මෙවර (2025) නෝබල් සාහිත්‍යය සම්මානය හන්ගේරියානු ලේඛක ලස්ලෝ ක්‍රස්නහෝකයි ට!!
අද දින (ඔක්තෝබර 09) ස්විඩන ඇකඩමිය දැනුම් දුන් පරිදි, හංගේරියානු ලේඛක ලස්ලෝ ක්‍රස්නහෝකයි (László Krasznahorkai) 2025 වසර වෙනුවෙන් සාහිත්‍යය සඳහා වූ නෝබල් සම්මානය හිමි කරගෙන ඇත.
ස්විඩන ඇකඩමිය දක්වා සිටියේ වයස අවුරුදු හැත්තෑ එකක් වන හන්ගේරියානු ගත්කතුවරයාගේ “ බලගතු, සාංකල්පනික කෘති සමස්තය, අනාගත මහා විනාශයේ මහා භීතිය මැද, කලාවේ ශක්තිය නැවත සහතික කරන බවයි”
ක්‍රස්නහෝකයි, ඔහුගේ දිස්තෝපියානු කාංසාමය නවකතාවලට වැඩි ප්‍රසිද්ධියක් උසුලන අතර ඔහු 2019 වසරේ පරිවර්තිත සාහිත්‍යය වෙනුවෙන් ‘ජාතික ග්‍රන්ථ සම්මානය’ ද, 2015 වසරේ Man Booker International සම්මානය ද දිනාගෙන තිබුනේය. ඔහුගේ සමහර සාහිත්‍ය කෘති, උදාහරණ ලෙස Satantango සහ The Melancholy of Resistance වැනි නවකතා අනුසාරයෙන් චිත්‍රපට ද නිර්මාණය වී ඇත.
1954 වසරේ හංගේරියාවේ ඩියුලා ග්‍රාමයේ උපත ලද ක්‍රස්නහෝකයි, 1985 වසරේ දී ග්‍රාමීය ජනසමූහයකගේ බිඳ වැටීම පිළිබඳ දුක්මුසු එහෙත් මන බඳනා සුළු නිරූපණයක් සහිත ඔහුගේ පළමු නවකතාව, Satantango නමින් පළ කළේය.
විචාරකයන් විසින් පශ්චාද් නූතනවාදියෙකු ලෙස සලකනු ලබන ක්‍රස්නහෝකයි ඔහුගේ දීර්ඝ, නම්‍ය වාක්‍ය සඳහා ප්‍රසිද්ධියක් උසුලයි, එසේම ඔහුගේ කතා තේමාවන් බොහෝවිට කාංසාමය සහ නිර්දය තීව්‍රතාවක් සහිත වන අතර එම ලක්ෂණය විසින් ඔහුව ලේඛකයෙකු ලෙස ගොගොල්, මෙල්විල් සහ කෆ්කා සමඟ සන්සන්දනය කිරීමට ද විචාකරයන් පෙළඹී ඇත. Satantango නවකතාව, ක්‍රස්නහෝකයි සමඟ දීර්ඝ කාලයක් තිස්සේ නිර්මාණ සගයෙකු ලෙස වැඩ කරන සුප්‍රකට හන්ගේරියානු චිත්‍රපට අධ්‍යක්ෂ බේලා තාර් විසින් පැය හතක් පුරා දිවෙන චිත්‍රපටයක් නිර්මාණය කර ඇත.
“ක්‍රස්නහෝකයි, කෆ්කා සහ තෝමස් බර්න්හාට් හරහා දිගුවෙන මධ්‍යම යුරෝපා සාහිත්‍ය සම්ප්‍රදාය තුළ ශ්‍රේෂ්ඨ වීර කාව්‍යය රචයෙකු වන අතර ඔහුගේ නිර්මාණ තුළ දැකිය හැකි අභිතරූපීතාව සහ විකාරරූපිබව යනු ඔහුට අනන්‍ය වූ ලක්ෂණයන්ය.” නෝබල් කමිිටුවේ සභාපතිවර ඇන්ඩර්ස් ඔල්සන් පවසා සිටියේය.
ඔහුගේ නිර්මාණ, සංචාරී දිවිපැවැත්මෙන් සහ විවිධ භාෂාවන්ගෙන් සාරවත් වී ඇත. ඔහු පළමුව කොමියුනිස්ට් හංගේරියාවෙන්, 1987 වසරේ පිටමං වූ අතර එක් වසරක් බටහිර ජර්මනියේ ගත කොට ඉන්පසු පෙරදිග ආසියානු කලාපයේ එනම් මොංගෝලියාවේ සහ චීනයේ කාලය ගත කරමින් The Prisoner of Urga සහ Destruction and Sorrow Beneath the Heavens යන නිර්මාණ ලියා අවසන් කළේය. ඉන් අනතුරුව යුරෝපයේ බොහෝ රටවල සංචාරය කර පසුව ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ද කාලයක් නැවතී සිට ඇත.
මූලාශ්‍ර – guardian.com – සුභාෂිණී චතුරිකා