එප්පාවල දරුවා පැහැර ගත් සැකකරු හා ඔවුන්ට නවාතැන් සපයමින් සැඟවී සිටීමට උපකාර කළ ගෙහිමියා ජනවාරී 04 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි.
එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවා පැහැර ගෙන යාමේ සිද්ධියට සම්බන්ධ විදුලි කාර්මික ශිල්පියා හා ඔවුන්ට සැගවී සිටීමට උපකාර කළ රිකිල්ලගස්කඩ නගර සභාවේ රියදුරා එළැඹෙන ජනවාරි මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තඹුත්තගෙම මහේස්ත්‍රාත් එම්.එල් නුවන් කෞෂල්‍ය මහතා අද (24) පස්වරුවේ නියෝග කළේය.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන අද (24) පස්වරුවේ තඹුත්තේගම මහේස්ත්රාත්වරයාගේ නිළ නිවසට ගොස් මහේස්ත්රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙමෙ නියෝග නිකුත් කරනු ලැබීය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ 09 හැවිරිදි පිරිමි දරුවා පැහැර ගෙන යාමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන 22 කණුව, කැකිරාව පාර, තලාව ලිපිනයේ පදිංචි ඇස්වැද්දුමගේ අසේල ප්‍රියන්ත ප්‍රනාන්දු නම් විදුලි කාර්මික ශිල්පියා හා ඔවුන්ට එප්පාවල ප්‍රදේශයෙන් පළා ගොස් සැඟවී සිටිමට උපකාර කළ ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවසේ හිමිකරු වන අමිල සම්පත් කමාර නානායක්කාර නම් 42 හැවිරිදි තිදරු පියෙකි. ඔහු රිකිල්ලගස්කඩ නගර සභාවේ රියදුරෙකු වශයෙන් සේවය කරන පුද්ගලයෙකි.
පොලිස් භාරයට පත් වූ පැහැර ගැනීමට ලක් වූ දරුවා අද (24) පස්වරුවේ අනුරාධපුර ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට එප්පාවල පොලීසිය කටයුතු කළ අතර, එහිදී දරුවා තරමක අසනීප තත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් අනුරාධපුර ශීක්ෂණ රෝහලේ 24 වාට්ටුවට ඇතුළත් කර ඇති අතර, දරුවා එහි නේවාසිකව ප්‍රථිකාර ලබයි.
එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවා පැහැර ගෙන ගොස් රිකිල්ලගස්කඩ ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවසක සඟවාගෙන සිටියදී සොයා ගැනීමට එප්පාවල පොලිස් ස්ථානයේ නිළධාරීන් කණ්ඩායමකට ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ හැකි වී ඇත.
මෙලෙස පැහැර ගැනීමට ලක් වූයේ අංක 16, ගැටදිවුල, කිරලෝගම ලිපිනයේ පදිංචි පී.කේ දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර නම් නව හැවිරිදි පිරිමි දරුවෙකි.ඔහු කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.
මෙම සිසුවා එම ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පි ආයතනයක් පවත්වාගෙන ගිය විදුලි කාර්මික ශිල්පියකු සමඟ සමීප ඇසුරක් තිබූ බවත්, අදාළ විදුලි කාර්මිකයා දරුවා රවටා පැහැර ගෙන යන්නට ඇති බවට සැක කරන බවත් දරුවාගේ දෙමාපියන් එප්පාවල පොලීසියට පැමිණිලි කර ඇත.දරුවා පැහැරගෙන ගොස් ඇත්තේ දරුවා සමීපව ඇසුරු කළ ප්‍රදේශයේ විදුලි කාර්මිකයකු වන ඇස්වැද්දුමේ අසේල ප්‍රියන්ත නම් 45 හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහු දරුවා රවටා රැගෙන යන්නට ඇති බවට සැකකරන බවටත් දරුවාගේ මව වන පුෂ්පා මල්කාන්ති මහත්මිය එප්පාවල පොලීසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව පොලිසීය පරීක්ෂණ සිදු කර ඇති අතර, ඒ අනුව සිදු කළ පරීක්ෂණ වලදී විදුලි කාර්මිකයා සන්තකයේ දරුවා සිටින බවට තොරතුරුද පොලීසිය පළමුව අනාවරණය කර ගෙන ඇත.ඒ අදාළ විදුලි කාර්මිකයා පැහැරගත් දරුවාද සමඟ දරුවා පැහැරගත් දිනම රාත්‍රියේ (19) නාවුල ප්‍රදේශයේ ඔහුගේ සහෝදරයකුගේ නිවසකට ගොස් එම නිවසේ රාත්‍රියේ රැදී සිට පසුදින (20) අලුයම එම නිවසින් දරුවාද රැගෙන පිටත්ව උකුවෙල පිහිටි ඔහුගේ සහෝදරියකගේ නිවසකටද ගොස් ඇති බවට අනාවරණය කර ගෙන තිබිණි.ඒ අනුව පොලිස් කණ්ඩායම් කීපයක් දරුවා සොයා පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
සැකකාර විදුලි කාර්මිකයා දරුවා පැහැර ගෙන ගිය දින සිට ඔහුට අයත් ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන් ඉන් පසු දරුවා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් සොයා ගත නොහැකි වූ අතර, ඊයේ (23) පස්වරු 6.30 ට පමණ එම දුරකථනයෙන් හදිසියේම දරුවාගේ මවට ඇමතුමක් ලබා ගෙන දරුවා හා දරුවා පැහැර ගත් විදුලි කාර්මික ශිල්පියා පවසා ඇත්තේ දරුවා හොඳින් ඉන්නා බවයි.තමන් අනුරාධපුර තලාව ප්‍රදේශයේ දරුවා සමඟ සිටින බවත්, කඩිනමින් දරුවා මව වෙත ලැබීමට සලස්වන බවත්, දරුවාගේ ඉල්ලීම මත තමන් දරුවා රැගෙන ගිය බවද සැකකාර විදුලි කාර්මික ශිල්පියා දරුවාගේ මවට පවසා ඇත.
