Breaking News

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා පලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක් වචන අවභාවිතා කරමින් සකස් කර ඇති බව මේ වන විට ක්‍රියාවෙන් ඔප්පු කර ඇති ‘මිහිකත’ පරිසර ප්‍රතිපත්තිය පෙරට දමා බලයට පැමිණි ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නැති කම විසින් ශ්‍රී ලංකාවේ පාරිසරික සම්පත් අභියෝග රැසකට ඇද දමා ඇති වටපිටාවක අප අද දවසේ ‘ලෝක වනජීවී දිනය’ සමරන්නෙමු.

පරිසර පනතට පයින් ගැසීම
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මස 01 වන දින මුල්ගල තබා ආරම්භ කළ යාපනයේ මණ්ඩතිව් දූපතේ සුවිශේෂී තෙත් බිම් පද්ධතියක් විනාශ කරමින් ඉදිකිරීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය හා ක්‍රීඩා නගර ව්‍යාපෘතිය ආණ්ඩුව සංරක්ෂණ නීති තඹ සතයකට මායිම් නොකරන බවට ආසන්නතම උදාහරණයකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කිසිඳු පාරිසරික අනුමැතියකින් තොර ව අක්කර 138 ක තෙත් බිම් පද්ධතියක් ගොඩ කරමින් නීති විරෝධී ව ඉදිකිරීම් ආරම්භ කල මෙම ව්‍යාපෘතිය මධ්‍යම පරිසර අධිකාරිය මගින් මීට දින කිහිපයකට පෙර තාවකාලිකව නවතා දැමීමට කටයුතු කල බව සැබෑය. නමුත් එමගින් ආණ්ඩුවේ සංරක්ෂණකාමීත්වය කිසිඳු ආකාරයකින් නිරූපණය නොවන අතර ආණ්ඩුව මේ වනවිට සිදුකරමින් සිටිනේ ජාතික පාරිසරික පනතට කොකා පෙන්වීම බව අප අවධාරණය කරමු.
මෙම දැවැන්ත ක්‍රීඩා නගරය ඉදි කිරීමට සැලැසුම් කර ඇත්තේ නේවාසික හා සංක්‍රමණික තෙත් බිම් ආශ්‍රිත පක්ෂි විශේෂවල විශාල ගහනයන් ගොදුරු බිම් ලෙස භාවිත කරන කඩොලාන, ලවණ වගුරු බිම් හා කිවුල්දිය වගුරුබිම් වලින් සමන්විත තෙත් බිම් පද්ධතියක බව සැඟවිය නොහැකිය. යෝජිත ඉදිකිරීම් මගින් එම තෙත් බිම් පද්ධතිය සම්පූර්ණයෙන් ම වැනසී යනවා පමණක් නොව ඒ මත යැපෙන යාපනය කලපුවේ සුළු පන්න ධීවර කර්මාන්තය ද සම්පූර්ණයෙන් ම බිඳ වැටෙනු ඇති බවට දැනටමත් පරිසරවේදීන් අනතුරු අඟවා ඇත. එපමණක් නොව මෙම ක්‍රීඩා පිටි නඩත්තු කිරීම සඳහා අධික ජල ප්‍රමාණයක් වැය කිරීමට සිදු වේ. වර්තමානයේ ද යාපනයේ ජනතාව ජල අර්බුදයන්ට මුහුණ දී ඇති පසුබිමක ක්‍රිකට් හා ගොල්ෆ් ක්‍රීඩා පිටි සඳහා වැඩි ජල ප්‍රමාණයක් ලබා ගැනීමට සිදු වීම හේතුවෙන් යාපනයේ ජනතාව ගේ ජල අර්බුද උග්‍රවී එම ජනතාව කබලෙන් ලිපට විසිවීම නොවැළක්විය හැකිය.

