නලින්ද යන්නෙත් කෙහෙළියගේ පාරෙමයි – චමල් සංජීවගෙන් පැමිණිල්ලක්

‘ඔන්ඩන්සෙට්‍රෝන්’ (Ondansetron) ඇතුළු ඖෂධ 10ක් භාවිතයෙන් ඉවත් කිරීම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අද (27) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඔහු , වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ක්‍රියාකලාපය අතර සමානකම් පවතින බව සඳහන් කර තිබේ.

2023 ජුනි 27 වනදා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රධාන නාලිකාවකට පැමිණ සිදුකළ ප්‍රකාශයක් සහිත වීඩියෝවක් පෙන්වමින් චමල් සංජීව කියා සිටියේ,

“එදා කෙහෙළිය මහතා කිව්වේ බාල ඖෂධ ප්‍රසම්පාදනය කළේ තමන් නෙවෙයි, ඒවා නිලධාරීන්ගේ සහ ඖෂධ නියාමන අධිකාරියේ තීරණ බවයි. පුදුමය වෙන්නේ අද වර්තමාන සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහත්තයත් රජයේ මාධ්‍ය සාකච්ඡාවලදී කියන්නේ ඒ සර්වසම කතාවමයි. වැරදි වහන්න එදත් පත් කළේ ‘දේදුණු කමිටු‘, අදත් පත් කරන්නේ ඒ දේදුණු කමිටුමයි.”

ඉන්දියාවේ ‘මාන් ෆාමසූටිකල්’ ආයතනයෙන් රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා සෘජුව ආනයනය කළ ඖෂධ සම්බන්ධයෙන්ද අල්ලස් කොමිසමට කරුණු ඉදිරිපත් කළ බව චමල් සංජීව සඳහන් කළා.

ඔහු පවසන්නේ, ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමට ගෙවන ලද මුදල් සහ අදාළ ලේඛන අල්ලස් කොමිසමට ලබා දුන් බවත් භාවිතයෙන් ඉවත් කළ ඖෂධ නිසා රටට අහිමි වූ ඩොලර් මිලියන ගණනක මුදලට රාජ්‍ය ඖෂධ සංස්ථාව වගකිව යුතු බවයි.

එමෙන්ම ඩොලර් සත 20කට ගත හැකි ‘ජෙෆරොක්සීන්’ ඖෂධය ඩොලර් සත 70කට මිලදී ගැනීම හරහා සිදු කළ වංචාව ගැන නැවත විමර්ශනයක් සිදු කරන ලෙස චමල් සංජීවම ඉල්ලා සිටියි.

එමෙන්ම රිච්වේ ආර්ය ළමා රෝහල ඇතුළු රෝහල් ගණනාවක නිර්වින්දන සහ ළමා ඖෂධවල පවතින බරපතළ හිඟය සහ කොළඹ ජාතික රෝහලේ රුපියල් මිලියන 2500ක ප්‍රතික්‍රීයක වංචාව සහ උපකරණ මිලදී ගැනීමේ වංචා යටපත් කිරීම යනාදී පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා පැවති මාධ්‍ය හමුවේ පැවසීමට අමතක කළ බව වෛද්‍ය චමල් සංජීව චෝදනා කරයි.

තවද බැක්ටීරියා විස සහිත බවට හඳුනාගත් ඖෂධ සාම්පල ජාත්‍යන්තර රසායනාගාරයකට යැවීමට පියවර ගෙන තිබේද යනුවෙන් චමල් සංජීව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගෙන් විමසා තිබේ.

මේ අතර ප්‍රමිතියෙන් තොර ඖෂධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කර ඇති කමිටු පිළිබඳව තමන්ට කිසිදු විශ්වාසයක් නොමැති බව වෛද්‍ය චමල් සංජීව පවසයි.

පසුගිය පාලන සමයේ බාල ඖෂධ හේතුවෙන් රෝගීන් මියගිය අවස්ථාවේදී, වර්තමාන වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස්ගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කමිටුවක් පත් කළ බව වෛද්‍ය චමල් සංජීව සිහිපත් කර ඇත.

“එදා පත් කරපු ඒ දේදුණු කමිටුවේ වාර්තාව අද වනතුරුත් ප්‍රකාශයට පත් කළේ නැහැ. අමාත්‍යාංශය කවදාවත් පිළිගත්තේ නැහැ ඖෂධවල ප්‍රශ්න නිසා මිනිස්සු මැරුණා කියලා. දැන් වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාත් මේ ඖෂධ ගැන හොයන්න පත් කරලා තියෙන්නේ ඒ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක්. කලින් වාර්තා යටගැසූ පිරිසක්ම යළිත් මෙවැනි විමර්ශනවලට පත් කිරීම ගැන අපට කිසිදු විශ්වාසයක් නැහැ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවා.

Share post:

Popular

More like this
Related

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...

22ට එරෙහි පෙත්සම් විභාග කරන්න විනිසුරු මඩුල්ලක්

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම අරමුණු කරගත්...

උද්ධමනය ඉහළට

2026 වසරේ අගෝස්තු මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට...

නේපාලයේ දී අතුරුදහන් වූවන්ගේ ප්‍රමාණය ඉහළට 

අගෝස්තු 26 වන දින ටිබෙටයට මායිම්ව පිහිටි රසුවා දිස්ත්‍රික්කයට ...