ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය මහ බැංකුවේ සියයට 5ක ඉලක්කගත සීමාව ඉක්මවා තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, එමඟින් ජීවන වියදම පිළිබඳ ගැටලු දැඩි වෙමින් පවතියි.
එසේම ණය ගැනීමේ පිරිවැය (පොලී අනුපාත) තවදුරටත් ඉහළ මට්ටමක පවතිනු ඇත්දැයි අලුතින් ප්‍රශ්නයක් මතු කර තිබේ.
අප්‍රේල් මාසයේ සියයට 5.4ක් සහ මැයි මාසයේ සියයට 5.5ක් ලෙස සටහන් වූ දර්ශකයන්ගෙන් පසුව, ජූනි මාසයේදී පාරිභෝගික මිල ගණන් සියයට 6.8කින් ඉහළ ගොස් ඇත්තේ මහ බැංකුවේ ඉලක්කගත සීමාවට වඩා ඉහළින් පැවති අඛණ්ඩ තෙවැනි මාසය සනිටුහන් කරමිනි. මෙය වසරේ මුල් භාගයේ පැවති අඩු උද්ධමනකාරී පරිසරයෙන් කැපී පෙනෙන වෙනස් වීමකි.
2023 මාර්තු මාසයෙන් පසු මහ බැංකුව විසින් සිදු කරන ලද පළමු පොලී අනුපාත ඉහළ නැංවීම ලෙස, මැයි මාසයේදී සිදු කළ අනපේක්ෂිත පදනම් ලකුණු 100ක (basis-point) පොලී අනුපාත වැඩි කිරීමත් සමඟ ඉහළ ගිය ණය අනුපාත හමුවේ මෙරට නිවාසලාභීන් සහ ව්‍යාපාර දැනටමත් දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටී.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මේ පිළිබඳව දැඩි අනතුරු ඇඟවීමක් කිරීමට පෙළඹුනේ නැත. ඔවුන් ප්‍රකාශ කළේ මෙම නවතම දර්ශකය තාවකාලික ඉහළ යාමක්ද නැතහොත් පුළුල් උද්ධමනකාරී ප්‍රවණතාවයක ආරම්භයක්ද යන්න තීරණය කිරීමට තවමත් කල් වැඩි බවයි.
‘..මේ සංඛ්‍යාලේඛන නිකුත් වුණා පමණයි. මේ පිළිබඳව අදහස් දැක්වීම අකාලයේ සිදු කරන්නක් (පූර්ව නිගමනයකට එළඹීමක්) විය හැකියි. මොකද ඔබ මතක තබා ගත යුතුයි මෙය මාසික පදනමකින් පමණක් නොව කාර්තුමය පදනමකින්ද බැලිය යුතු බව,’ යැයි ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපගේඕර්ජියු ඊයේ කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
නවතම උද්ධමන දත්ත කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමුව ඇත්තේ, එය දැන් මහ බැංකුවේ ඉලක්කයට වඩා බොහෝ සෙයින් ඔබ්බට ගොස් ඇති බැවින් වන අතර, රටේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලත් ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ මෙය වඩාත් දැඩි පරීක්ෂාවකට ලක් වීමට ඉඩ ඇත.
උද්ධමනය නැවත වරක් මෙලෙස ඉහළ යාම ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය හීන කර දැමීමේ තර්ජනයක් මතු කරයි.
ව්‍යාපාර සඳහා, විශේෂයෙන් බැංකු මූල්‍යකරණය මත යැපෙන ව්‍යාපාරවලට ඇති ගැටලුව නම්, ඉහළ උද්ධමනය හේතුවෙන් ණය පොලී අනුපාත ලිහිල් කිරීම ප්‍රමාද විය හැකිද යන්නයි. මැයි මාසයේ සිදුකළ පොලී අනුපාත වැඩි කිරීමෙන් පසු (එය වසර තුනකට වැඩි කාලයකට පසු මහ බැංකුව විසින් සිදු කරන ලද පළමු දැඩි කිරීම් පියවරයි) මේ වන විටත් ණය පොලී අනුපාත ඉහළම මට්ටමකට පත්ව ඇත.
අනාගත ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව පූර්ව නිගමන ලබාදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රතික්ෂේප කරන ලදී. කෙසේ වෙතත්, මෙයින් හැඟවෙන්නේ උද්ධමනකාරී පීඩනයන් ස්ථාවර වෙමින් පවතින්නේද යන්න පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මතු වන තුරු බලධාරීන් ‘බලා සිටීමේ’ (wait-and-see) ප්‍රවේශයක් අනුගමනය කරන බවයි.
පැපගේඕර්ජියු ගේ නායකත්වයෙන් යුත් මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ජූනි 24 සිට 30 දක්වා කොළඹ රැඳී සිටි අතර, ශ්‍රී ලංකාවේ වැඩසටහනේ ක්‍රියාකාරීත්වය සැප්තැම්බර් මාසයේදී අපේක්ෂිත විස්තීර්ණ අරමුදල් පහසුකම් (EFF) විධිවිධානයේ හත්වැනි සමාලෝචනයේදී නිල වශයෙන් ඇගයීමට ලක් කෙරෙනු ඇත.
ඩේලි මිරර් පුවත්පත ඇසුරිණි