මෙවැනි තත්වයක් තුල මෙම ව්‍යාපෘතියේ කටයුතු තාවකාලිකව නවතා දමා පාරිසරික බලපෑම් ඇගයීම් සිදුකරන බව පැවසීම වැනි ප්‍රෝඩාවන් මගින් මධ්‍යම පරිසර අධිකාරියම සිදුකරමින් සිටින්නේ නීතියේ ඇසට වැලි ගැසීම බව අප අවධාරණය කරමු. ජාතික පාරිසරික පනතේ නීතිමය ප්‍රතිපාදන මත සිදුකරන පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියේ මූලධර්ම වලට පවා පටහැනි ආකාරයෙන් ඊනියා පරිසර බලපෑම් ඇගයීම් සිදුකරමින් ආණ්ඩුව මේ රවටමින් සිටින්නේ කාවද යන පැනය අප විමසා සිටිමු.

මේ ආකාරයෙන් මෙරට සවිඥානික ජනයා ගොනාට අන්දමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිවරයා ගේ බලපෑම මත බව පෙනෙන්නට ඇති අතර එය රටේ ඉදිරි සංවර්ධන කටයුතුවල දී ද සිදු විය හැකි බරපතල වැරදි පූර්වාදර්ශ ලබා දීමකි. ඒ සඳහා විධායකයේ සහය ලැබීම පිළිබඳ ව අප උදක්ම කණගාටු වන්නේ නීතියේ ආධිපත්‍යය සුරකින රටක් නිර්මාණය කරන බවට ජනතාවට සහතික වූ අනුර කුමාර දිසානායක ජනපතිවරයා ගේ නියෝග මත මෙය සිදු වන නිසාය. එමගින් රටේ ස්වභාවික සම්පත්වල අනාගත ඉරණම පිළිබඳව අපට සංඥාවක් ලැබෙන නිසාය.

වනජීවීන් සහ සංරක්ෂණ වෘත්තිකයින් වහ කදුරු වීම

ආණ්ඩුව මෙරට වනජීවීන් සහ සංරක්ෂණ වෘත්තිකයින් කෙරෙහි ද්වේශය මුදා හැරීම ආරම්භ කළේ බලයට පැමිණි මුල් අවධියේ සිටමය. 2024 දෙසැම්බර් 5 වන දින අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ගොවීන්ට තම ඉඩම් වලදී බෝග වලට හානි කරන වන සතුන්ට එරෙහිව ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට නිදහස ඇති බවය. එවැනි වාචාල කතා රජයේ සංරක්ෂණ න්‍යාය පත්‍රය පිළිබඳව මුල සිටම සැකයක් මතුකළා පමණක් නොව, නීති විරෝධී ක්‍රියාමාර්ග නීත්‍යානුකූල කරමින් වනජීවීන් කෙරෙහි ද්වේශය උද්දීපනය කළේය.

2025 අගෝස්තු 4 වන දින, ධීවර, ජලජ හා සමුද්‍ර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ප්‍රසිද්ධියේ තර්ජනය කළේ මිරිදිය ධීවර කටයුතුවලට බාධා කරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ‘නරක ළමුන්’ ට දඬුවම් කළ යුතු බවයි. එවැනි දඬුවමක් ‘ගස් බැඳ පහරදීමක’ ස්වරූපයක් ගත හැකි බවට යෝජනා කරන තරමට එය දුරදිග ගියේය. එවැනි ප්‍රකාශ නීත්‍යානුකූලව නියම කර ඇති ආයතනයක අධිකාරිය අඩපණ කරන අතර සංරක්ෂණ නිලධාරීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය භයානක ලෙස දිරිමත් කරයි.

හක්වටුණාව වැව් රක්ෂිතයේ ඉඩම් අනවසරයෙන් අත්පත්කරගෙන සිටි පුද්ගලයින් නෙරපා කහල්ල-පල්ලෙකැලේ අභයභූමියට අයත්වතිබූ එම භූමිය අලි ඇතුන් වෙනුවෙන් නිදහස්කර දීමට කැපවූ එවකට හේරත්ගම වනසත්ව අඩවි ආරක්ෂක නීතිඥ කොඩිසිංහ ආරච්චිගේ චතුර චාමින්ද ගුණරත්න මහතාට අත්වූ ඉරණම ද අපට මෙහිදී නිතැතින්ම සිහියට නැගේ. 2025 සැප්තැම්බර් නමවැනිදා ඔහු අනීතිකව ස්ථානමාරු කිරීමේ ලිපිය නිකුත් වන්නේ ඔහු විසින් නඩු පැවරූ කහල්ල-පල්ලෙකැලේ අභයභූමියේ අනවසර පදිංචිකරුවන් අතර ආණ්ඩුවේ හෙන්චයියෙකුද සිටීම නිසා බව මේ වන විට රහසක් නොවේ.

