Breaking News

මීට පස්සේ ගෝල්ෆේස් එක ආගමික කටයුතුවලට විතරයි – අරගලයට බය ආණ්ඩුව තීරණය කරයි

කොළඹ ගෝල්ෆේස් භුමිය භාවිත කිරීමට අවසර ලබා නොදෙන අංග සම්බන්ධයෙන් රජය විසින් තීරණයක් ගෙන තිබේ. ඒ, ඊයේ (අප්‍රේල් 18) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී යි.

ඒ අනුව අප්‍රේල් මස 20 වෙනිදා සිට ආගමික කටයුතුවලට හැර, ගෝල්ෆේස් පිටියට හානි වන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා ලබා නොදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගෝල්ෆේස් පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාරගෙන ඇතැ යි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ දැක්වෙයි.

ඒ අනුව ගෝල්ෆේස් පිටියේ සංවර්ධන කටයුතු සඳහා වරාය අධිකාරිය විසින් රුපියල් මිලියන 220ක මුදලක් වැයකර ඇතිබවත්, පසුගිය අරගල කාලසීමාවේ දී සිදුවී ඇති දේපළ හානි අලුත්වැඩියා කිරීම සදහා පමණක් රුපියල් මිලියන 6.6ක මුදලක් වැයකර ඇතිබවත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් ය.

මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හැකි වන පරිදි මෙම ගෝල්ෆේස් භුමිය පවත්වාගෙන යා යුතු නමුත් සංගීත සංදර්ශන සහ ජනතාව විශාල වශයෙන් එක්රැස්වන වෙනත් ක්‍රියාකාරකම් හේතුවෙන් එම භුමිය නිතර හානිවන බැවින් මෙම තීරණය ගෙන ඇති බව රජය පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහජනතාවට සිය විරෝධතා දැක්වීම සඳහා මීට පෙර ගෝල්ෆේස් භුමියේ කොටසක් උද්ඝෝෂණ ස්ථානය ලෙස නම්කර තිබුණි.

2021 වසරේ සිට රට තුළ ඇතිවූ ආර්ථික ගැටලු හේතුවෙන් මහජනතාව විසින් එවකට බලයේ සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට එරෙහිව විරෝධතා සංවිධානය කිරීමේ දී ද ගෝල්ෆේස් භුමිය ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්විය.

ඒ “ගෝඨා ගෝ ගම” අරගල භූමිය 2022 වසරේ අප්‍රේල් මස 09 වෙනිදා ගෝල්ෆේස් පිටියේ දී ආරම්භ කිරීමත් සමග යි.

මෙලෙස ආරම්භ වූ මහජන විරෝධතාව අවසන් වූයේ එවක ජනාධිපතිධුරය හෙබවූ ගෝඨාභය රාජපක්ෂ ජුලි මස 15 වෙනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළායෑමත් සමග යි.

මේවනවිට රට තුළ මතුවී ඇති තත්වයත් සමඟ නැවත ජන නැගිටීමක් සිදුවේයැයි බියක් ආණ්ඩුවට පවතියි. එසේම ජූලි 09වනදා දිනයට වසරක් සම්පූර්ණවීමද සිදුවේ. ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ ගෝල්ෆේස් ජන අරගලය පිළිබද මතකය ජනතාවගෙන් ඈත්කර දැමීමටයි.

leave a reply