කෙසේ වෙතත් ඔවුන් තලාව ප්‍රදේශයේ රැදී සිටින බව පැවසූවද අදාළ දුරකථන අංකය ඔස්සේ ලැබුණු ඇමතුම පරික්ෂා කර එය රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ භාවිතා වන බවට තොරතුරු අනාවරණය වීමත් සමඟින් ඒ ඔස්සේ පරික්ෂණ පවත්වා දරුවා හා දරුවා පැහැර ගත් පුද්ගලයා රැදී සිටි රිකිල්ලගස්කඩ, ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවස ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ වටලා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. දරුවා එප්පාවල සිට රැගෙන ගිය විදුලි කාර්මික ශිල්පියාට අයත් ත්‍රීරෝද රථයද එම නිවසේ තිබී පොලිස් භාරයට ගෙන ඇත. මෙම දරුවාට හා දරුවා පැහැර ගෙන ගොස් සඟවා තබා ගැනීමට උදව් උපකාර කළ නිවසේ හිමිකරුද මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
දරුවා රඳවා ගෙන සිටි නිවසේ හිමිකරු වන නගර සභා සේවකයාගේ පියා , මෙම දරුවා පැහැර ගැනීම සිදු කළ විදුලි කාර්මිකයා සමඟ වසර කීපයක් තලාව ප්‍රදේශයේ සේවය කරමින් සිටි බවත්, ඒ හිතවත්කම මත මීට පෙරද නිවසට පැමිණි බවත්, පසුගිය 20 වැනි දින තම පියාගේ නිවසට පැමිණි මොවුන් එහි රැදී සිට, පසු දින (21) ඔවුන් තමන්ගේ නිවසට පැමිණ එම දරුවා තමන්ගේ දරුවා බව පවසා නිවසේ තබා ගෙන සිටි බවද පොලීසියට ප්‍රකාශ කර ඇත.තමන් නව නිවසක් ඉදි කරමින් පවතින බවත්, මෙම පුද්ගලයා එහි විදුලි පද්ධතිය සකස් කිරීමද පසුගිය දින වල සිදු කළ බවත් ඔහු පොලීසියට පවසා ඇත.
ඒ අනුව එම නිවසේ සිටියදී පැහැර ගැනීමට ලක් වූ දරුවා, පැහැර ගැනීම සිදු කළ විදුලි කාර්මිකයා හා නිවසේ නවතැන් දුන් තිදරු පියෙකු වන නගර සභා රියදුරුද පොලිස් අත්අඩංගුවට ගෙන එප්පාවල පොලිස් ස්ථානය වෙත අද (24) උදෑසන රැගෙන එනු ලැබීය.ඉන් අනතුරුව අත්අඩංගුවට ගත් විදුලි කාර්මිකයා එප්පාවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයකු වෙත යොමු කර වෛද්‍ය පරීක්ෂණයකටද යොමු කෙරිණි.
එප්පාවල පොලිස් ස්ථානාධිපති ඊ.අයි.එස් ඒකනායක මහතාගේ උපදෙස් මත, අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.ඩබ්.පී.ආර් ජයම්පති, පොලිස් සැරයන් 3694 අයි.ජී ඉරුගල්, පොලිස් කොස්තාපල්වරුන් වන 67338 ජයසිංහ, 68606 එරංග යන නිළධාරීන් පරීක්ෂණ සිදු කර දරුවා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.