Breaking News

ආර්ථික අර්බුදයට ඇතිකලෙත් ජනතාවද?

දැනට පෙනෙන්නට තිබෙන තත්ත්වය වන්නේ ආර්ථික අර්බුදයේ වගකීම අවසානයේ ජනතාවට බාරගන්නට සිදුවෙන බවයි. පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් පක්ෂවල නායකයන් එකිනෙකාට ඇඟිල්ල දිගුකරගනිමින් සිටියි. දැනටත් ආර්ථික අර්බුදයේ බර දරමින් සිටින්නේ ජනතාවයි. ඉදිරියේදී ආර්ථික අර්බුදයක් ඇතිවීමට හේතුව ජනතාවට නිකම් කන්න දුන් නිසා බව පැවසුවොත් පුදුම විය යුතු නැත.

රට බංකොලොත් කලේ යහපාලන ආණ්ඩුව – මහින්ද

රට බංකොලොත් කිරීමේ වගකීම භාරගත යුත්තේ රාජපක්ෂවරුන් නොව එදා යහපාලන ආණ්ඩුවේ දායකයන්ව සිටි වත්මන් සජබ ලොක්කන් යැයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

තමන් 2015 මැතිවරණය පරාජයට පත්වන විට රටේ ආර්ථික වර්ධන වේගය 7% ක් බවත්, එහෙත් යහපාලනයෙන් පසුව 2020 නැවත රට භාරගන්නා විට ආර්ථික වර්ධන වේගය 2%කට බැස්සවූයේ රාජපක්ෂවරුන්දැයි තමන් සජබ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කරන වග හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

තමන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයට උපරිම ලෙස ගෞරව කරන බව සඳහන් කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, 2019 පත්වූ ගෝඨාභය රාජපක්ෂ ගේ ආණ්ඩුව බදු අඩු කරන බවට සිය පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ප්‍රතිඥා දුන් බවද කීය. එයට ලැබුණු ජනවරම අනුව ක්‍රියාත්මක වී බදු අඩුකිරීම වරදක් වන්නේ කෙසේදැයි තමන් සජබයෙන් ප්‍රශ්න කරන වගද මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් කීය.

එසේම එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ඔවුන්ගේ වැඩසටහනට සම්බන්ධ නොවූයේ රජයේ ප්‍රතිපත්ති තීරණයක් අනුව බවත් ඔහු කීය.

මෙහි හාස්‍යයට කරුණ වන්නේ වැට් බදු ඇතුළු බදු අඩුකිරීමට එරෙහිව උසාවි ගිය විද්වතුන් වත්මන් ආණ්ඩුව මූල්‍ය අරමුදලේ නිර්දේශ මත බදු විශාල ලෙස ඉහළ දමන විට ඊට එරෙහිව මහ පාරේ පෙළපාළි යාම යැයිද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම කරුණු සඳහන් කර තිබුනේ ‘දේශය’ පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමිනි.

‘ආර්ථිකය විනාශ කළේ කවුරුන්දැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවෙලා’ – මෛත්‍රීපාල

මේ අතර යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෙවර අයවැය විවාදයේදී අදහස් දක්වමින්, මෙරට ආර්ථිකය විනාශ කළේ කවුරුන්දැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර ඇතැයි පැවසිය.

” පසුගිය දිනක ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිබඳව කවුරුන් කෙසේ කීවත් මෙරට ආර්ථිකය විනාශ කළේ කවුරුන්ද පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තියෙනවා. ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ ගෞරවය සහ ස්තුතිය පුද කරනවා වගේම මේ සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් දැමීම පිලිබඳවත් අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙනවා. විනිශ්චයකාර තුමන්ලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒවා පිළිබඳව ප්‍රශ්න කිරීමට තරම් අපේ තේරීම් කාරක සභා ප්‍රබුද්ධ නැහැ තේරීම් කාරක සභා ඉතාමත්ම අසාර්ථකයි. අපේ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ ඒ නිසා එය අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අපි අධිකරණයට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා ඒ ගත්තු තීරණයට.” යයි ද මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පැවසිය.

 

leave a reply