අද වෙඩි තියලා මරන එක සාධාරණීකරණය කිරීමට ගියහොත් හෙට මහපාරේ මිනිස්සුන්ව කිසිඳු නඩු විභාගයක් තොරව මරන තත්වයට පැමිණිය හැකි බව දුමින්ද නාගමුව පවසයි.
මීගමුව බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය අද ( 07 ) දින කැඳවූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා තිබේ.
එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව.
” ඊයේ සහ පෙරේදා දවසේ මීගමුව බන්ධනාගාරේ වුණ සිද්ධිය නිසා මේ වෙද්දි මරණ 26ක් වාර්තාවෙලා තියනවා. ඒ අතරින් 7 දෙනෙක් බන්ධනාගාර නිළධාරීන්. අපි මුලින්ම ජන අරගල සන්ධානය විදිහට මේ සියලුදෙනාගේම පවුල්වලට ඒ මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ පවුල්වලට අපි කණගාටුව පල කරනවා. සමාජයේ දැන් දැන් මතයක් යනවා මේ බන්ධනාගාරවල ඉන්නේ කුඩුකාරයෝ ඕකුන්ව මරන්න ඕන කියලා. හැබැයි අපි දන්නවා බන්ධනාගාරවල සමහරවිට ඉන්නවා රිය අනතුරක් නිසා ඇතුළට යන්න වුණ අය. තව සමහරු ඉන්නවා බොරු චෝදනා ගොනු කරලා ඇතුළට යවපු අය. ඒ නිසා අපි හිතනවා සමාජය සියලු සිරකරුවන් දිහා මීට වඩා මානුෂිකව බැලිය යුතුයි කියලා.
අපිට මෙතනදි තියෙන ප්‍රශ්නය තමයි මේ සිදුවීමේදී ප්‍රතිපත්තියමය තීරණ ගතයුතු පාර්ශව මොකද කළේ කියන එක. දැන් සමහරු උත්සහ කරනවා මේ සිද්ධිය හුදු මත්ද්‍රවය සිද්ධියකට ලඝු කරලා අත පිහදාගන්න. නමුත් අපි මේ හුදු එක් සිද්ධියකට විතරක් මීගමුව බන්ධනාගාර සිද්ධිය පටු කරන්න සූදානම් නැහැ. අපි හිතනවා මෙවැනි සිදුවීමක් වුණාම ඒක පාලනය කරන්න බැරි තත්වයට පත්වෙන්න ප්‍රධානම හේතුව තමයි පිරිස් තදබදය. දැනට ලංකාවේ බන්ධනාගාරවල රැඳවිය හැකි උපරිම ප්‍රමාණය වෙන්නේ 11,762යි. නමුත් දැනට බන්ධනාගාරවල 41,257කට වැඩි පිරිසක් රඳවලා තියනවා. අපි සාමාන්‍යෙන් මේකට කියන්නේ සැමන් අට්ටි ගහනවා කියලා. ඉතින් එහෙම විශාල පිරිසක් ඉන්න තැනක අසහනය වර්ධනය වෙන්න ඕනෑම මොහොතක ඉඩක් තියනවා.
අනිත් කාරණය තමයි ලංකාවේ අවුරුද්දකට ලක්ෂ 2ක් පමණ අත් අඩංගුවට ගැනීම් වෙනවා. මේ සියල්ල කළමනාකරණය කරගන්න බැරුව බන්ධනාගාර නිලධාරීන් ඉන්නේ දැඩි පීඩනයක. මේ නිසා සමහර බන්ධනාගාරවල කාර්‍යාලීය කටයුතු පවා රැඳවියන් විසින් තමයි කරන්නේ. දැන් මේ සිදුවීම වුණ මීගමුව බන්ධනාගාරයේ රැඳවිය හැකි සිරකරුවන් ප්‍රමාණය 680යි. හැබැයි මේ සිද්ධිය වෙන වෙලාවෙ මීගමුවේ 2417ක් රැඳවියන් ගාල් කරලා තිබුණා. අපි දැක්කා පහුගිය කාලේ මත්කුඩු තුරන් කරනවා කියලා ආණ්ඩුව ලොකු මාධ්‍ය ප්‍රචාරයක් එක්ක මෙහෙයුමක් කළා. හැබැයි ඒ මෙහෙයුමේදි ඇත්තටම වුණේ පාරේ ඉන්න සාමාන්‍යෙ මිනිස්සු අයිඩෙන්ටියක් නෑ, කුඩු පැකට් එකක් තිබුණා කියලා අල්ලං ගිහිං හිර කරපු එක. නමුත් ඇත්තටම ආරක්ෂක අංශ පවා කියනවා ලංකාවට කුඩු ගෙන්වන්නේ ව්‍යාපාරිකයෝ 5දෙනෙක් කියලා. අන්න ඒ මුදුන් මුළ නොකඩා පාරේ ඉන්න මිනිස්සු අල්ලලා හිරේ දාන එකෙන් මේ ප්‍රශ්නේ විසඳන්න පුලුවන් ද කියලා ආණ්ඩුව නැවත වරක් සිතා බැලිය යුතුයි.
