කෙහෙළිය රනිල්ව පාවලා දෙයි

ප්‍රශ්නගත හදිසි ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව තමන් ඉදිරිපත් කළ එකක් නොව, එය එවකට මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද්දක් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් මාලක වීරසූරිය සහ පී.එම්. බණ්ඩාර යන මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විත්ති කූඩුවේ සිට දීර්ඝ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව අවධාරණය කර තිබේ. මෙම නඩුවට අදාළ මූලාශ්‍ර වාර්තාවල එක් තැනක 8 වැනි විත්තිකරු ලෙසත්, තවත් තැනක පළමු විත්තිකරු ලෙසත් දැක්වෙන රඹුක්වැල්ල , තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කරුණු රැසක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඔහු පෙන්වා දුන්නේ, 2022 මැයි 30 වැනිදා කොවිඩ් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා තමන් කැබිනට් සන්දේශයක් ඉදිරිපත් කළ ද ඊට අනුමැතිය නොලැබුණු බවයි. ඒ වෙනුවට කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවකටය. එම තීරණයේ සාමූහික වගකීමට තමන් බැඳී සිටිය ද, නඩුවේදී විශාල වශයෙන් සාකච්ඡාවට ලක්වන ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාවට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, එය හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ඉදිරිපත් කිරීමක් බවත් ඔහු පවසා තිබේ.

ව්‍යාජ ලේඛන සකස් කර අදාළ ඖෂධ ගෙන්වා ඇති බව දැනගත් වහාම, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා තමන් බව ඔහු අධිකරණය හමුවේ පැවසීය. එහෙත්, තමන් කළ පැමිණිල්ලක් ඔස්සේ සිදුකළ විමර්ශනයක් හේතුවෙන් තමන්ටම මාස 9කට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදුවීමේ තත්ත්වය ඔහු මතු කර ඇත. අනාගතයේදී කිසිදු අමාත්‍යවරයකු සිය අමාත්‍යාංශවල සිදුවන දූෂණ සම්බන්ධයෙන් සීඅයිඩීයට පැමිණිලි නොකරනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, 2023 දෙසැම්බර් 26 සහ 2024 පෙබරවාරි 02 යන දිනවල පැය 12ක් පුරා කටඋත්තර දෙමින් තමන් විමර්ශනවලට පූර්ණ සහාය දුන් බව ද හෙතෙම පැහැදිලි කර ඇත.

චෝදනාවලට අදාළ තීරණ ගත් බව කියන රැස්වීම් පැවැති දිනවල තමන් අමාත්‍යාංශයේ පවා නොසිටි බව හිටපු අමාත්‍යවරයා සාක්ෂි සහිතව පෙන්වා දී ඇත. 2022 සැප්තැම්බර් 02 සිට 07 දක්වා භූතානයේ පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවකට තමන් සහභාගි වූ බවත්, එය ගුවන් ගමන් බලපත්‍රයේ මුද්‍රා මඟින් තහවුරු කළ හැකි බවත් ඔහු පවසා ඇත. එසේ තිබියදී තමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී තීරණ ගත් බවට වාර්තාවල දැක්වීම ගැන ඔහු විමතිය පළ කර ඇත. තවද, 2022 ඔක්තෝබර් 10 වැනිදා ජනාධිපතිවරයා සමඟ සීතාවක ප්‍රදේශයේ උත්සවයකට සහභාගි වූ බැවින්, එදින ද තමන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් නොපැවැත්වුණු බවත්, එබැවින් මෙම සිද්ධියට තමන් කිසිසේත් සම්බන්ධ නොමැති බවත් ඔහු තහවුරු කර තිබේ.
සිය වසර 20කට ආසන්න පාර්ලිමේන්තු දිවිය තුළ අමාත්‍යාංශ 9ක අමාත්‍යවරයකු ලෙස කටයුතු කර ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වූයේ 2021 වසරේදී බවත් හෙතෙම සිහිපත් කර ඇත. යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලියට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ බව හැඟීම්බරව ප්‍රකාශ කළ ඔහු, තමන් දේශපාලනයට මෙන්ම ජනමාධ්‍ය සහ සෞඛ්‍ය යන අමාත්‍ය ධුරයන්ට ද පත්වූයේ අහඹු ලෙස බව ඔහු පවසා ඇත.

2022 වසරේ කොවිඩ් වසංගතය සහ දැඩි ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය මැද සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුදයකට පත්ව තිබියදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාන්දර 6.00ට පමණ දුරකතනයෙන් අමතා තමන්ට සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාරගන්නා ලෙස කළ ආරාධනාව ඔහු හෙළි කළේය. එකල මුළු රටම අක්‍රියව තිබූ බවත්, විදේශ විනිමය සංචිත ඩොලර් මිලියන 35 දක්වා පහත බැස, මුහුදේ තිබූ ඉන්ධන නැව්වලට ගෙවීමට පවා ඩොලර් නොතිබූ බවත් ඔහු පැවසීය. එදා තමන් අමාත්‍ය ධුරය භාරගෙන කඩිනම් පියවර නොගත්තේ නම්, ඉන්ධන පෝලිම් වෙනුවට වෙනත් ආකාරයේ පෝලිම් ඇතිවී රටේ ජනතාවට ඛේදජනක ඉරණමකට මුහුණදීමට සිදුවන බව ඔහු කියා ඇත.

