ගල් අඟුරු වියදම 2025 වසරට වඩා 30,220%කින් ඉහළ ගිහින්

මැද පෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල ගණන් සහ ආනයන පරිමාව ඉහළ යාම නිසා 2026 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම එ.ජ. ඩොලර් මිලියන 536ක් දක්වා දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුවේ නවතම විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවට අනුව, එය 2025 මැයි මාසයේ පැවති ඩොලර් මිලියන 252.8ට සාපේක්ෂව සියයට 112ක වාර්ෂික වර්ධනයකි.
මෙම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ පිරිපහදු කළ ඛනිජතෙල් ආනයන වියදම ඉහළ යාම බව වාර්තාව සඳහන් කරයි.

2025 මැයි මාසයේදී පිරිපහදු කළ ඛනිජතෙල් ආනයන වියදම ඩොලර් මිලියන 197.2ක් වූ අතර, 2026 මැයි මාසයේදී එය ඩොලර් මිලියන 418.7ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම බොරතෙල් ආනයන වියදම 2025 මැයි මාසයේ ඩොලර් මිලියන 55.5 සිට 2026 මැයි මාසයේදී ඩොලර් මිලියන 94.9ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 70.9ක වර්ධනයකි.

ගල්අඟුරු ආනයන වියදමද 2025දී පැවති ඩොලර් මිලියන 0.1 සිට 2026දී ඩොලර් මිලියන 22.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එහි වෙනස ප්‍රතිශතයක් ලෙස 30,220%ක් ලෙස මහ බැංකුව සඳහන් කරයි.

2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ සමස්ත ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 2,703.7ක් වූ අතර, 2025 වසරේ එම කාලය තුළ එය ඩොලර් මිලියන 1,664.2ක් ලෙස වාර්තා විය. ඒ අනුව සියයට 62.5ක වර්ධනයක් පෙන්නුම් කරයි.
කෙසේ වෙතත්, 2026 මැයි මාසයේ ඉන්ධන ආනයන වියදම අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 39.5කින් අඩු වී ඇති බවද මහ බැංකුව සඳහන් කරයි.

විශේෂයෙන් ගල් අඟුරු සඳහා වියදම ඉහළ යාම පිටුපස ටෙන්ඩරය ප්‍රමාදවීම, ගල් අඟුරු බාලවීම හා වාරකන් මැද ගල් අඟුරු බෑමට සිදුවීම යන හේතු තිබෙන බව බොහෝ පිරිසකගේ අදහසයි. එසේනම් මෙම ඉහල ගොස් ඇති වියදම ගෙවන්නේ කවුරුන්ද යන්න ගැනද ආණ්ඩුව හෙළි කළ යුතුය.

Share post:

Popular

More like this
Related

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...