‍රීන් මුහුණ දෙන ආර්ථික පීඩනයේ ගැඹුරු පැති කඩක් ඉතාම සංවේදී අයුරින් ඉස්මතු කරන්නීය.

උදෑසන සිට මහත් ශ්‍රමයක් වගුළද ඔවුනගේ ශ්‍රමයට සරිලන නිසි වැටුපක් නොලැබීම නිසා ඔවුන් පෙළන දුක්ඛිත ජීවන පෙවෙත මෙහිලා ඇය විදහා දක්වයි.

“නහර වැල් ඉල්පුණු
කරගැට මල් පිපුණු
කෝටුවන් අත්ය

ඇස් යට ගිලුණු
තොල් සුදු මැළිව ගිය මුහුණුය
මේ අපේ අම්මලා නම් ගැහැනුය..

වතු ගේට්ටුව මුහුණ ලා
ලෙන්ගතු සිනා දන් දෙන
සුපිරි මාරකැට්ටුවය …

සවස හතරයි තිහය
අද ශනිදාය
හොලොංගල්ලේ වත්තේ
සති වැටුප් දවසය..

බී ලූණු දෙසිය පනහක
කීරමින් සීයක
තේ කොළ දෙසීයක
බඩ බත් කිලෝ හතරක
සක්කර හකුරු පලුවක ..

සිලි සිලි උරය
බොහෝ අත්වල
බර උසුලන..”

කුමුදුනී ඉතාමත් අල්ප වචන සමූහයකින් කම්කරු පංතියක ජීවන පීඩනයෙහි කටුකත්වය කාව්‍යමය රූපකයක් බවට පත් කරනුයේ අපගේ කාව්‍යය ක්ෂේත්‍රයෙහි නැවුම් සනිටුහනක් තබමිනි.

“අපේ අම්මලා නම් ගැහැනු” පෙළන සමාජ ආර්ථික පීඩනය දෙස..

“ඇස් යට ගිලුණු තොල් සුදු මැලිව ගිය මුහුණු දෙස” එබී බලන්නට මේ කාව්‍යය ප්‍රකාශනය හරහා කුමුදුනී හඩ අවදි කරනුයේ ඔවුන්ගේ ශ්‍රම සූරා කෑමට එරෙහිව සමාජ හඩ නැංවීමකට කරන ඉගියක් සමගය.

අම්මලා ලෙස පිදුම් දෙන සමාජ සංස්කෘතියක සැබැවින්ම එදිනෙදා ජීවන අරගලය සමග හෙම්බත්ව පීඩිතව සිටින බහුතරයක් ලාංකික වැඩ කරන පංතියේ ගැහැනියගේ ආර්ථික සමාජ ජීවන යථාර්ථයෙහි සැබෑ ස්වරූපය කුමුදුනී සියුම් උත්ප්‍රාසයකින් මෙන්ම දැඩි සංවේදී දේශපාලන දෘෂ්ටියකින් නිරූපණය කරනු ලබයි.මේ කව කුමුදුනීගේ කාව්‍යයන් අතර ප්‍රශස්ත ප්‍රකාශනයකි.

“හද සුව මැදුරු” කාව්‍යයද වත්මන් ආර්ථික පීඩනය තුළ අප සමාජයේ බහුතරයක් මුහුණ පාන සැබෑ අනුභූතියක් ග්‍රහණය කර ගත්තකි.

ආයුර්වේද වෛද්‍යවරියක වන කුමුදුනී කාව්‍යයට ප්‍රවේශ වනුයේ අතිශයින් සංවේදී අයුරිනි.

” තවත් දින තුනකට
ජීවිතය අයදින පියෙකි
පාමසි කවුන්ටරයක අබියස..”

හෘදයාබාදයකින් පෙළෙන මෙම මහළු පියා ඖෂධ සඳහා යන මාසික ගාස්තුව විමසා සතියකට ප්‍රමාණවත් තරමට හෝ මිලදී ගැනීමටවත් වත්කමක් නොමැතිව දින තුනකට පමණක් බෙහෙත් මිලදී ගන්නා අයුරු මෙයින් චිත්‍රණය කෙරේ.

