ගල් අඟුරු ටෙන්ඩර් දෙකම නීති විරෝධීයි – පුබුදු ජයගොඩ

ගල් අඟුරු ටෙන්ඩර් දෙකම නීති විරෝධී බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ,

”2026/26 වර්ෂ සඳහා ගල් අඟුරු සැපයීමට ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් සමාගමට ලබාදුන් ගල් අඟුරු නැව් 25ක දිගුකාලීන ටෙන්ඩරය මෙන්ම, එය ගල් අඟුරු සැපයීමට අසමත් වන විට තරන්ජොට් රිසෝසර්ස් සමාගමට ලබාදුන් ගල් අඟුරු නැව් 5ක හදිසි ස්ථානීය ටෙන්ඩරය යන ටෙන්ඩර් ගිවිසුම් දෙකම නීති විරෝධීයි. 2026 අප්‍රේල් 02 නිකුත් වූ ජාතික විගණන කාර්‍යාලයේ වාර්තාවෙන්ද තහවුරු කර ඇති ආකාරයට ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් සමාගමට ටෙන්ඩරය ලබාදී ඇති ආකාරය අනීතිකයි. නීතියට අනුව ලංසු ලේඛන යැවිය යුත්තේ ලියාපදිංචි සමාගම් වලට පමණයි. මේ සමාගම ලියාපදිංචිය සඳහා අයැදුම්පත් ලබාදී ඇත්තේ 2025 අගෝස්තු 19 වැනිදා. ඔවුන් ලියාපදිංචි ගාස්තු ගෙවා රිසිට්පතක් ගෙන තිබෙන්නේ අගෝස්තු 22 වැනිදා. නමුත් අගෝස්තු 18 වැනිදා ඔවුන්ට විද්‍යුත් තැපෑලෙන් ලංසු ලේඛන යවා තිබෙනවා. එය නීති විරෝධීයි. ඒ වගේම මේ ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් සමාගම සමග ටෙන්ඩර් ගිවිසුම අත්සන් කර තිබෙන්නේ 2025 නොවැම්බර් 19 වැනිදා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව ගිවිසුම සඳහා අනුමැතිය ලබාදී තිබෙන්නේ ඊට පසුදින, නොවැම්බර් 20 වැනිදා. නීතිපති අනුමැතියක් නොමැතිව අත්සන් කළ ගිවිසුමක නෛතික වලංගුතාවයක් නෑ. එය ශුන්‍ය වෙනවා. මේ හේතුව නිසා අදාළ සමාගම දඩ ගෙවීම පවා මගහැරීමේ ඉඩක් තිබෙනවා.

ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් සමාගම නියමිත ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු අවශ්‍ය ප්‍රමාණය නිසි කලට ලබාදීමට අසමත්වීම නිසා 2026 මාර්තු 19 වැනිදා තරන්ජොට් රිසෝසර්ස් සමාගමට ගල් අඟුරු නැව් 5ක, මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක හදිසි ස්ථානීය ටෙන්ඩරයක් ලබා දුන්නා. විගණන වාර්තාවේ ඉතාම පැහැදිලිව සඳහන්ව ඇති ආකාරයට එම ටෙන්ඩරය සඳහා ලියාපදිංචි වීමටවත් එම සමාගම අවම සුදුසුකම් සපුරා නැහැ. කිලෝග්‍රෑමයකට කිලෝකැලරි 5900ට වැඩි තාපජනක ධාරිතාවයෙන් යුතු ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ දහයක්වත් ගෙවුණු මාස 36 තුළ වෙළඳාම් කර අත්දැකීමක් තිබීම මූලික නිර්නායකයක්. නමුත් එම සමාගම එම ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු බිඳක්වත් ගෙවුණු මාස 36 තුළ විකුණා නෑ. ඒ නිසා තරන්ජොට් සමාගමේ ලියාපදිංචිය අනීතිකයි. ඒ නිසාම එම සමාගමට දුන් හදිසි ටෙන්ඩරයත් නීතිවිරෝධීයි. මෙම අනීතික ගනුදෙනුව පසුපස තරන්ජොට් සමාගමේ දේශීය නියෝජිතයා වන හේලීස් සමාගම සහ එහි හිමිකරු වන ධම්මික පෙරේරා සිටිනවාද යන ප්‍රශ්නය තිබෙනවා. මෙම ගල් අඟුරු ටෙන්ඩර් දෙකම නෛතික වශයෙන් අවලංගු බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා, මෙහි පාඩුව විදුලි ගාස්තුවට එකතු කිරීමට එරෙහි නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරි කාලයේදී අධිකරණය හමුවට යනවා”

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...