දැන් මේ මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන ආණ්ඩුව මෙන්න මේ ප්‍රශ්නවලට ඍජුව උත්තර දෙන්න ඕන. පළවෙනි කාරණය තමයි මේ සිද්ධිය ආරම්භ වුණ මොහොතේ වාට්ටු කැඩීම ඒ කියන්නේ ගැටුමට අදාළ පාර්ශව දෙක වෙන් කොට තැබීමක් කළාද කියලා සමාජයට කියන්න අවශ්‍යයි. අනිත් බරපතළම කාරණය තමයි අපි දැක්කා එක් නිළධාරියෙක් අර බන්ධනාගාරේ කවුළුවෙන් තුවක්කුව ඇතුළට දාලා වෙඩි තියනවා. මේ වෙඩිතැබීම ලෝකේ කිසිඳු මානවහිමිකම් නීතියක් යටතේ සාධාරණීකරණය කරන්න පුලුවන් කමක් නැහැ. ඒ මොහොතේ එතන හිටපු නිලධාරීන්ට හිතෙන්න පුලුවන් ඒක තමයි කරන්න තියෙන දේ කියලා. හැබැයි අපි හිතනවා මේ ගැන වහාම ආණ්ඩුව ජනතාවට පැහැදිලි කරන්න ඕන. මොකද මේ වෙඩිතැබීමෙන් මොනවගේ දෙයක් වුණාද කියලා අපි දන්නේ නැහැ.
ආණ්ඩුව සහ බන්ධනාගාර ඇමතිවරයා දැන් කියලා තියනවා මේ සිදුවීමේ වගකීම බාරගන්නවා කියලා. නමුත් මයික් ඉස්සරහට ඇවිල්ලා මම වගකීම ගන්නවා කිව්වට මේ ප්‍රශ්නේ විසඳෙන්නෙ නැහැ. ආණ්ඩුව පැහැදිලව කියන්න ඕන මේ සිදුවීමේ මොන කොටසේ වගකීමද ආණ්ඩුව ගන්නේ කියලා. ඊලගට නැවත මෙවැනි සිද්ධියක් ඇතිවීම වලක්වන්න ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග රටට පැහැදිලි කළ යුතුයි. විශේෂයෙන් බන්ධනාගාරවල තදබදය නැතිකරන්න, අනිත්පැත්තෙන් බන්ධනාගාර ඇතුළේ මත්කුඩු ජාවාරම් ඇතුළු අපරාධ වෙනවනම් ඒවා නවත්වන්න ගන්න ක්‍රියාමාරග ආණ්ඩුව ජනතාවට පැහැදිලි කරන්න ඕන. මේ බන්ධනාගාරවල සෞඛ්‍ය පහසුකම් තියෙන්නේ ඉතාම පහළ මට්ටමක. පිරිසිදුකමක් නැහැ. කැසිකිළි වැසිකිළි පහසසුකම් ප්‍රමාණවත් නැහැ. ඊයේ අපි දැක්කා අර රැඳවියන් කෑ ගහලා කියනවා 40කට ඩෙංගු හැදිලා කියලා. ඔවුන් කෑගහලා කිව්වේ ඔවුන්ට ඇතුලෙදි මුහුණදෙන්න වෙන සමීපාරක්ෂක ප්‍රශ්න ගැන. මෙන්න මේ ගැටුළු දැන්වත් විසඳන්න ඕන. වැදගත්ම කාරණය තමයි පුලුවන් තරම් අත් අඩංගුවට අරගෙන බන්ධනාගාර පිරෙව්වා කියලා සමාජයේ අපරාධ අඩුවෙන්නේ නැහැ. ඒ නිසා සාමජයේ අපරාධ වැඩි වෙන්නෙ ඇයි ? ඒවට බලපාන ආර්ථික දේශපානලන සහ සමාජ සාධක මොනවද කියලා හොයලා බලලා ඒවට වහාම පිළියම් යොදන්න ඕන. මෙන්න මේ වගකීම් වහාම ආණ්ඩුව පැත්තෙන් ඉටු කරන්න මැදිහත් වෙන්න කියලා අපි මේ වෙලාවේ ආණ්ඩුවට මතක් කරනවා.
ඊලගට අපි සමාජයටත් කියනවා සිරකරුවන් මිනීමරුවෝ කුඩුකාරයෝ කියන කෝනෙන් හැමවෙලාවෙම බලන්න එපා කියලා. මොකද මේ සිරකරුවන් ඒ ඒ වැරදිවලට පෙළඹුණු හේතුව අපි බලන්න ඕන. හෙට අද මේ සිද්ධිය හොඳයි කියන කෙනෙක්ගේ පවුලක කෙනෙක්ට මේ දේම වෙන්න පුලුවන්. අද වෙඩි තියලා මරන එක සාධාරණීකරණය කරන්න ගියොත් හෙට මහපාරේ මිනිස්සුන්ව කිසිඳු නඩු විභාගයක් නැතුව මරන තත්වයට ඒවි. ඒ නිසා කිසිම විදිහකින් එවැනි තත්වයක් අනුමත කරන්න එපා සහ සිරකරුවන්ගේ අයිතිවාසිකම් ගැන මීට වඩා මානුෂිකව වෙමු කියන පණිවිඩයත් අපි මේ වෙලාවේ ජනතාවට දෙනවා. “






