Breaking News

පුරවැසි ජනමත විචාරණය 

2025 ජූනි 8 සහ 9 වන දින පැවැත්වීමට නියමිත ජන මත විචාරණය තුළින් ඉතාලියේ ස්ථිරව පදිංචිව සිටින අය සඳහා පුරවැසිභාවය සඳහා ප‍්‍රවේශය සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි අවස්ථාවක් නිර්මාණය වී තිබේ .එම අවස්ථාව උදාවන්නේ ඉතාලි පුරවැසිභාවය තිබෙන ඡන්දදායකයන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම හරහයි . ඒ සඳහා ඔවුන් පෙළඹවීම මේ ක්‍රියාවලියේ ප්‍රමුඛ කාර්ය බවට පත් වී තියනවා .

ඉතාලි පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය නීත්‍යානුකූල පදිංචි කාලය අඩු කිරීමට යෝජනා කිරීම සඳහා විවිධ සිවිල් සහ සමාජ සංවිධාන විසින්, පුරවැසි ජනමත විචාරණය දිනා ගන්නට සමත් වූ අතර දැන් තිබෙන්නේ එයට පක්ෂව ඡුන්දය ලබා දී ජයග‍්‍රහණය කරවීමයි. මෙම ජනමත විචාරණයට ස්තූතිවන්ත වන්නට, ඉතාලි පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය ඉතාලියේ නීත්‍යානුකූල පදිංචිය කාලය වසර 10 සිට 5 දක්වා අඩු කරනු ලබන අතර, එය ලබා ගත් පසු, කෙනෙකුගේ බාල වයස්කාර පුතුන් සහ දියණියන් වෙත ස්වයංක‍්‍රීයව පුරවැසිභාවය හිමිවෙනවා .

මෙම සරල වෙනස් කිරීම විදේශීය සම්භවයක් ඇති බොහෝ පුරවැසියන්ගේ ජීවිත සඳහා තීරණාත්මක ජයග‍්‍රහණයක් අත්පත්කර දෙනු ඇත. (ඇස්තමේන්තු වලට අනුව එය පුද්ගලයින් 2,500,000 ක් පමණ වේ.) ඔවුන් මේ රටේ ඉපදී හැදී වැඩෙනවා පමණක් නොව වසර ගණනාවක් එහි ජීවත් වන, වැඩ කරන සහ එහි වර්ධනයට දායක වන්නනන් වේ.

විදේශයන්හි අධ්‍යාපනයට පහසුවෙන් සහභාගී වන්න, සීමාවකින් තොරව ක‍්‍රීඩා තරග සඳහා ඉතාලිය නියෝජනය කරන්න, ඡුන්දය ප‍්‍රකාශ කිරීමට හැකි වන්න, අනෙකුත් සියලූම ඉතාලි පුරවැසියන් මෙන් ප‍්‍රසිද්ධ තරග වලට සහභාගී වීමට හැකි වන්න. මේ තුලින් විශේෂයෙන්ම යෞවනයන්ට හා තරුණයින්ට අවස්ථාව සැලසෙනු ඇත. අද වන විට විශේෂයෙන්ම ඉතාලියේ ජීවත්වන, අධ්‍යාපනය ලබන, පාසල් හා විශ්ව විද්‍යාල දරුවන්ගේ මෙම අයිතිවාසිකම් පවතින තත්වය විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.

මෙම ජනමත විචාරණය තුලින් බලාපොරොත්තු වන්නේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ අවස්ථා ප‍්‍රවර්ධනය කිරීම මගින් මුළු රටටම ධනය සහ වර්ධනය සහතික කරන ආකාරය සහ දැනටමත් එම තත්වයන් වටහාගෙන ඇති ප‍්‍රධාන යුරෝපීය රටවල් සමග ඉතාලිය පෙළගැස්වීමටයි.