අලි-මිනිස් ගින්නට පිදුරු

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්ෂේත්‍රයේ විද්වතුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ගැටුම් උග්‍ර ලෙස ව්‍යාප්තවී ඇති ප්‍රදේශ වල දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සමන්විත ජනාධිපති කමිටුවක් මගින් සකස් කෙරුණේ 2020 වසරේදීය. එම සැලැස්මෙන් නිර්දේශ වන්නේ අලි-මිනිස් ගැටුම් උත්සන්න කරවන අසාර්ථක අලි පලවාහැරීම් සහ අලි පරිස්ථාපනය වැනි ක්‍රමවේද වෙනුවට සෘජුවම මිනිසුන්ගේ ආරක්ෂාව සපයන ප්‍රජා මූලික ග්‍රාමීය විදුලි වැට සහ ගොවි බිම් ආරක්ෂා කරන කෘෂි විදුලි වැට වැනි සාර්ථක ක්‍රමවේදයන් මූලික සාධනීය, සමෝදානිත හා සාකල්‍ය විද්‍යාත්මක ප්‍රවේශයකි.

නමුත් වත්මන් රජයේ ධුර කාලය ආරම්භවීමත් සමග ඊට පයින් ගසමින්, අලි ඇතුන් තෝරා ගත් රක්ෂිත ප්‍රදේශවලට සීමා කිරීමේ අසාර්ථක, අවිද්‍යාත්මක හා යල්පැන ගිය අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ ප්‍රවේශය තෝරා ගැනුනි. ඉන් පසු ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කෙරෙන මෙම ගැටලුව විසඳීම සඳහා ගැටුම් බලපවත්නා දිස්ත්‍රික්කවල වගකිව යුතු නිලධාරීන්ගෙන් සමන්විත කමිටු පත්කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. මීට අදාළ වැඩිදුර උපදෙස් ඇතුලත් අංක PS/DASA/Circular/5/2025 දරන චක්‍රලේඛය ද ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් 2025 ජූලි හත්වැනි දින නිකුත් විය.

එමගින් දන්වා තිබුණේ අදාළ දිස්ත්‍රික් කමිටු පිහිටුවා ගැටුම් අවම කිරීමට අවශ්‍ය දිස්ත්‍රික් ක්‍රියාකාරී සැලසුම් (Action Plan) සහ ක්‍රියාත්මක කිරීමේ සැලසුම් (Implimentation Plan) ජනාධිපති ලේකම් කාර්යාලය වෙත එවන ලෙසය. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රවේශය බැලූ බැල්මට සාධනීය බව කෙනෙකුට සිතෙන්නට පිළිවන. නමුත් ඩ්‍රෝන යානා මගින් වනාන්තර වල බඩඉරිඟු හා වී ඉසීම, වන හා වනජීවී රක්ෂිත තුල අඹ-කෙසෙල්-කොස්-මඤ්ඤොක්කා-උක් වැවීම, හා අලි ඇතුන් අපනයනය වැනි ක්‍රියාමාර්ග ඇතුලත් ඉතා ‘සබුද්ධික’ දිස්ත්‍රික් ක්‍රියාකාරී සැලසුම් මේ වන විට ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බව දැනගන්න ලැබේ.

