Breaking News

ආණ්ඩුවේ මැතිවරණ ක්‍රම සංශෝධනයට Paffrel පිළිතුරු දෙයි

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනයට පෙර පළාත් සභා සීමානිර්ණ කටයුතු අවසන් කර පළාත් සභා මැතිවරණ පැවැත්වීමට ඉඩ සලසන්න.

කේවල හා සමානුපාතික මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් අප සුබවාදී වන අතර ඒ හරහා ජනතාවගේ සැබෑ ජනමතය පිළිබිඹු වන ආකාරයේ මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කරනු ඇති බවට අප විශ්වාස කරමු.

ඒ අනුව පහත සඳහන් කරුණු කෙරෙහි ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ අවධානය යොමුකරවීමට කැමැත්තෙමු.

  1. නව මැතිවරණ ක්‍රමය සමානුපාතික පදනම උපරිම ආකාරයෙන් ආරක්ෂා වන ක්‍රමයක් විය යුතුය.
  2. විසිරුණු ජන පදනමක් සහිත දේශපාලන පක්ෂවලට ඔවුන්ගේ ජන පදනමට සමානුපාතිකව හිමිව තිබෙන නියෝජනය ආරක්ෂා වන බවට වගබලාගත යුතුය.
  3. දැනට පවතින මැතිවරණ කොට්ඨාශ වෙනස් කරනු ලබන්නේ නම් ඒ හරහා දේශපාලන පක්ෂ වලට දැනට හිමිව තිබෙන නියෝජනය නව සීමානිර්ණ ක්‍රියාවලිය හේතුකොටගෙන අඩුනොවන බවට වගබලාගත යුතුය.
  4. නව සීමානිර්ණ ක්‍රියාවලියකට යොමුවන්නේ නම් සියලු ජන කණ්ඩායම්වල නියෝජනය ආරක්ෂා වන ආකාරයේ සංවාදයකට පසුව සහ සියලු දෙනාට පිළිගත හැකි සීමානිර්ණ ක්‍රියාවලියක් සිදුකල යුතුය.
  5. එසේ සිදුකරන්නා වූ සීමානිර්ණ ක්‍රියාවලියක් සාධාරණ කාලයක් තුළ අවසන් කිරීමට වගබලාගත යුතුය.
  6. යම් හෙයකින් මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාල සියලු කටයුතු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර අවසන් කිරීමට නොහැකිවන්නේ නම් පැවති ක්‍රමයට අනුගතව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය පැවරෙන ආකාරයේ වගන්තිද ඊට ඇතුළත් කල යුතුය.
  7. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට පෙරාතුව දැනටමත් වසර 5 කට වැඩි කාලයක් මුලුල්ලේ මැතිවරණ ක්‍රමය සංශෝධනයේම ප්‍රතිඵලයක් ලෙස ප්‍රමාදවී ඇති පළාත් සභා මැතිවරණ සීමානිර්ණ කටයුතු අවසන් කොට පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කල යුතුය.
  8. මෙම මැතිවරණ ක්‍රම සංශෝධන ක්‍රියාවලිය හරහා කිසිදු ආකාරයකින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීමට හේතුවන ආකාරයේ ක්‍රියාවලියක් සිදුනොවන බවට වගබලාගත යුතුය.

එමෙන්ම රජය විසින් අරමුදල් ලබානොදීම නිසා වසරක පමණ කාලයක් මුලුල්ලේ අතරමංව ඇති පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීමට ක්‍රියාකල යුතු බවටද අවධාරණය කිරීමට කැමැත්තෙමු. තවද රජය විසින් ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය වන ආකාරයේ කිසිදු ක්‍රියාමාර්ගයකට යොමුනොවනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

මැතිවරණ ක්‍රමය සංශෝධනය හෝ කේවල-සමානුපාතික මිශ්‍ර ක්‍රමයක් ගෙන ඒම පිළිබඳව නිරීක්ෂණ සංවිධානයක් ලෙස අපගේ විරෝධයක් නොමැති නමුත් ඉතිහාසය තුළින් උගෙන ඇති පාඩම් හරහා එහි අරමුණ පිළිබඳව සමාජයේ බලවත් අවිශ්වාසයන් ගොඩනැගී ඇති බැවින් එකී අවිශ්වාසයන් දුරලමින් ජනතා විශ්වාසය ගොඩනැගෙන ආකාරයට හා මැතිවරණ ක්‍රමය මගින් ජනතාවගේ සැබෑ ජනමතය නියෝජනය වන ආකාරයේ මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීමට රජය ක්‍රියාකරනු ඇති බවට අප විශ්වාස කරමු.

leave a reply