Breaking News

බංග්ලාදේශය නැවතත් ප්‍රජාතන්ත්‍රවිරෝධී මාවතට වැටීමේ අවදානමක්

බංග්ලාදේශ දේශපාලනය නැවතත් කැළඹිලි සහිත වකවානුවකට මුහුණ දෙමින් තිබේ.

බංගලාදේශයේ හිටපු අගමැතිනියක් වූ කලිඩා සියාගේ පුත්‍රයා වන තාරික් රහ්මාන් එළඹෙන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඊයේ(25) බංග්ලාදේශයට පැමිණ තිබේ.

ලක්ෂ සංඛ්‍යාත බංග්ලාදේශ ජාතික පක්ෂ සාමාජිකයන්ගේ උණුසුම් පිළිගැනීමත් සමඟ වසර 17ක පිටුවහල් වීමකින් අනතුරුව පැමිණි 60 හැවිරිදි තාරික් රහ්මාන් යනු බංග්ලාදේශයේ හිටපු ජනාධිපති සියාඋර් රහ්මාන් සහ 1991 දී රටේ පළමු කාන්තා අගමැතිනිය වූ කලීඩා සියාගේ වැඩිමහල් පුත්‍රයා වන අතර හෙතෙම බංග්ලාදේශ ජාතික පක්ෂයේ( BNP) වත්මන් සභාපති වේ.

තාරික් රහ්මාන් 2001 සිට 2006 දක්වා ඔහුගේ මවගේ දෙවන ධුර කාලය තුළ ප්‍රධාන ප්‍රසිද්ධ චරිතයක් වූ අතර ඔහුට ගජ මිතුරන්, දූෂණය සහ දේශපාලන ප්‍රචණ්ඩත්වය පිළිබඳ චෝදනා ද එල්ල විය. ඒ අනුව, 2006 සහ 2009 මුල් භාගය අතර බලය දැරූ හමුදා සහාය ලත් භාරකාර රජයක් 2007-08 හදිසි නීතිය යටතේ මාස 18 කට ආසන්න කාලයක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් පසු රහ්මාන් ඇප මත නිදහස් වීමෙන් පසු 2008 සැප්තැම්බර් මාසයේදී එක්සත් රාජධානියට ගොස් තිබුණි.

තාරික් රහ්මාන් නව ජනාධිපති අපේක්ෂකයකු වශයෙන් පැමිණීමත් සමඟ විචාරකයන් සඳහන් කරන්නේ, 2024 අගෝස්තු මාසයේ දේශපාලන විරුද්ධවාදීන් සහ විවේචකයින් දහස් ගණනක් අත්අඩංගුවට ගැනීම, මරා දැමීම, වධහිංසා පැමිණවීම හෝ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම ආදිය හේතුවෙන් හා රජයේ රැකියා ක්‍රමයට විරුද්ධව එරට විශ්ව විද්‍යාල සිසුන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ 15 වසරක පාලනය නිමා කිරීම සමඟ මීළඟ අගමැතිවීමේ වැඩි ඉඩ ඇත්තේ තාරික් රහ්මාන්ට බවයි.

1991 සිට, බංග්ලාදේශයේ බලය කෙටි කාලීන භාරකාර පරිපාලන හැරුණු විට බොහෝ දුරට සියා සහ හසීනා පවුල් අතර හුවමාරු වී තිබේ . හසීනාගේ අවාමි ලීගය පෙබරවාරි 12 වන දින පැවැත්වෙන මැතිවරණයට තරඟ කිරීම තහනම් කර ඇති බැවින්, බෙන්ගාලි ජාතික පක්ෂය දැන් තරඟයේ ආධිපත්‍යය දරමින් සිටියි.

දැනට නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජයක් විසින් බංගලාදේශය පාලනය කරනු ලබයි. වසර ගණනාවක දේශපාලන කැලඹීම්වලින් පසු බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව පිළිබඳ තීරණාත්මක පරීක්ෂණයක් ලෙස මැතිවරණය සැලකේ.

කෙසේවෙතත් විශ්වසනීය ඡන්දයක් සහතික කිරීමට රාජ්‍යයට ඇති හැකියාව පිළිබඳව දැනට ප්‍රශ්න මතුවෙමින් තිබේ. බංගලාදේශය තුළ වරින් වර සිදුවන ප්‍රචණ්ඩත්වය සහ මාධ්‍ය ආයතනවලට එල්ල වූ මෑත කාලීන ප්‍රහාර ඊට හේතු වේ.

හසීනා බලයෙන් පහ කළ තරුණ විරෝධතා ව්‍යාපාරයෙන් මතු වූ ජාතික පුරවැසි පක්ෂය (NCP) රහ්මාන්ගේ නැවත පැමිණීම පිළිගෙන ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවෙතත් පෙනෙන්නට තිබෙන්නේ බංගලාදේශ තරුණ අරගලයෙන් පසු රට තුල මතුවූ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් අමතක කර දමන පාලනයක් වෙත බංගලාදේශය ගමන් කරනු ඇති බවයි.

leave a reply