පොලිස් ඇමතිගෙ පම්පෝරි විතරයි – ඉෂාර ඝාතනය කළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන නැහැ

හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී මියගිය 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාරගේ මොළයේ අභ්‍යන්තරයේ රුධිර වහනයක් සිදුව ඇති බව සහ ශරීරයේ විවිධ ස්ථානවල පහර කෑමෙන් ඇතිවූ තැලුම් තුවාල ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හඳුනාගෙන ඇතත් මේ වනතුරු වගකිව යුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර නොගැනීම සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබේ.

මේ අතර හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ අපක්ෂපාතී ස්වාධීන විමර්ශනයක් සිදු කිරීමට රජය විසින් පොලිස්පතිවරයාට නියෝග ලබා දී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසා තිබේ.

ඔහු ප්‍රකාශ කළේ පසුගිය ආණ්ඩු කටයුතු කලාක් මෙන් එවැනි සිද්ධීන් යටපත් නොකර ඒ සම්බන්ධයෙන් සාධාරණ, අපක්ෂපාතී විමර්ශනයක් පවත්වා වරදකරුවන්ට එරෙහිව අදාළ නෛතික ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.

එලෙස නීතියට පරිබාහිරව කටයුතු කළ පොලිස් නිලධාරීන් 1200කගේ පමණ වැඩ තහනම් කිරීමට පසුගිය වසර දෙක තුළ ආණ්ඩුව කටයුතු කළ බව ඔහු පවසා තිබේ.

දැනටත් හෝමාගම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වුවද ඔවුන්ව අත්අඩංගුවට ගෙන නොමැත. පොලීසිය සිදුකරන මෙවැනි අපරාධවලවලදී සිදුවන්නේ වැඩ තනනම් කිරීම හෝ ස්ථාන මාරු ලබාදීම පමණකි. එතනින් එපිටට අපරාධ සඳහා අත්අඩංගුවට ගෙන නඩු පැවරීම සිදුවන්නේ ඉතා කලාතුරකිනි. ඇමතිවරයා කියන ආකාරයෙන් වැඩ තහනම් කිරීම් කොපමණ තිබුනත් පලක් නොවේ. නැවත නැවතත් මෙවැනි ඝාතන සිදුකිරීමට පොලිස් නිලධාරීන් බියක් නොදක්වන්නේ මේ හේතුවෙනි.

මේ ආණ්ඩුව වෙනස් බව පෙන්වීමට අවශ්‍යනම් අදාළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අපරාධමය චෝදනා යටතේ නඩු පැවරීම අත්‍යවශ්‍ය වේ.

පහත දැක්වෙන්නේ 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාරගේ මරණයට අදාළ මරණ පරීක්ෂණය සම්බන්ධව සහ ඥාතීන් විසින් මාධ්‍ය වෙත අනාවරණය කරන ලද තොරතුරුයි.

මියගිය තරුණයාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (27) දින කළුබෝවිල රෝහලේදි සිදු කෙරුණා. එහිදී මරණයට හේතුව පිළිබද විවෘත වරෙන්තුවක් ලැබී ඇතත් ඉහත කී ලක්ෂණ මරණ පරීක්ෂකයන් නිරීක්ෂනය කර තිබෙනවා. සිරුරේ කොටස් රස පරීක්ෂක වෙ‍ත යැවීමට නියමිතයි.

හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී අභිරහස් ලෙස මියගිය 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාර නැමැති එක්දරු පියාගේ මොළයේ අභ්‍යන්තරයේ රුධිර වහනයක් සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හඳුනාගෙන තිබේ. එමෙන්ම ඔහුගේ ශරීරයේ පිට, කලවා සහ තට්ටම් ප්‍රදේශවල තැලුම් තුවාල හදුනාගෙන ඇති අතර, ඒවා අභ්‍යන්තරයේ රුධිර වහනයන්ට හේතු වී තිබෙනවා.

