Breaking News

සෞඛ්‍ය ඇමති ප්‍රශ්නය යට ගසද්දී ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගම් 3ට සිතාසි

මිනිස් ආහාරයට නුසුදුසු අයුරින් නියමිත ප්‍රමාණය ඉක්මවා ඇෆ්ලටොක්සින් අඩංගු සමපෝෂ, යහපෝෂ හා ලක්පෝෂ දරුවන් සදහා නිෂ්පාදනය කිරීම හා බෙදාහැරීම සම්බන්ධයෙන් ලබන නොවැම්බර් මස 18 වන දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මන්ජුල රත්නායක මෙරට ප්‍රධාන පෙළේ සමාගම් ත්‍රිත්වයකට හා එහි අධ්‍යක්ෂකවරුන් හය දෙනකුට පසුගියදා (21) සිතාසි නිකුත් කර තිබේ.

මෙළෙස සිතාසි නිකුත්කර තිබුණේ සමපෝෂ, ලක්පෝෂ සහ යහපෝෂ යන ආයතනය තුනට එරෙහිවයි. මේ ආකාරයට නීතිමය පියවර ගෙන තිබෙන්නේ මහජන සෞඛ්‍ය සඳහා හිමිවන බලතල අනුවයි. යහපෝෂ නිෂ්පාදනය කරන්නේ සහ බෙදාහරින්නේ මැලිබන් සමූහය සතු සමාගම් දෙකකින්. සමපෝෂ අයිති වෙන්නේ ‘මන්චි‘ නමින් හඳුන්වන සිලෝන් බිස්කට් සමාගමට.

ඒ අනුව එම සමාගම් මෙම නිෂ්පාදන පිළිබඳ කරුණු ඉදිරිපත් කළ යුතුයි.

රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක පීඒ.එස්. කසුන් පසුගිය සතියේ නීතිමය පියවර ගෙන තිබේ. ආහාර පනත අනුව තමන්ගේ බල ප්‍රදේශයේ ආහාර සම්බන්ධ ගැටලුවකදී නඩු පවරන්න බලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හිමිවේ.

ඒ අතරේ සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සැප්තැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවේදී මෙම පුවත හෙළිකළ අයට තර්ජනයක් වෙන ආකාරයෙන් අදහස් පළ කර තිබුණා.

මේ වෙද්දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අමතරව මාධ්‍ය ආයතන කිහිපයකින්ම ඇෆ්ලටොක්සීන් සීමාව ඉක්මවා ඇති වාර්තා ප්‍රසිද්ධ කර තිබෙනවා. එම වාර්තා අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය ප්‍රසිද්ධ කළ කරුණු තහවුරු වී තිබෙනවා. එහෙත්, සෞඛ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී සාවද්‍ය කරුණු සමාජගත කරමින්, කරුණු රටට හෙළිකළ පුද්ගලයන්ට තර්ජනය කර තිබුණි.

ශ්‍රී ලංකාව බරපතල පෝෂණ අර්බුදයක පවතින මොහොතක, දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ලබාදෙන අත්‍යවශ්‍ය සේවාවක් විදියට නොමිලේ ලබාදෙන ත්‍රිපෝෂ හැඳින්විය හැකියි. සමපෝෂ හා යහපෝෂ වැනි වෙළඳ නාමවලින් අලෙවි කරන කෑම වර්ග පවා මේ මොහොතේ විශාල ජනතාවක් පරිභෝජනය කරන ආහාරයකි.

එවැනි මොහොතක සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල එය ඉතා නින්දිත ආකාරයට සාධාරණීය කරනු දැකිය හැකිවිය.

‘බඩඉරිඟු අඩුව නිසා ප්‍රශ්නක් මතුවෙලා තියෙනවා. මුහුදේ එනකොට සති දෙකක් ඇතුළත, පුංචි කළු තිතක් වගේ තියෙනවා. ඒකත් ලෝක මට්ටම සීයට 20යි තියෙන්නේ. අපි වඩා ආරක්ෂාවට තිහක් දාලා තියෙනවා.‘

වැඩිදුරටත් ඔහු කීවේ මෙහෙමයි. ‘අමූලික බොරුවක් කියලා මේ පාර්ලිමේන්තුවේ මම වගකීමක් ඇතිව කියනවා. හේතුව, මේ ප්‍රශ්නය සම්බන්ධව සම්බන්ධවෙලා තියෙන අයට නීතිමය ක්‍රියාමර්ග ගන්නැයි කියලා අද උදෙත්, ඊයේ රෑ 11ට කතා කරලා මම ලේකම්තුමාටත් කිව්වා. පිළිකාකාරයක් තියෙනවා කියලා සමාජයක් බයගන්වන, නින්දිත ආකාරයට කටයුතු කරන, ස්ටැබ්ලිෂ්මන්ට් කෝඩ් එකේ තියෙනවා එවැනි ප්‍රකාශයක් කරනවානම් ලේකම්තුමාගේ අවසරයක් ගන්න ඕනෑ. මම පැහැදිලිව ප්‍රකාශ කරනවා මේ සම්බන්ධව මේ මොහොතේ සිට ඒ කටයුත්ත ඒ ආකාරයෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා.‘

ඒ විදියට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවායැයි තර්ජනය කළ ඔහු වැඩිදුරටත් මෙහෙම කීවා. ‘හැබැයි මේ ප්‍රශ්නය නැහැයි කියලා මම තවදුරටත් කියන්නෑ.‘

‘අවුරුදු තුනට අඩු සියලුදෙනාට ලබාදිය යුත්තේ බිලියනයට කොටස් එකට අඩු ප්‍රමාණයක් තියෙන ඒවා. අවුරුදු තුනට වැඩි අයට බිලියනයට කොටස් තිහට අඩු ප්‍රමාණයක් දෙන්න ඕනෑ. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් කළ විමසීමට පිළිතුරු දුන්නා.‘ යනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපුල් රෝහණ පවසා තිබුණි.

ඒ අනුව ‘ලෝක ප්‍රමිතිය සීයට විස්සයි, මෙහෙ වැඩි හොඳට තිහක් දාලා තියෙනවා‘ වගේ ඇමතිගේ කතාත් සාවධ්‍ය බව පෙනේ.

‘අමාත්‍යවරයා කියා තියෙනවා මම සාවද්‍ය ප්‍රකාශයක් කළා කියලා. කිසිසේත්ම මම සාවද්‍ය ප්‍රකාශයක් කරලා නැහැ. දරුවන්ට සහ ගර්භනී මව්වරුන්ට සංවේදී ආහාර ලබාදෙද්දී සැලකියයුතු ආකාරයට කළයුතුයි කියලා අපි කියන්නේ.‘ යනුවෙන් ද උපුල් රෝහණ පවසයි.

 

 

leave a reply