වනජීවී දෙපාර්තමේන්තුවේ පදනම බිඳ දැමීම

ලොව ජෛවවිවිධත්ව උණුසුම් කේන්ද්‍ර වලින් එකක් වන ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට පහළොවකට වඩා වනජීවී රක්ෂිත වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. එම භූමි තුළ මෙන්ම ඉන් පරිබාහිරව සමස්ථ දිවයිනම සහ ඒ අවට සමුද්‍ර කලාපයද ඇතුලත් වපසරිය තුළ වනජීවීන් හා ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන ආරක්ෂා කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ වගකීම පැවරී ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ය. ඒ සඳහා නෛතික ප්‍රතිපාදන හිමිව ඇත්තේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත සහ ඒ යටතේ සකස් කෙරුණු රෙගුලාසි යටතේය. නමුත් එම පනත බලාත්මක කළ හැකි නිලධාරීන් දැනට සේවයේ නියුතුව සිටින්නේ ඉතා සීමිත පිරිසක් පමණි. බොහෝ කලකින් යාවත්කාලීන කර නැති එනයින්ම කොහෙත්ම ප්‍රමාණවත් නැති අනුමත සේවක සංඛ්‍යාවෙන් සියයට හතළිහකට වඩා පුරප්පාඩුවී ඇති බව රහසක් නොවේ. වර්තමාන රජය බලයට පැමිණීමෙන් පසු එම පුරප්පාඩු පිරවීමට ක්‍රියාමාර්ග ගැනුනු බව සැබෑය. නමුත් ඒ මෙම අවධානම් වෘත්තියට උර දීමට තිබූ ආකර්ෂණය සිතා මතා හෝ එසේ නොමැතිව හීන කර බව අප අවධාරණය කරමු.

පුරප්පාඩු පුරවා මෙරට වනජීවී ආරක්ෂණය ශක්තිමත් කිරීම වෙනුවට වත්මන් ආණ්ඩුව සිදු කළේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විදුලි වැට කම්කරුවන්ගෙන් පිරවීමය. වනජීවී අපරාධකරුවන්ගේ සාක්කුවට නොවැටී සහ කොන්ත්‍රාත්කරුවෙකු නොවී මෙතෙක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවංකව රාජකාරි ඉටුකළ නිලධාරීන්ට දෙපාර්තමේන්තුව ආකර්ශණීය තැනක් වීමට තිබූ එක් හේතුවක් වන්නේ වාර්ෂික දිරි දීමනාවයි (අවංක නිලධාරීන් තම දිවි දෙවැනි කොට වනජීවීන් රකින්නට කැපවුණේ දිරි දීමනාව ලබාගැනීම සඳහා බව මෙයින් කිසි විටෙකෙත් අදහස් නොවේ). නමුත් මෙසේ එකවර දෙපාර්තමේන්තුවේ ස්ථීර කාර්යමණ්ඩලය කිහිප ගුණයකින් ඉහළ යාමෙන් එක් නිලධාරියෙකුට වසරකට වරක් ලැබෙන එම දීමනාව සොච්චමක් බවට පත්වේ. එමගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පනත බලාත්මක කිරීම සඳහා ඉදිරියේදී නිලධාරීන් අලුතෙන් බඳවාගැනීමේදී මෙන්ම වර්තමාන නිලධාරීන් ප්‍රමාණය දෙපාර්තමේන්තුව තුළ රඳවා ගැනීමේදී බරපතල ගැටළු ඇති විය හැකි බව අප අවධාරණය කළේ මීට කලකට පෙරය. පසුගිය දිනවල අයදුම්පත් කැඳවූ තනතුරු වලට ලැබුණු අඩු ප්‍රතිචාරය මගින් අපගේ අනාවැකිය මේ වන විට සැබෑවී ඇති බව අප සිතමු.

එසේම ප්‍රායෝගික නොවන ශ්‍රේණි ක්‍රමයක් යොදා ගනිමින් නිලධාරීන් වසර ගණනාවක් තිස්සේ එක් තනතුරක පල් කරවමින් දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර සහායකයාගේ සිට ඉහළට ඇති සේවක ධුරාවලියේ ඉහළට නැගීමට ඔවුන්ට ඇති අවස්ථා හීන කිරීමටද වනජීවී සංරක්ෂණයේ ඉහළ පුටු කලක සිට ඉතා සූක්ෂම ලෙස කටයුතු කර තිබේ. එබැවින් මෙම විශාල කම්කරුවන් පිරිසක් එකවර බඳවාගැනීම, නිසි වැටුප් තල වල නොපිහිටුවීම, දීමනා ගැටළු වැනි ප්‍රශ්න රැසක් හමුවේ තවමත් වනජීවී සංරක්ෂණය වෙනුවෙන් කැපවන නිලධාරීන් අතලොස්සද තවදුරටත් අධෛර්යමත් කිරීමට එකී ලොක්කන් ඇටවූ උගුලක්ද යන්නද විමසිය යුතුය.