ඉකුත් 25 වන දින හෝමාගම පොලිස් වසමේ හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අයිස් මත්ද්‍රව්‍ය සමග අවුරුදු 29ක් වන මූනමලේවත්ත, කිරිවන්තුඩුව ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සහ ඔහු සමඟ අත්අඩංගුවට ගත් අනෙක් තරුණයාට පොලිස් නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් හෝමාගම පොලීසියට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත නිල පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබුණා.

මියගිය ඉෂාර හර්ෂ කුමාරගේ සහෝදරයා සහ ඔහු සමඟ අත්අඩංගුවට පත්වූ 34 හැවිරිදි තරුණයාගේ බිරිඳ විසින් මෙම වෙනම පැමිණිලි දෙක ගොනු කර තිබෙනවා,

2026 ඔක්තෝබර් 25 වන දින උදෑසන 6ට පමණ තම සහෝදරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව මියගිය තරුණයාගේ සහෝදරයා ඉදිරිපත් කළ පැමිණිල්ලෙහි සඳහන් වුණා.

ඒ පිළිබඳ දැනගත් පසු සහෝදරයාව දැකබලා ගැනීම සඳහා හෝමාගම පොලීසියට ගියද, රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් ඊට ඉඩ ලබාදී නොමැති බව එහි දැක්වුණා.

පසුව පෙරවරු 10ට පමණ පොලිස් නිලධාරීන් විසින් තම සහෝදරයාව අපරාධ විමර්ශන අංශයේ සිට ඇදගෙන විත් සිරමැදිරිය තුළට දමා ඇති අතර ඒ වන විටත් ඔහුගේ හිසෙන් ලේ ගලමින් තිබූ බවත් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ සහෝදරයා බැලීමට සිරමැදිරිය අසලට ගියද ඔහු කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා බිම වැටී සිටි බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

සිරමැදිරියේ සිටි අනෙක් පුද්ගලයා වතුර ස්වල්පයක් ගෑවද ඔහු නැගිට නැති බවත් ඉන් අනතුරුව පැමිණි පොලිස් ජීප් රථයකින් ඔහුව ඔසවාගෙන හෝමාගම මූලික රෝහල වෙත රැගෙන ගිය බවත් එහි සඳහන් වනවා.

රෝහල් කාර්ය මණ්ඩලය පරීක්ෂා කර බැලීමේදී තම සහෝදරයා ඒ වන විටත් මියගොස් සිටි බව තහවුරු වූ බව සඳහන් කරන ඔහු, මෙම ඝාතනයට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කර සාධාරණය ඉටුකර දෙන ලෙස ඉල්ලා සිටියා.

මීට අමතරව ඔහු සමඟ අත්අඩංගුවට ගත් 34 හැවිරිදි අනෙක් තරුණයාගේ බිරිඳ කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ, තම සැමියාට හෝමාගම පොලීසිය තුළදී අමානුෂික ලෙස පහරදී අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට හෝ ඉදිරිපත් නොකර බන්ධනාගාරගත කර ඇති බවත්නී තිඥ සහාය ලබාගැනීමට හෝ අවස්ථාවක් ලබා නොදුන් බවයි.

මේ අතර මියගිය ඉෂාර හර්ෂ කුමාර නැමැති තරුණයාට පොලිස් නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහරදී ඝාතනය කළ බවට මියගිය අයගේ මව මාධ්‍ය හමුවේ සෘජුව චෝදනා කළා.

ඇය සඳහන් කළේ පෙරේදා දින පෙරවරුවේ ලැබුණු දුරකථන ඇමතුමකින් ඔහු පොලිස් භාරයට ගත් බව දැනුම් දුන්නද ඒ වන විටත් රාත්‍රිය උදාවී තිබූ බැවින් එදින පොලීසියට යාමට නොහැකි වූ බවයි.

