Breaking News

උතුරු මුහුදේ මත්ස්‍ය මංකොල්ලයට එරෙහිව ධීවරයන් විරෝධතාවයක

මෙරට උතුරු මුහුදු සීමාව ආක්‍රමණය කරමින් ඉන්දීය ධීවරයින් සිදුකරන මත්ස්‍ය කොල්ලයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලධාරීන්ට බලකරමින් උතුරේ ධීවර සංගම් අද ධීවර දෙපාර්තමේන්තු කාර්යාලය සහ ඉන්දීය තානාපති කාර්යාලය ඉදිරිපිට සාමූහික විරෝධතාවක නිරත විය.

ධීවර දෙපාර්තමේන්තු කාර්යාලය අසලින් ආරම්භ වූ විරෝධතාවය යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දෙසටත් පසුව ආණ්ඩුකාර ලේකම් කාර්යාලය දක්වාත් ගොස් එම ආයතන නියෝජනය කරන නිලධාරීන්ට පෙත්සම් භාරදීම සිදු කෙරිණි. ඉන් අනතුරුව විරෝධතාකරුවන් යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය වෙත ද පාගමනින් පැමිණ පෙත්සමක් භාරදී තිබේ.

උතුරු මුහුදේ ඉන්දීය ධීවරයින් විසින් ටෝලර් යාත්‍රා යොදගනිමින් සිදුකරන මත්ස්‍ය සම්පත් මංකොල්ලයට එරෙහිව උතුරු දූපත් වන ඩෙල්ෆ්ට්, නයිනතිව්, එළුවතිව්, මණ්ඩයිතිව්, කයිට්ස් සහ පුංකුඩිතිව් යන ප්‍රදේශවල ධීවරයින් මෙම විරෝධතාවයට සහභාගී වී ඇත.

රජය පසුගිය කාලයේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කර තිබියදීත් ඉන්දීය ධීවරයින් මෙම මත්ස්‍ය මංකොල්ලය සිදුකරන බව ධීවරයන් චෝදනා කර සිටියි.

leave a reply