Breaking News

නාමල් සහ එස්. එම්. චන්ද්‍රසේන අතර ගැටුම තවත් දරුණු අතට

පොදුජන පෙරමුණේ පිරිසක් රනිල් වික්‍රමසිංහට සහය ලබාදීමට තීරණය කිරීමත් සමඟ පොහොට්ටුවේ බෙදීම විවිධාකාරයෙන් කරළියට පැමිණ තිබේ.

එහි අලුතම ජවනිකා වන්නේ නාමල් රාජපක්ෂ සහ එස්. එම්. චන්ද්‍රසේන එකිනෙකාට චෝදනා කර ගැනීමයි.

එස්.එම් චන්ද්‍රසේන අපේක්ෂා කළ තනතුරු තානාන්තර ලබා දීම සඳහා බැසිල් රාජපක්ෂ කළ සටනේ ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර හිත් අමනාපයක් ඇති වුන බව නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව පැවසුවේ අනුරාධපුරයේ ඊයේ (03) පැවති පොහොට්ටුවේ පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍යයට කරුණු දක්වමිනි.

”එදා එස් එම් ඇමතිතුමා වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමා කොන්දේසි විරහිතව පෙනී සිටියා. බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතර යම් හිත් අමනාපයක් ඇතිවුනා නම් ඒ ඇති වීමට එක් හේතුවක් වුනේ එස්.එම් මැතිතුමාලට අවශ්‍ය තනතුරු තානාන්තර ලබා දෙන්න අපි සටන් කරපු එක.”

”අපේ හදවත සහ අපේ හිත පිරිසිදුයි… අපි උපරිම කළා. හැබැයි එතුමන්ලා අද ගන්න තීන්දුව එතුමන්ලාගේ තීන්දුවක්” නාමල් රාජපක්ෂ පැවසුවේය.

නැවත එන ඕනෑම කෙනෙකුට පක්ෂයේ දොර විවෘත බවත් මහින්ද රාජපක්ෂ ගේ සැලුන්දොරෙන් පක්ෂයට එන්න මෙන්ම යන්නත් පුලුවන් බව ද නාමල් රාජපක්ෂ පැවසිය.

”හම්බන්තොටින් නාමල් රාජපක්ෂ ගියත් දෙවැනි පෙළක් ඉන්නවා හම්බන්තොට දිනන්න. අනුරාධපුරයත් එහෙමයි. පළමු පෙළ ගියොත් බොහොම ආසාවෙන් ඉන්නවා දෙවැනි පෙළක් වගකීම් අරන් පක්ෂය දිනවන්න. පක්ෂයේ යාන්ත්‍රණය බොහෝම ශක්තිමත්.” යයි ද ඔහු සඳහන් කර ඇත.

අනුරාධපුර දිස්ත්‍රික් නායක ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන වෙනුවට එම දිස්ත්‍රික් නායක ධුරයේ වැඩබැලීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පත්කර ඇත.

චන්ද්‍රසේන සහ සේමසිංහ අමාත්‍යවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමෙන් පසු නාමල් රාජපක්ෂ අනුරාධපුරයට ගොස් ඊයේ පළමු වරට රාජකාරී ආරම්භ කර තිබුණි.

මේ අතර අරගලය සමයේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනිගත්තේ නාමල් රජපක්ෂලාගේ වරදින් යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනිතැබීම සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ විසින් සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

පොහොට්ටු පක්ෂ මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන සඳහන් කළේ තමන්ගේ සහ මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහගේ නිවාසවලට ගිනිතැබීම “හොඳ වැඩක්” යැයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළ බවයි.

තවදුරටත් එයට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන සඳහන් කළේ, මන්ත්‍රී අතුකෝරළ ජීවිතය අහිමිවීමටද නාමල් රාජපක්ෂලා වගකිවයුතු බවය.

leave a reply