Breaking News

මහජන උපයෝගීතා කොමිසමත් විදුලි ගාස්තු සංශෝධනයට එකඟයි

2009 විදුලිබල පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව කඩිනම් කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ.

එමෙන්ම අතුරු ගාස්තු සංශෝධනයක් පිළිබඳ කැබිනට් ඉල්ලීම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිමය මතය විමසීමට කොමිසම වැඩිදුරටත් තීරණය කර ඇතැයි එහි සභාපති ජනක රත්නායක පැවසිය.

එම තීරණ සිය කොමිසමේ සියලු සාමාජිකයින්ගේ ඒකමතික තීරණයක් බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

විදුලිය බිල 65 % – 70% ත් අතර අගයකින් ඉහළ දැමීමට පසුගිය දා කැබිනට් මණ්ඩලය තීරණය කරන ලදී.

ඒ, ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක කරන ලෙස දන්වමිනි.

කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව දිගින් දිගටම අවධාරණය කළේ, එලෙස විදුලි ගාස්තු සංශෝධනයට අවසර දිය නොහැකි බවයි.

එහෙත්, විදුලි බල පනතේ දක්වා ඇති පරිදි විදුලි බිල සංශෝධනය කිරීමට අදාළ ගණනය කිරීම් කරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ ය.

මහජන උපයෝගිතා කොමිසම මෙවැනි ඒකමතික තීරණයක් ගෙන ඇත්තේ, ජනක රත්නායක එහි සභාපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 113 කට වැඩි පිරිසකගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරමින් සිටියදීය.

මේ අතර මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනගාර ගතකර තිබේ.

වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් බැන තර්ජනය කර සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කළ බවට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබුණි. ඒ මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන සාමාජිකයන් දෙදෙනාය.

leave a reply