“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුත
ගොඩ වෙන්න
මේ මල් මල්
බයිසිකලයට

අමතක නොවන
රවුමක් යමු අපි

මේ ලහිරු කරුණාරත්න ගේ “මල් මල් බයිසිකලය” කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහනේ ආරම්භය.ලහිරු කතෘ සටහනේන් ආමන්ත්‍රණය කරන්නේ දරුවන්ට. කතෘ සටහනෙන් ඔහු දරුවන්ට ආමන්ත්‍රණය කිරීමේ තේරුම ලහිරු මේ මල් බයිසිකලය නිර්මාණය කරන්නේ දරුවන්ට බවයි.

එ නිසා ලහිරුගේ මුහුණු පොතේ යටට ගිහින් බැලුවා ලහිරු මාමා ගේ “මල් මල් බයිසිකලය” කාව්‍ය සංග්‍රහය කියවලා එක දරුවෙක් හරි පුංචිම හෝ අදහසක් ලියල තියෙයිද කියලා.

එහෙම සටහනක් හමුවුණේ නැහැ. දරුවන්ට මේ පොත හොඳයි කියල වැඩිහිටියෝ ලියපු දේවල් ටිකක් තිබුණා.

ලංකාවේ වැඩිහිටියෝ ළමා පොත් ලෙස හඳුනාගන්නේ පිට කවරයෙත් ඇතුළතත් ලොකු රූප සහ ලොකු අකුරු තියෙන පාට පාට කුඩා පොත්.එහෙම මානසිකත්වයකින් පොත් හොයන අයට මේ පොත මගහැරෙන්න පුළුවන්.

එහෙම නොවෙන්න එළඹෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පොත් තෝරන්න යන අය මතක ඇතිව ළමයින්ට පොත් ගද්දී මේ පොත හොයලා ගන්න.මේ පොත දරුවන්ට පාඩම් කියා දෙන, මනසට ව්‍යායාම් ගෙන දෙන, ළමා සිත් කුතුහලයෙන් කිතිකවන පොතක්.

මේ කියන කතාව බොරු නෙමෙයි. මේ පහත කවි දෙක කියවල බලන්න

දරුවන් වෙනුවෙන් වැඩිහිටියන් සඳහා

•ඉබ්බාගේ හීනය

අනාගත හීනය මොකක්ද?
ගුරුවරු ඇහුවා
අනාගත හීනය මොකක්ද?
නෑදෑයෝ ඇහුවා
අනාගත හීනය මොකක්ද?
අසල්වැසියෝ ඇහුවා
ඉඟිල්ලෙන එක තමයි
මගේ එකම හීනය
ඉබ්බා කිව්වා

ඉගිල්ල කලින්
වේගෙන් ඇවිදින්නටත්
පුරුදු වෙන්න
සමහරු කිව්ව

ඉගිල්ලෙන්න කලින්
තව ටිකක් පීනන්න ඉගෙන ගන්න
තව අය කිව්වා..

තටු නැතුව ඉගිල්ලෙන්නේ කොහොමද ?
වැඩි දෙනෙක්ට තිබුණ ප්‍රශ්නය ඒක

දිය ගොඩ සරණ එක
ඒක මට පැවරිච්ච කාරිය
ඒත් ඉගිල්ලෙන එක
මගේ හිතේ තැවරිච්ච හීනය

තටු තියෙන්නෙ අත්වලම නෙමෙයි.
හිත් වලත් තටු මැවෙයි.
ඇස් ඇරල බැලුවොතින්
ඒව පෙනෙයි.
තටු නැතත් ඉගිලෙන හීනයකට
අහසේ ඉඩ තියෙයි
ඉබ්බ කිව්වා

ජීවිත සාරයට දරුවන්ට

•කුරුල්ලා සහ පිහාටුව

පියාපත දමා ගිය
කුරුල්ලා නොහඳුනමි

ඒ කුරුල්ලා සමහර විට
ආයේ දවසක ඒව මිදුලට
ඒත් මම කොහොම හඳුනන්නද

මගේ පිහාටු පොත
තව පිටු පිහාටුවකින් වැඩි කොට
ඒ කුරුල්ලාට
පිහාටුවක් අහිමි වී ඇත

මට පිහාටුවක් දුන්
කුරුල්ලා හඳුනන බැවින්
ඒ කුරුල්ලා වෙනුවෙන්
ලෝකයේ සියලුම කුරුල්ලනි
ස්තූතියි නුඹලාට

පැහැදිලි වෙන්න ඇති මං කිව්වෙ ඇත්ත කියල.අපි බයිසිකල් පදින්න පුරුදු උනේ පොල්ල යටින් කකුල දාල. දරුවන්ට කියවන්න ආශාව ඇති කරන්න පුළුහන් පොත් අරන් දීල.

හිල්මි සුපුන්

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...