” මාසෙක ට කීයද
සතියක ට ගත්තොත්
ම්හ්…කමක් නෑ
දවස් තුනකට ඇති..”

මේ ධනේශ්වර ආර්ථිකය තුළ සාමාන්‍ය ජනයාගේ ජීවත් වීමේ අයිතිය වෙළද පළ මිල විසින් තීරණය කිරීමේ යථාව කිවිදිය කාව්‍යාත්මක සංවාදයක් බවට පත් කරයි. බොහෝ විශ්‍රාමිකයන්..වියපත් මාපියන්.. මේ කටුක ඉරණමට මුහුණ දී ජීවිතය හා මරණය අතර හුදකලා අරගලයක නිරතව සිටින ශෝචනීය සමාජ අනුභූතිය කිවිදිය සහෘද මනස් කම්පනය කරමින් නිමවන්නේ රාජ්‍යයක ඖෂධීය ප්‍රතිපත්තියක් සැපයීමේදී මිල නීර්ණය කිරීමේදී මෙම ආන්තික මිනිසුන් දෙස වඩා මානවීය ලෙස බැලුම් හෙළීමට දේශපාලනික දෘෂ්ටිමය අවකාශයක් විවර කරමිනි.

කදුකර කම්කරු ස්ත්‍රීන් වැඩ බිමේදී මුහුණ දෙන ලිංගික හිංසනයක එක් පැති කඩක් නිරූපණය කරන “වරුවක හිලව්ව” කාව්‍යයද කුමුදුනීගේ කාව්‍යය අතර මානවීය පීඩනයක සැගවූ ඛේදනීයත්වය නිරූපණය කරන කාව්‍යය සංවාදයකි.

“වරු නිවාඩුවක් ඉල්ලන්
උඹත් අවේලාවේ ඔලුව දැම්මා
මක් කරන්නද ඉතින්
මමත් බෝසත්ද සම්මා.
කැඩුණු බොත්තම මහගන්න
ගෙදර පලයන්
වල්ලි අම්මා චුරු චුරුව නම් එපා
ඕං මං උඹට
දවස දැම්මා..”

වරු නිවාඩුවක් ඉල්ලන්නට සිය සේවා ස්ථානයෙහි ආසන්න ප්‍රධානියාගේ අවසරය ඉල්ලීමට ඔහුගේ කුටියට ඇතුළු වන වල්ලි අම්මලා වැනි සුවහසක් පීඩිත ගැහැනුන් අත් විදින මෙවන් ලිංගික හිංසනයන් හා ඔවුන්ගේ විරෝධය යටපත් කරන්නට ගන්නා පීඩිත පංතියටම අයත් පුරුෂ වෑයම් මෙයින් කිවිදිය විදහාලයි.වල්ලි අම්මා මෙන්ම ඇය මත ලිංගික හිංසනය පමුණුවන පුරුෂයාද පීඩිතයෙකි.
ආර්ථික පීඩනයට අමතරව ස්ත්‍රීත්වය තුළ අත් විදින ලිංගික පීඩනය සමග ගැහැනිය උසුලන ද්විත්ව පීඩනම කිවිදිය මෙහි ලා සියුම්ව ගම්‍ය කරයි. වල්ලි අම්මා ඉල්ලා සිටින වරුවට දවසක නිවාඩුව හිලව් කරමින් ඇයව සූරා කන්නා ලිංගික අල්ලසක් සේ සොච්චම් මුදලක් හිලව් කරයි. ලිංගික හිංසකයා තමා යටපත් කළ පීඩිත ගැහැනියට විරෝධය නොපාන ලෙස කරන ඉල්ලීම හා ඔහු ඒ වෙනුවෙන් හිලව් කරන සුළු මුල්‍ය ප්‍රතිලාභය ඉතාම සියුම් සෝපාහසයකට ලක් කරන්නට කිවිදිය සමත්ව ඇත.