කෙසේ වෙතත් මෙය ඉතාලි පුරවැසියකු බවට පත්වීමේ නොනිමි ආශාවට ලගාවීම ඉක්මන් කරනවාට වඩා, දැනට පවතින සංක‍්‍රමණික නීතිය වන බොස්සි ෆීනි නීතිය තුලින් අත් විඳින පීඩාවෙන්, ඉක්මනින් නිදහස්වීමේ අවස්ථාවක්ද වනු ඇත. වසරකින් හෝ දෙකකින් නැවත වීසා අලූත් කිරීමට සිදුවීම, රැුකියා කොන්ත‍්‍රාත්තුව, පදිංචි සහතික ඉදිරිපත් කිරීම, මව් රටට යෑමට ඒමට ඇති බාදා ඉවත්වීම, විශ‍්‍රාම වැටුපට හා විවිධ දීමනා සඳහා ඇති බාදාවන් ඉවත්වීම, අධ්‍යාපනය ලබන දරුවන්ගේ කටයුතු වලට තිබෙන විශාල බාදාවක්ව ඉවත්වීම ආදී බොහෝ කඩුලූ/බාදාවන් මෙමගින් ඉවත්වන අතර එතෙක් බුක්ති විඳින්නට නොහැකි වූ බොහෝ අයිතීන් බුක්ති විඳින්නටත් වැසී තිබූ දොරටු විවර කරගන්නටත් මෙමගින් හැකි වනු ඇත. එනිසා කුමන හෝ මට්ටමක සිටින විදෙස් සංක‍්‍රමණිකයින් හට මෙය මහගු සහනයක් වන අතර එය ජයග‍්‍රහණය කරවීම ඔබ සියලූ දෙනාගේම වගකීම වන බවද සඳහන් කරමු. නොඑසේනම් සිදු වන්නේ විවිධ මට්ටම් වල සිටින අය මෙය තමන්ට අදාල නොවන දෙයක් ලෙස සලකා මග හැර යාමයි. කෙසේ වෙතත් දැන් හෝ පසුව ඔබ සියලූ දෙනාට මෙම නීති සංසෝධනය බලපානු ඇත. එම නිසා අපගේ ආයාචනය වන්නේ දැනටමත් පුරවැසිභාවය ලබා තිබෙන අය අපට මින් පලක් නැතැයි සිතා මග හැරීම නොව වගකීමක් ලෙස සිතා එයට දායක වීමයි. දීර්ග කාලීන වීසා සතු අය අපට මෙය අදාල නැතැයි සිතා කටයුතු කිරීමට පෙළඹිය හැක. නැත ඔබටද මෙය වලංගු වන බව මතක තබා ගන්න. දේශපාලන රැකවරණ හෝ වෙනත් වීසා අයදුම්පතක් යොමුකර සිටින අයද මෙය තමන්ට අදාල නොවේයැයි බැහැර කල හැක. නැත ඔබටද අවස්ථාවක් උදා වන බව අපට ඇති අත්දැකීම් තුලින් නිසැකවම කිව හැක. කෙසේ වෙතත් පොදුවේ ලාංකිකයින්ගේ තිබෙන අයිතීන් දිනා ගන්නට කෙරෙන මැදිහත්වීම් මගහැර යාමේ හා ඒවා ලැබෙන විට පොරකාගෙන විත් පෝලිමේ මුලින්ම සිට ගැනීමේ ඒ මහගු ගුණාංගය මෙම කාරණයේදී අමතක කර කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිමු.

එම නිසා ඔබ සියලූම දෙනාගේ සහභාගීත්වය අප අපේක්ෂා කරමු. ඊට අමතරව ජනමත විචාරණයේදී “SI” ලෙස ඡුන්දය ප‍්‍රකාෂ කිරීමට පුරවැසිභාවය ඇති සියලූ දෙනාටම ඇරයුම් කර සිටිමු. මේ පිළිබඳ සවිස්තර ලිපි පෙලක් විවිර වෙබ් පිටුවේ සහ ෆේස්බුක් පිටුවේ පලකරන්නෙමු.

ඉතාලි ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානය 

leave a reply