ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ දැමීමේ තේරුම කුමක්ද යන්න බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වී තිබේ.

පවතිනා යුධමය තත්වය සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වැඩිවීමට සාපේක්ෂව රජයත් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළා නම් ජනතාවට දරා ගැනීමට නොහැකි වන ලෙස ඉන්ධන මිල ඉහළ යන බවත් රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබෙන මුදල් භාවිතා කර රුපියල් කෝටි 4100ක ඉන්ධන සහනාධාරයක් ජනතාවට ලබා දෙමින් මිල යම් මට්ටමකට වැඩි කිරීමට සිදු වූ බවත් ඇමති නලින්ද ජයතිස්ස පවසා තිබේ.

ඔහු ප්‍රකාශ කළේ පසුගිය කාලයෙත් ඉන්ධන මිල වැඩි කිරීමට සිදු වූ අවස්ථාවේදී රාජ්‍ය භාණ්ඩාගරය සහ සමාගම් විසින් එම වැඩිවුණු මිලෙහි යම් ප්‍රමාණයක් දරා ගනිමින් ඉන්ධන මිල යම් මට්ටමකට ඉහළ දැමීමට සිදු වූ බවයි.

රජයක් ලෙස ජනතාවට සහන ලබා දෙමින් මෙම තත්වය උපරිමයෙන් කළමනාකරණය කර ගනිමින් ඉදිරියට ගමන් කරන බව අමාත්‍යවරයා පවසා තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසුවා.

“ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වැඩිවීම ඔබ දකින්න ඇති පහුගිය කාලයේදී මේ යුදමය තත්වයත් එක්ක. ඒ නිසා ඒ මිලටම වැඩි කරානම් එහෙම මීට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් මේක ඉහළ යනවා. ඉතින් අපි තීන්දුවක් ගත්තා භාණ්ඩාගාරයේ තිබෙන මුදල් වලින් රුපියල් කෝට් 4100ක් නැත්නම් බිලියන 41ක් ඉන්ධන සහනාධාරය සඳහා ලබාදෙන්න. ඒ සහනයත් ලබා දීලා තමයි මේ විදිහට වැඩි කරන්න සිද්ධ වුණේ.

පෙට්‍රල්වලට මේ සැරේ සහනයක් ලබා දීමට හැකියාව තිබුණේ නැහැ. ඒ සහනයත් ලබා දීලා යම් ප්‍රමාණයකට මේ වැඩි කරන්න සිද්ධ වුණේ. ගිය සැරෙත් බිලියන 57ක් යොදලා වැඩි වුණු මිලේ කොටසක් භාණ්ඩාගාරය දරාගෙන, වැඩි වුණු මිලේ කොටසක් සමාගම් දරාගෙන තමයි අවසානයේදී යම් ප්‍රමාණයක් මිල වැඩි කරන්න සිද්ධ වුණේ. මේ සැරෙත් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවීමේ හැටියට ඒ බර ජනතාව මත පටවන්නේ නැතිව දෙන්න පුළුවන් උපරිම සහනය ලබා දීලා තමයි මේ වැඩිවීම සිදුකරන්න වු‍ණේ.

තෙල් බෙදාහැරීමේදී අපේ රටේ පාර්ශ්ව කිහිපයක් ක්‍රියාකරනවනේ. තෙල් සංස්ථාව වැඩි කොටසක් කරනවා. තවත් තෙල් සමාගම් කරනවා. එතකොට තෙල් වෙළෙඳපොළ සැකසිලා තියෙන්නේ ඒ ආකාරයට. ඒක මේ අවුරුද්දකින් දෙකකින් වෙච්ච වැඩක් නෙවෙයි. අවුරුදු දැන් විශාල ගණනක් තිස්සේ එහෙම තමයි තෙල් වෙළෙඳපොළ සකස් වෙලා තියෙන්නේ. ජනතාවට තෙල් වල සහනය ලබාදීමේදී මොකද අවසානයේදී කොයි ෂෙඩ් එකෙන් පෙට්‍රල් ගැහුවත් මොන සමාගමෙන් බෙදාහැරියත් ජනතාව තමයි තෙල් ටික ගහගන්නේ.

එතකොට අපිට බෙදාහරින්නේ කවුද තෙල් ගෙන්වන්නේ කවුද කියන එක සලකලා දෙන්න බැහැ. පොදුවේ ජනතාවට මේ සහනය සලසා දෙන්න නම් භාණ්ඩාගාරයෙන් අපි වෙන් කරලා තියෙනවා. ඒ සහනයත් ලබාගෙන තමයි පොදුවේ ගත්තොත් තත්වය කළමනාකරණය කරගන්නේ.

ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් කියන මාස 3ට තමයි මේ සහනය ලබාදෙමින් තිබෙන්නේ. පෙට්‍රල් වල මිල වැඩි වීමට සාපේක්ෂව ඩීසල් වල මිල වැඩි කරලා තියෙන්නේ ඉතාම කුඩා ප්‍රමාණයකින්. එහෙම කරේ මේ තෙල් සහනාධාරය ඒකට ඇතුලත්ව තියෙන නිසා. මේ වෙලාවේ තෙල් මිල අධික ලෙස වැඩිවෙලා තියෙනවා. ඒකෙන් සැලකිය යුතු කොටසක් භාණ්ඩාගාරය දරාගෙන තියෙනවා.”

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව සංශෝධිත නව මිල ගණන් අනුව,

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 414ක් ලෙස සඳහන් වනවා.

ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සංශෝධනයක් සිදු කර නොමැති අතර එය පෙර පැවති රුපියල් 475 යන මිලෙහිම නොවෙනස්ව පවතිනවා.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර රුපියල් 382ක්ව පැවති එහි නව මිල රුපියල් 392ක්.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇති අතර රුපියල් 478ක්ව පැවති එහි නව මිල රුපියල් 528ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

භූමිතෙල් මිල සංශෝධනය කර නොමැති අතර එම ලීටරයක් පෙර පැවති රුපියල් 285 යන මිල යටතේම නොවෙනස්ව පවතිනවා.

බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන්නේ මෙම සහනාධාර කතාව ඉන්ධන මිල ඉහළ දැමීමට ගහන ලද ගැටයක් බවයි. එසේම මෙම ඉන්ධන මිල ඉහළ දැමීමට හේතුව ඉන්ධන බෙදාහරින පෞද්ගලික සමාගම් විසින් දිගින් දිගටම ආණ්ඩුවට කරන ලද බලපෑම බව නොරහසකි. ඒ අනුව ඉන්ධන මිල වැඩිකරන බව ආණ්ඩුව මාසයක පමණ සිට විවිධ ඉඟි ලබාදෙමින් තිබුණි. අවසානයේ ජනතාවට නොතේරෙන ක්‍රමයකට ආණ්ඩුව ඉන්ධන බෙදාහරින සමාගම්වල ඉල්ලීම ඉටුකර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...