අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි වන බවත්, වෛද්‍යවරුන් සහ සෙසු වෘත්තිකයන් සඳහා තවදුරටත් බදු සහන ලබාදෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ 2021/2022 වසරවල සිට ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් සහ වෙනත් වෛද්‍ය නිලධාරීන් 2,500කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාව අතහැර ගොස් ඇති බවත්, මෙම විදේශගතවීම් සඳහා ප්‍රධානතම හේතුවක් ලෙස පවතින බදු බර බලපා ඇති බවත්ය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පසු රජයේ ආදායම ඉහළ නැංවීමේ පියවරක් ලෙස 2023 ජනවාරි මාසයේ සිට හඳුන්වාදුන් බදු සංශෝධන හේතුවෙන් වැඩිම බලපෑමට ලක්වූවන් අතර වෘත්තිකයන් ද වන බව සංගමය පවසයි.
පසුව පුද්ගල ආදායම් බදු ව්‍යුහයට සංශෝධන කිහිපයක් සිදුකළ බව පිළිගන්නා අතරම, උද්ධමනය, ජීවන වියදම, ප්‍රවාහන වියදම් සහ වෙනත් ආර්ථික පීඩනයන් සමඟ සැසඳීමේදී ලබා දී ඇති සහන ප්‍රමාණවත් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය යනු බොහෝ අවස්ථාවල රෝගීන් දඩ මීමා කරගනිමින් වෘත්තීය සටන් හල්ලුවට ලක්කරන සංගමයක් බවට බොහෝ විවේචන එල්ල වේ. නමුත් ඔවුන් මෙම වෛද්‍යවරුන් රට හැර යාම ගැන ඉදිරිපත් කරන සංඛාලේඛණ ගැන බරපතල ලෙස සිතිය යුතුය. මන්ද ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය දුර්වල වන මට්ටමින් වෛද්‍යවරුන්ගේ හිඟයක් දක්නට ලැබෙන බැවිනි. නමුත් මෙම රට හැර යාමට හේතු බදු අයකිරීම සහ ජීවන වියදම ඉහළ යාම යන්න පමණක්ද යන්න ගැනද සොයා බැලීම අත්‍යවශ්‍ය වේ.




