ජනතා විමුක්ති පෙරමුණ 2004 වසරේදී මහින්ද රාජපක්ෂ සමග ගිවිසුම්ගත වුණේ රනිල් වික්‍රමසිංහ රට පාවාදීමට සහ රට විකිණීමට ගෙනගිය වැඩපිළිවෙල පරාජය කර රට බේරාගැනීම සඳහා බවත් මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කිරීමට දේශපාලන නායකත්වය දෙමින් ඒ කාර්යය ඉටු කළ බවත් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
“මහින්ද රාජපක්ෂ එක්ක අපි සන්ධාන ගහපු එක ගැන මේ දෙන්නාම කිව්වා. ඇයි මහින්ද එක්ක අපි සන්ධාන ගැහුවෙ ? මහින්ද එක්ක අපි සන්ධාන ගැහුවෙ මේගොල්ලන්ගෙ එදා නායකයා, රනිල් වික්‍රමසිංහ – අපි එදා කිව්වා දොන් ජුවන් වික්‍රමසිංහ කියලා – එල්ටීටීඊ සංවිධානයත් එක්ක ගිවිසුමක් ගහලා මේ රටේ භූමියෙන් තුනෙන් එකක්, මුහුදෙන් තුනෙන් දෙකක් එල්ටීටීඊ එකට පාවලා දෙන්න හදනකොට, රට පාවලා දෙන්න හදනකොට, අනිත් පැත්තෙන් රිගේනින් ශ්‍රී ලංකා ගෙනල්ලා රට විකුණන්න හදනකොට ඔන්න ඔය රට පාවාදීමට සහ රට විකිණීමට එරෙහිව තමයි අපි එදා මහින්දත් එක්ක ගිවිසුම් ගැහුවෙ”
ප්‍රශ්නය – එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා රට බේරාගැනීම සඳහා කටයුතු කළා ?
“ඔව්, හරි. අපි ඒක අදත් බැහැර කරන්නෙ නැහැනෙ. මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කරන්න ඒ දේශපාලන නායකත්වය දුන්නා. අපි ඒක කොහෙවත් නැහැයි කියලා නෑ. අපි එහෙම කුහක නෑ. ඒ වෙනුවෙන් තමයි අපි එදා මහින්දට සපෝට් කළේ. එදා ඔය 2005 නෙ ජනාධිපතිවරණය ආවෙ. ඒ වෙනකොට ඔය සුනාමි අරමුදල ගැන එහෙම ප්‍රශ්න ඇවිල්ලා තිබුණෙ නෑ”
ප්‍රශ්නය – එතකොට කොයි අවුරුද්දෙද සුනාමි අරමුදලෙ ප්‍රශ්නය ආවෙ ?
“සුනාමි ආවෙ 2004 දෙසැම්බර් අග. 2005 තමයි ජනාධිපතිවරණය තිබ්බෙ. ඒ වෙනකොට ඔය සුනාමි අරමුදලෙන් මහින්ද හොරකම් කළා කියලා කොහෙවත් මතුවෙලා තිබ්බෙ නෑ”
අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකදී ය.
2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මොහොත වනවිට “හෙල්පින් හම්බන්තොට” සුනාමි සහන අරමුදල සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබිණි. එසේම යුද්ධය අවසන් කළ ආකාරය ගැන යුධ අපරාධ සිදුවීම ගැන යුද්ධයේ අවසන් අදියරේ සිදුවූ මිනිස් ජීවිත විනාශය ගැන කිසිදු කම්පනයක් හෝ පසුතැවීමක් ජනතා විමුක්ති පෙරමුණට නොමැති බවද මේ ප්‍රකාශ අනුව පැහැදිලිය.