2022 අප්‍රේල් මස සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමෙන් පසු, මැයි 20 සිට ඔක්තෝබර් 23 දක්වා යළිත් සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ තමන්ගේ එකම අරමුණ වූයේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු ඩොලර් මිලියන 200ක ප්‍රතිපාදන භාවිත කරමින් සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීම වැළැක්වීම බව ඔහු අවධාරණය කළේය. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් අදාළ ණය ක්‍රමය භාවිත කිරීමේ දුර්වලතා පවතින බව භාණ්ඩාගාරය දැනුම් දුන් පසු, විදේශ විනිමය පෞද්ගලික අංශයට පැවරීමට මුදල් අමාත්‍යාංශයට තිබූ සූදානමක් හේතුවෙන් මුදල් අමාත්‍යාංශයේ උපදෙස් පරිදි 2022 සැප්තැම්බර් 26 දින අරමුදල් ප්‍රතිපාදන වෙනස් කිරීමේ කැබිනට් සන්දේශය තමන් ඉදිරිපත් කළ බව ඔහු පැහැදිලි කර ඇත.

කැබිනට් තීරණ ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට බවත්, ප්‍රසම්පාදන කටයුතුවලට තමන් කිසිසේත් සම්බන්ධ නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය. තමන් තීරණ ගත්තේ වෛද්‍ය සැපයුම් අංශයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ ඇතුළු නිලධාරීන් ලබාදුන් ඖෂධ තොග තත්ත්වය පිළිබඳ වාර්තා මත පදනම්ව බව කී හිටපු අමාත්‍යවරයා, එහි තාක්ෂණික තොරතුරුවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමේ හැකියාවක් අමාත්‍යවරයාට නොමැති බව ද පෙන්වා දී ඇත.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටොප්සිමැප් ඖෂධ වෙනුවට වෙනත් දියර වර්ග සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීමෙන් රුපියල් ලක්ෂ 1,444ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, කුමන්ත්‍රණය කිරීම සහ අනුබල දීම යන චෝදනා මත 1982 අංක 12 දරන පොදු දේපළ පනතේ 5 (1) වගන්තිය යටතේ අධිචෝදනා 13ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.
මෙම නඩුව සඳහා විත්තිකරුවන් 12 දෙනෙකු නම් කර ඇති අතර, ඊට කෙහෙළිය රඹුක්වැල්ල ට අමතරව ‘අයිසුලේට් බයෝටෙක් ෆාර්මා’ හිමිකරු සුදත් ජනක ප්‍රනාන්දු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, හිටපු අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන වෛද්‍ය කපිල වික්‍රමනායක සහ වෛද්‍ය ඒ. තුසිත සුදර්ශන, හිටපු සහකාර අධ්‍යක්ෂ ශාන්ති සොලමන්, හිටපු ගණකාධිකාරි නෙරාන් ධනංජය, හිටපු තොග පාලක සුජිත් කුමාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එච්.එම්. ධර්මසිරි රත්නකුමාර හේරත් සහ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය යන අය ඇතුළත් වේ.

කෙසේ වෙතත්, නඩුවේ 9 වැනි විත්තිකරු වන වෛද්‍ය ජයනාත් බුත්පිටිය අධිකරණය මඟහරිමින් සිටින බැවින් නඩුව ඔහු නොමැතිව විභාග කෙරේ. පැමිණිල්ල මෙහෙයවීම නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම විසින් සිදු කරනු ලබයි.

දැන් කෙහෙළිය උත්සාහ කරන බව පෙන්නේ තමන්ට සිදුවී ඇති විනාශය අනිත් අය සමඟ බෙදා ගැනීමයි. මෙම ඖෂධ වංචාවේ වගකීම එවක ජනාධිපති, අගමැති සිට මුළු ආණ්ඩුවම වගකිව යුතු බවට විවාදයක් නැත. නමුත් එහි එම වංචාවේ ප්‍රධාන වගකීම එල්ල වන්නේ සෞඛ්‍ය ඇමතිවරයාව සිටි කෙහෙළියටයි. එසේම දැන් කෙහෙළිය සාක්ෂි ලබාදීමට සූදානම් නම් ආණ්ඩුවට රනිල් වික්‍රමසිංහද මෙම නඩුවේ චුදිතයෙක් කිරීමට හැකියාව ලැබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව සිරසට පාර කියලද?

ආසියානු විකාශකයින්ගේ සංගමයේ 63 වන සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම...

හෙට 12ට පාර්ලිමේන්තුව ළඟට එන්න – වසන්ත මුදලිගේ ඉල්ලයි

යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක...

ටිරාන්ට එරෙහිව සිලෝන් නිවුස් පේපර්ස් සේවක සේවිකාවන් විරෝධතාවයක

'සිලෝන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගම' විසින් තම ආයතනයේ සේවකයන්ට...

රනිල් සහ Gen Z

මිලියන අටකට ආසන්න Gen Z හා Millennial පරම්පරාවලට අයත්...