නකල්ස් ප්‍රදේශයේ ගල් ගුහාවකින් 15 හැවිරිදි දැරියක් අනාරක්ෂිත දරු ප්‍රසූතියකින් අනතුරුව බිළිඳෙකු සමඟ සොයාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මවක් ලෙස අතිශය කම්පනයක් ඇතිකළ බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසා තිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා බොහෝ අදහස් පළවෙමින් තිබේ. එළෙස අදහස් දක්වන බොහොමයක් පිරිස් පවසන්නේ අනුරාධපුරේ අටමස්ථානාධිපතිගේ විසින් දරුවෙකු අපයෝජනය කිරීමේ සිදුවීමේදී නිහඬ පිළිවෙතක් අනුගමන කළ ඇමතිවරිය මෙළෙස කම්පනයක් ඇතිවූ බව පුදුමයක් බවයි. එසේම ඇතැම් පිරිස් පවසා ඇත්තේ චූදිත පිරිමි පාර්ශවයන්ට ඇති බලපුළුවන්කාරකම අනුව ඇමතිවරියගේ කම්පා වීම වෙනස් වෙන බවයි.
මෙම තෝරාගත් කම්පනය වීම්වලට අමතරව ආණ්ඩුව කියන වචන සහ ක්‍රියාව අතර විශාල පරතරයක් ඇති බවද 2027 අයවැය හරහා දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට වෙන්කර ඇති ප්‍රතිපාදන දෙස බැලීමේදී පෙනී යයි.
පෝල්රාජ් ඇමතිවරිය වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම සිදුවීම හුදෙකළා සිදුවීමක් ලෙස අප නොසළකන අතර වත්මනේ පවතින ආර්ථික, සමාජයීය, දේශපාලනික ඇතුළු විවිධ සංකීර්ණතා හේතුවෙන් අප දරුවන් විවිධ මට්ටම් වලින් සහ විවිධ ආකාරයන්ගෙන් අනාරක්ෂිත වන බව පැහැදිලි අතර මව්පියන් සහ දරුවන් අතර පැවතිය යුතු අන්‍යොන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය ක්‍රමයෙන් ගිලිහෙමින් යාම මෙවන් සිදුවීම්වලට දැඩි ලෙස සාධක වන බවද නිරීක්ෂණය වෙන බවයි.
දරුවන්ගේ අවසන් භාරකාරීත්වය පවතින්නේ රජයට සහ අධිකරණයටයි. එසේනම් මෙවැනි ආකාරයට අනාරක්ෂිත වෙන දරුවන් සම්බන්ධයෙන් රජයට වගකීමක් පවතියි. ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය සහ ළමා රක්ෂණ අධිකාරිය පවතින්නේ ඒ සඳහායි. නමුත් මාධ්‍ය ඉදිරියේ මෙළෙස දුක්වන ඇමතිවරියගේ අමාත්‍යංශය මෙවර මුදල් වෙන්වී ඇත්තේ සුපුරුදු ලෙස ඉතා කුඩා ප්රමාණයකි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.1කට වඩා අඩු අගයකි.
මෙවර අයවැයේ වියදම් ඇස්තමේන්තුව අනුව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 20කට ආසන්නය. එයින් බිලියන 16ක් පමණ ඇත්තේ පුනරාවර්තන වියදම් වේ. ප්‍රාග්ධන විදයම් පවතින්නේ බිලියන 3ක් වැනි සුළු ප්රමාණයකි.
ළමා රක්ෂණ අධිකාරියට වෙන්කර ඇති මුදල් වලින් මිලියන 677න් මිලියන 647ක් ම පුනරාවර්තන වියදම් වේ. ප්‍රාග්ධන වියදම් ලෙස වෙන්වී ඇත්තේ රුපියල් මිලියන 40කි . මෙහි තේරුම නම් ළමා සුරක්ෂවට අදාළව නව ව්‍යාපෘති නව වැඩපිළිවෙලවල් නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව 2027 දීද කටයුතු නොකරනු ඇති බවයි.
මෙවැනි තත්ත්වයකදී ආණ්ඩුවේ මැති ඇමතිවරු මාධ්‍ය ඉදිරියේ සිදුකරන මෙවැනි ප්‍රකාශ බොරු මාධ්‍ය සංදර්ශනයක් පමණක් වනවා නියතය. නකල්ස් කඳුකරයේ ගල් ගුහාවකින් හමුවූ දරුවා සහ ඇයගේ දරුවාගේ අනාගතය තවදුරටත් අනාරක්ෂිත වීම වැළක්විය නොහැකි වනු ඇත.