එදිනෙදා දිවියේ සංකීර්ණ ගැටළු මැද අප දිවිය පෙලෙද්දී ඉතාම සමීප මානව සබදතා පවා ගිලිහී යද්දී ඉන් මදක් අත් මිදී මානසික සුවයක් ලැබ ගැනුමට අතීතකාමී මතකයක ගිලී යන මානව ස්වභාවයද කුමුදුනී සිය කවිය තුළ බහාලයි.

“කුරුලු සුන්දර මතක ඇහිදිමි”..
“මනසින් පැටිවියට”..”
හාදුවක් තබා එමි”..
“අත්හැර නිවෙනු හැකි නම්” ..
“බිම් තඹරු”..

“ඉඩ ලද විටක විමසමි”..”වැඩිම කොටසක් කාලය හඩයි”.. කාව්‍යයන් සිසාරා බෙහෙවින් සරලව හා සොම්නසින් එකිනෙකා හා ලෙංගතුකමින් බැදී ස්වභාව දහම අනුකූලව ජීවිතය විඳි අතීත මතක අතර සැරි සැරීම නිරූපණය කරයි.ඒ හරහා වත්මන් දිවියෙහි හා මානව සබදතාවන්හි වන යාන්ත්‍රික කඨෝරත්වය හුදකලා මිනිස් දිවියෙහි ඛේදවාචකය කිවිදිය සියුම් ලෙස ස්පර්ශ කරයි.

“නාය ගිය තැන..” කාව්‍යය පසු ගිය සමයේ දේශපාලනික ප්‍රචණ්ඩත්වය තුළ තරුණ තරුණියන් ඝාතනය කර සාමූහිකව වළ දැමු කන්දක් සමතලා කර අතීත භීෂණය එහි සගවා ඒ මත නව මුහුණුවරකින් ඉදි කළ වෙළද කුටි අතර ඒ අතීත වේදනා නොදැන හෝ
අමතකව…ජීවිතය රස විඳින කාලාවකාශයක පසෙකින් වැළලී ගිය තාරුණයේ වේදනාත්මක මුහුණු වරක් සියුම් ලෙස ඉස්මතු කිරීමට දැරූ වෑයමකි.

වස්සානයෙන් පසු
නව දළුපත් ලබන කල
ඒ තුරුවලට ද අමතකය
ඒ අඳුරු එදවස්

යළි යළිදු එකලස් කළ
හැලි වළං හැදි තාච්චි සටනේය
උණු උණු ආප්ප..
ඉස්සෝ වඩේ..
පරිප්පු වඩේ.. පිරුණු
අලුත්ම වීදුරු කවුන්ටරයකි
ඒ අස

තැනිතලාවක් වූ කන්ද හැඩ වේය
නව හරිත වැස්මකින්
ලහි ලහියේ…

දිස් වෙයි ඒ පසෙක
ඇඟිලි තුඩු
බෝනිකි අ බොරලු පස්
කන්ද යට…

දිගු කලක් ඔස්සේ ඉතාම පරිණත සියුම් දෘෂ්ටියකින් සමාජ දේශපාලන සංස්කෘතික මානවීය ජීවිතය ස්පර්ශ කරමින් තමන්ටම ආවේණික කාව්‍යාත්මක බසක් අභ්‍යාස කරමින් කුමුදුනී මෙන්ඩිස් නම් මානවහිතවාදී නිර්මාණකාරිනිය නිමවූ”කුරුලු සුන්දර මතක ඇහිදිමි” කාව්‍යය සංවාදය අතර සැරි සරන්නට සහෘද ඔබට ද ඇරයුම් කරමි.එසේම අපගේ කාව්‍යය මෙන්ම ප්‍රබන්ධ කලාවෙහි ද නව මානයක් සනිටුහන් කෙරුමට ඇගේ පුළුල් මානවීය දෘෂ්ටිය හා අපූර්ව පරිකල්පනය ඔස්සේ ඉදිරියේදී අපූර්ව නිර්මාණාත්මක ප්‍රකාශනයන් බිහි කරන්නට හෘදයාංගම සුභාශිංසන පිරිනමමි.


leave a reply