Breaking News

රාජපක්ෂලාට එරෙහිව නඩු දැමූ ජූලියන් බෝලිං CIDට කැඳවයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 7 පිහිටි පුද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව ව්‍යාපාරික ජොනතන් මාර්ටෙන්ස්ටයින් සහ පිහිනුම් ශූර ජූලියන් බොලිං ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

ඒ අනුව ඔවුන් දෙදෙනා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියා.

ජුලි මස 09 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔවුන් කැඳවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් අද පෙරවරු 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී අතර මෙම ප්‍රශ්න කිරීම පස්වරු 5.00 දක්වා පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ විදේශ ණය දරා ගත නොහැකි තත්ත්වයට පත් වීම, විදේශ ණය ගෙවීම පැහැර හැරීම සහ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වයට මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල් සහ එස්.ආර්. ආටිගල යන අය ඇතුළු වගඋත්තරකරුවන් 6 දෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම් කිහිපය අතරින් එක් පෙත්සමක් ගොනුකර ඇත්තේ ජූලියන් බෝලිං විසිනි.

ඒ අනුව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල් යන අයට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කර තිබුණි.

ජූලියන් බෝලිංට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දනවන්නේ මෙවැනි තත්ත්වයකදීයි.

ජූලියන් බොලිං යනු ජාත්‍යන්තර තරඟ සඳහා තම රට නියෝජනය කර ඇති ශ්‍රී ලාංකික පදක්කම්ලාභී පිහිනුම් ක්‍රීඩකයෙකි. ඔහු 1984 සිට 1991 දක්වා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම් 15 ක් දිනා ගත්තේය. ඔහු ඔලිම්පික් ක්‍රීඩා තුනේදී ද ශ්‍රී ලංකාව නියෝජනය කළේය, පළමුව 1984 ලොස් ඇන්ජලීස් (ඇමරිකා එක්සත් ජනපදය) හිදී, පසුව 1988 දී සෝල් (දකුණු කොරියාව) සහ අවසානයේ. 1992 දී බාර්සිලෝනා (ස්පාඤ්ඤය) හිදී.

 

leave a reply