ලුණුගම්වෙහෙරේ සැමරුම් දින සංදර්ශන

ඉහත සඳහන් කලේ මෑත කාලීනව කරළියට පැමිණි පරිසර ගැටලුවලින් කීපයක් පමණි. නමුත් ඒ කිසිවකින් ආණ්ඩුවේ ඊනියා සංරක්ෂණ සංදර්ශනවලට අබ මල් රේණුවක තරම් හෝ බලපෑමක් සිදුවී නැති බව අප දනිමු. එනයින්ම මෙවර ලෝක වනජීවී දිනය සැමරීමේ ජාතික උත්සවයද ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේදී මහා ඉහළින් සැමරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.

නමුත් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේදීම වනජීවී අපරාධ මඩින්නට ගොස්, තම දිවි නොතකා දඩයක්කරුවන් සමග සටන් වැදි එච්. කේ. සම්පත්, පී. චමින්ද ලක්මාල් සහ එච්. ජී. කේ. රසාංග ගුණසේන යන නිලධාරීන් තිදෙනා එහිදී සිහිපත්වනු ඇත්දැයි කීමට අප නොදනිමු. සිව් මසකට වැඩි කාලයක් (වනජීවී රාජකාරි වෙනුවෙන් වැඩිම කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදුවූ නිලධාරීන් පිරිස මොවුන් බව සැළකේ) රක්ෂිත බන්ධනාගාරගතව සිට මේ වන විටද ඇප මත උසාවි පොලීසි ගානේ රස්තියාදු වීමට සිදුවී ඇති එම නිලධාරීන්ට සාධාරණයක් ඉටු කිරීමට බලධාරීන් අද දවසේ හෝ අදිටන් කරගන්නවා නම් මැනවි.

අපගේ සංරක්ෂණ උරුමය ගොඩනැගී ඇත්තේ රාජකාරියේ යෙදී සිටියදී තම ජීවිත පරිත්‍යාග කළ වනජීවී නිලධාරීන් ඇතුළු අසංඛ්‍යාත පුද්ගලයින්ගේ කැපවීම සහ පරිත්‍යාග හරහා වන අතර, නොසැලකිලිමත් වාචාල කතා හෝ අදූරදර්ශී ප්‍රතිපත්ති මගින් එය ඛාදනය නොවිය යුතු බව අප අවධාරණය කරමු. අවශ්‍ය වන්නේ සංරක්ෂණ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන, එය ක්‍රියාත්මක කරන වෘත්තිකයින් ආරක්ෂා කරන සහ අපගේ පාරිසරික ආයතන දුර්වල නොකරන – ශක්තිමත් කරන නායකත්වයකි. ආණ්ඩුව වනජීවී සංරක්ෂණය සහ සංරක්ෂණ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා ඇති කැපවීම නැවත තහවුරු කළ යුතුය. වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු අතර, වනජීවී නිලධාරීන්ගේ අධිකාරිය නැවත තහවුරු කරමින් හා සංරක්ෂණයට අහිතකර ක්‍රියාමාර්ග අධෛර්යමත් කරමින් පැහැදිලි පණිවිඩයක් ජනතාවට ලබාදිය යුතුය. ඒ සමඟම, ඉඩම් සහ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය විද්‍යාව මත පදනම් විය යුතු අතර, පාරිසරික සංවේදී ප්‍රදේශ තවදුරටත් ආක්‍රමණය කිරීම වෙනුවට තිරසාරත්වය තීව්‍ර කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. අප ඉදිරියේ ඇති තේරීම පැහැදිලිය: අපගේ ඉදිරිපෙළ ආරක්ෂකයින් සහ ස්වාභාවික උරුමයන් ආරක්ෂා කිරීම, නැතහොත් අවනීතිය, පාරිසරික බිඳවැටීම සහ වනජීවීන් අහිමි වූ අනාගතයකට මග පෑදීම ය.

සුපුන් ළහිරු ප්‍රකාශ්

leave a reply