අනතුරුව ඊයේ උදෑසන පාන්දරින්ම තමන් තම දියණිය සහ සිඟිති දරුවා සමඟ හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානය වෙත ගොස් පැයක පමණ කාලයක් බලා සිටි බවත් එහිදී තම බෑණනුවන්ව තවත් පුද්ගලයෙකු සමඟ මාංචු දමා අපරාධ විමර්ශන අංශය වෙත රැගෙන යනු සියැසින් දුටු බවත් ඇය සඳහන් කළා.

අපරාධ විමර්ශන අංශය තුළ පැය එකහමාරක පමණ කාලයක් රඳවාගෙන සිටීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් හයදෙනෙකු විසින් ඔහුව අතපයින් උස්සා බිම දිගේ ඇදගෙන විත් සිරමැදිරිය තුළට අතහැර දැමූ බව මව පෙන්වා දුන්නා..

ඒ වන විටත් ඔහුගේ හිසෙන් අධික ලෙස ලේ ගලමින් තිබූ බවත්, සිද්ධාර්ථ තෙල් ස්වල්පයක් හෝ පැන්ඩෝල් පෙත්තක් ලබාදීමට ඉල්ලූ අවස්ථාවේදී “නැහැ මොකුත් ඕන නෑ… ළඟට යන්න දෙන්න බෑ” යනුවෙන් පවසමින් පොලීසිය ඊට දැඩි ලෙස බාධා කළ බවත් ඇය පැවසුවා..

අවම වශයෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටි තරුණයාට පානය කිරීමට වතුර උගුරක්වත් ලබාදීමට ඉඩ නොදුන් බවද ඇය කියා සිටියා.

උදෑසන සිටම රෝගී තත්ත්වයෙන් පෙළුණු ඔහුව කඩිනමින් රෝහල්ගත කරන ලෙස ඥාතීන් දිගින් දිගටම බැගෑපත්ව ඉල්ලා සිටියද පොලීසිය ඔහුව රෝහලට රැගෙන ගියේ සවස් කාලයේදී බව ඇය සඳහන් කළා..

පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ තමන්ගේම දෙපයින් නිරෝගීව ඇවිද ගිය තරුණයා නැවත රැගෙන එන විට මුහුණ තැළී අත්වල ඇඟිලි නිල් පැහැ ගැන්වී, කකුල්වලින් ඇදගෙන එන තත්ත්වයකට පත්ව සිටි බව ඇය පැවසුවා.

රෝහලට රැගෙන ආ පසුත් ඔහුට සේලයින් හෝ ඔක්සිජන් ලබාදීමට තරම් අවස්ථාවක් නොතිබූ බවත් රෝහලට ඇතුළත් කරන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා.

රෝහලේදී සිදුවූ කරුණු වීඩියෝ ගත කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී රෝහල් පොලීසියේ නිලධාරීන් සිය ජංගම දුරකථනයද බලහත්කාරයෙන් උදුරාගත් බවටද ඇය චෝදනා කළා.

මිනිසුන් තමන් විසින්ම තමන්ට පහර නොගන්නා බවත් පොලීසිය සිදුකළ අමානුෂික පහරදීම නිසා මෙම මරණය සිදුව ඇති බවත් අවධාරණය කළ ඇය, පොලීසිය සැමවිටම සිය නිලධාරීන්ගේ පාර්ශ්වය ආරක්ෂා කරගැනීමට උත්සාහ කරන බැවින් සාධාරණය බලාපොරොත්තුවෙන් සත්‍ය තොරතුරු මෙලෙස මාධ්‍ය වෙත හෙළි කිරීමට තීරණය කළ බව සඳහන් කළා.

සිදුවූ මෙම මරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පොලිස් දෙපාර්තමේන්තුව, හෝමාගම මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා , උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.

Share post:

Popular

වෙනත් පුවත්

උතුරේ තවත් ලේඛකයෙකුගේ පොතක් රේගුව රඳවාගෙන

උතුරේ තවත් දෙමළ ලේඛකයකුගේ නව කතාවක් ශ්‍රී ලංකා රේගුව...

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...