රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන් චලනය වන ජීවමාන ග්‍රහලෝකයක්…
2015 ඉඳන් 2025 දක්වා අවුරුදු 10 ඇතුළත ලෝකය පුරා වාර්තා වුණු සෑම භූමිකම්පාවක්ම එකතු කරලා විශේෂ සිතියමක් මෑතකදී නිර්මාණය කරලා තියෙනවා. ඒ රතු පාට තිත් දහස් ගණනින් අපිට පෙනෙන්නේ නිකම්ම නිකම් පොළොව හෙල්ලුණු තැන් විතරක් නෙවෙයි, අපේ පෘථිවියේ සැඟවුණු සැකිල්ල Tectonic Plates කොතැනද තියෙන්නේ කියන රහස…

අපේ පෘථිවි පෘෂ්ඨය තනි තැටියක් නෙවෙයි. ඒක එකිනෙකට තද වෙලා, යා වෙලා තියෙන විශාල පාෂාණ තැටි කිහිපයක එකතුවක්. මේ තැටි නිතරම හරිම හිමින්, හරියට අපේ නියපොතු වැවෙන වේගයෙන් අවුරුද්දකට සෙන්ටිමීටර 2-10 ත් අතර) චලනය වෙනවා…
මේ තැටි එකිනෙක ගැටෙන, ඈත් වෙන හෝ එකිනෙක උඩින් ලිස්සා යන මායිම්වලදී තමයි අතිවිශාල ශක්තියක් ගබඩා වී එකපාරටම පිටවෙලා භූමිකම්පා ඇතිවෙන්නේ. මේ සිතියම දිහා බැලුවාම ඒ තැටිවල මායිම් හරියටම රතු පාටින් ඇඳලා තියෙනවා වගේ අපිට පැහැදිලිවම බලාගන්න පුළුවන්…

මේ සිතියමේ වැඩියෙන්ම රතු පාට තිත් පිරිලා තියෙන ප්‍රධානම කලාපය තමයි පැසිෆික් ගිනි වළල්ල Pacific Ring of Fire. ඇමරිකානු බටහිර වෙරළ තීරයෙන් පටන් අරන්, ඇලස්කාව, ජපානය, ඉන්දුනීසියාව හරහා නවසීලන්තය දක්වා විහිදෙන මේ කලාපයේ තමයි ලෝකයේ තියෙන භූමිකම්පාවලින් 90% ක්ම සහ සක්‍රිය ගිනි කඳුවලින් 75% කට වඩා පිහිටලා තියෙන්නේ…
මෙතැනදී පැසිෆික් තැටිය අනිත් තැටි යටට ගිලී යාම නිසා නිතරම මහා පරිමාණයේ භූමිකම්පා මෙන්ම භයානක සුනාමි තත්ත්වයන් පවා හටගන්නවා…

ඊළඟට අපිට පැහැදිලිවම පෙනෙන අනිත් ප්‍රධාන මාර්ගය තමයි අල්පයින්-හිමාලයානු තීරුව Alpide Belt. තුර්කිය, ඉරානය හරහා හිමාල කඳුවැටිය දක්වා යන මේ තීරුවේදී අප්‍රිකානු, අරාබි සහ ඉන්දීය තැටි, යුරේසියානු තැටිය එක්ක නිරන්තරයෙන් තදින් ගැටෙනවා…

අපි අද දකින ලෝකයේ උසම කඳුවැටිය වන හිමාල කඳුවැටිය පවා නිර්මාණය වුණේ මෙන්න මේ ඉන්දීය තැටිය වසර මිලියන ගණනක සිට යුරේසියානු තැටියේ වැදී ඉහළට එසවීම නිසයි. මේ චලනය තවමත් සිදුවන නිසා හිමාලය තවමත් වසරකට මිලිමීටර කිහිපයකින් උස යමින් පවතිනවා…

ගොඩබිමට අමතරව සාගර පතුළ දෙස බැලුවත් අපිට අපූරු දසුනක් පෙනෙනවා. මහ මුහුද මැදින් යන රතු පාට තිත් පේළිවලින් පෙන්නුම් කරන්නේ සාගර මැද කඳු වැටි Mid-Ocean Ridges, එතැනදී වෙන්නේ තැටි දෙකක් එකිනෙකෙන් ඈත් වෙද්දී පෘථිවිය ඇතුළෙන් උණුසුම් මැග්මා එළියට ඇවිත් නිවී යමින්, අලුතින්ම පොළොව් පෘෂ්ඨයක් නිර්මාණය වීමයි. පෘථිවිය එක පැත්තකින් පැරණි පෘෂ්ඨය ගිලගනිමින් අනෙක් පැත්තෙන් අලුත් පෘෂ්ඨයන් සාදන අද්භූත ක්‍රියාවලිය මෙතැනින් පැහැදිලි වෙනවා…

මේ මුළු සිතියමෙන්ම අපිට ලැබෙන ලොකුම පාඩම තමයි, මහද්වීපවල ඇතුළු ප්‍රදේශ බොහොමයක් හරිම නිශ්චලව, භූමිකම්පාවලින් තොරව තියෙද්දී, මේ තැටි එකිනෙක හමුවෙන මායිම් විතරක් කොච්චර සක්‍රියද කියන එක…

අපි පය ගහලා ඉන්න මේ පොළොව ස්ථාවරයි කියලා හිතුණට, ඒක ඇතුළෙන් නිරන්තරයෙන් අලුත්වෙන, ගමන් කරන ජීවමාන පද්ධතියක්. අභ්‍යවකාශයේ තනිවුණු මේ නිල් පැහැති ග්‍රහලෝකය ඇතුළත ක්‍රියාත්මක වෙන්නෙ මහා විශ්වීය එන්ජිමක්…

නලින් මංජු මාකාවිට

Previous article

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...