Breaking News

බාල ඖෂධ – ලංකාවේ ප්‍රමිතිය පරික්ෂා කිරීමේ ක්‍රියාවලියේ ඇති ගැටලුවක්ද?

ප්‍රමිතියෙන් තොර ඖෂධ සම්බන්ධයෙන් සමාජ විරෝධයක් ඇතිවීමත් සමඟ ඖෂධ වල තත්ත්ව පරීක්ෂණ කටයුතු නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය පුළුල් කළ යුතු බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයට මතක් වී තිබේ.

ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවත්වී තිබේ.

මෙම සාකච්ඡාවේ දී ඖෂධ වල ප්‍රමිතිය පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය පුළුල් කිරීමේ දී ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු ඉතා ක්‍රමවත්ව හා විධිමත් වැඩපිළිවෙලක් යටතේ සිදු කිරීම පිළිබඳව මූලික අවධානය යොමු කෙරිණි.

ඒ අනුව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (Sri Lanka Institute of Nanotechnology -SLINTEC), ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය (Sri Lanka Institute of Biotechnology – SLIBTEC), කාර්මික තාක්ෂණ ආයතනය (Industrial Technology Institute – ITI), ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (Sri Lanka Standards Institution – SLSI) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA), ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) යන ආයතන නියෝජනය කරමින් නිලධාරීහු සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.
මෙහි දී ඉහත ආයතන පරීක්ෂණ රසායනාගාර මගින් ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු සිදු කිරීම මෙන්ම ඉහත ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම, එම ක්‍රියාවලි තුළ ප්‍රවර්ධනය කළ යුතු පරිමාවන් ඉහළ නැංවීම මෙන්ම ලබාදෙන ඖෂධ තත්ත්ව පරික්ෂණ වාර්තා පිළීබඳ ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැනනගින ගැටළු සහ අධීක්ෂණය කළ යුතු කරුණු ආදිය පිළිබඳව සාකච්ඡාවට බඳුන් විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තත්ව පරීක්ෂණ විද්‍යාගාරය තුළින් සිදු කර ගැනීමේ දී යම් සීමාවන් පවතින බව නිරීක්ෂණය වන බැවින් ඉදිරියේ දී එම කටයුතු තවදුරටත් විධිමත් හා පුළුල් වැඩසටහනක් ලෙස ඉහළ නැංවීම සඳහා ද වැඩපිළිවෙළක් අවශ්‍ය වන බවයි.

ඒ සඳහා යම් කාලයක් ද ගත වන බැවින් රජය යටතේ පවතින ආයතන හරහා එම කටයුතු යම් ආකාරයකින් සිදු කර ගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බව ද සඳහන් වී තිබේ.

කෙසේවෙතත් ප්‍රමිතියෙන් තොර ඖෂධවල ප්‍රශ්නය රටේ ඖෂධ නියමනයේ ප්‍රශ්නයක් ලෙස ලඝු කිරීමකට මේ හරහා උත්සාහ ගන්නා බව පෙනේ. බාල ඖෂධ රට තුළට පැමිණෙන්නේ කෙසේද මෙන්ම කුමන රටවල් හරහාද ඒවා නිසි පරික්ෂාවකට ලක් නොකරන්නේ ඇයිද යන්න ගැනත් පසු විමපරමක් අවශ්‍ය වේ. එහිදී විශේෂයෙන් ආණ්ඩුව මෑතකදී අත්සන් කළ ඉන්දියානු ඖෂධ ගිවිසුම සම්බන්ධ හෙළිදරව් කිරීම වැදගත් වේ.

leave a reply