Breaking News

කිටි කිටියේ මිට මොළවා ගත් දෑත් සහිතව පාර්ලිමේන්තුවේ 225 අබියස ජනතාව සිට ගත යුතුයි.

සමන්සිරි හේරත්

ජනතා අභිලාෂය සමස්ත පාර්ලිමේන්තුවම එකතුව විහිලුවට ලක් කරන්නට සූදානම් වෙමින් පවතී. පාර්ලිමේන්තුවේ 225 තමන්ගේ පක්ෂ අභිලාෂයන් පෙරට තියාගෙන කරන විහිලුව හේතුවෙන් නිල් වික්‍රමසිංහ ගේ සිහිනය සැබෑ වීමට තියෙන ඉඩකඩ නිර්මාණය කර දෙනවා පමණක් නොව රට ලේ විලක් කිරීමේ පාපකර්මයේ හවුල්කාරයන් වනවා නිසැකයි. දස වසරින් දස වසරට ලියැවුණු ඛේදවාචක ඉතිහාසය යළි දිගුවක් ලෙස ඉදිරියට ගෙන යන්නට ද මේ පාර්ලිමේන්තුවේ බල පොරය සහ කුජීත පක්ෂ දේශපාලනය සූදානම් වෙමින් සිටී.

මේ වන විට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපති තරඟයට නම් හතරක් සමාජගත කර තිබේ.

රනිල් වික්‍රමසිංහ
සජිත් ප්‍රේමදාස
ඩලස් අලහප්පෙරුම
අනුර කුමාර දිසානායක

ඉහත නම් හතරට පාර්ලිමේන්තුවෙ ඡන්ද 221 බෙදී යාමට නියමිතයි. රටේ ජනතාව නිශ්ශබ්දව සිටියොත් පොහොට්ටුවේ චන්ද සහ ධන වරප්‍රසාද වලට ලබා ගන්නා ඡන්ද ද ඇතුළත්ව රනිල් වික්‍රමසිංහට පහසු ජයක් ලබාගනු ඇතැයි අනුමාන කළ හැකියි. (නැවතත් අවධාරණය කරනවා එහෙම වෙන්නේ රටේ ජනතාව නිශ්ශබ්දව සිටියොත් පමණයි). නමුත් රටේ මේ වන විට තිබෙන තත්වය හමුවේ මේ ඡන්දය ඉතාමත් තීරණාත්මක වෙනවා. මේ හතර දෙනාම මේ ඡන්දයට ඉදිරිපත් වෙලා තරඟ කලොත් රනිල්ට එරෙහි ජනමතයක් රටතුල ගොඩ නැගුනත් අනුර කුමාර දිසානායකට මේ තරගය ජයග්‍රහණය කරන්න බැහැ. ඩලස් අලහප්පෙරුම සජිත් ප්‍රේමදාස යන දෙදෙනාට ඡන්ද බෙදී ගියොත් පොහොට්ටුවේ මන්ත්‍රීවරු වැඩි බරක් තබාවී යැයි අනුමාන කළ හැක්කේ ඩලස් අලහප්පෙරුමටයි. එවිට සජිත් ප්‍රේමදාස පරාජයට පත්වෙනවා. සජිත් ප්‍රේමදාස මේ තරඟයෙන් ඉවත් වී අනුර කුමාර දිසානායක තරඟයේ සිටියත් පාර්ලිමේන්තුවට පිටතින් මහජනතාවගෙන් මතුවෙන විරෝධය හමුවේ රනිල් වික්‍රමසිංහට ජනාධිපති වීමට ඡන්දය පාවිච්චි කිරීමට පොහොට්ටුවේ බොහෝ මන්ත්‍රීවරුන් මැලි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඩලස් එක්ක කරන සටනේදී පාර්ලිමේන්තුවෙන් පිටත බලයද සමඟ ඩලස් අලහප්පෙරුම ජනාධිපති වීමේ ඉඩකඩක් නිර්මාණය විය හැකියි.එසේ සිතුවද දේශපාලන ලෝකයේ සැරිසරන රහසිගත කතාබහ තුළ තිබෙන්නේ ඩලස් රාජපක්ෂ කල්ලියේ ඉත්තෙකු ලෙස මැතිවරණයේ දී ක්‍රියාත්මක වීමට ඇති ඉඩ කඩක් පිළිබඳවයි. බොහෝවිට ඡන්දය ආසන්නයේ  ඩලස් ඉන් ඉවත් වීමට ද හැකියාවක් ඇතැයි පැවසෙයි.

ජනාධිපති සටනට අනුර කුමාර දිසානායකත් සජිත් ප්‍රේමදාස අවතීර්ණ වෙන්නේ තම තමන්ගේ පක්ෂ සාමාජිකයන්, හිතවතා සනසාලීමේ බලාපොරොත්තුව සහ රනිල් වික්‍රමසිංහ ඩලස් අලහප්පෙරුම කියලා මේ දෙදෙනාගෙන් කාට හෝ ඡන්දය දීමට සිදුවෙන එක වළක්වා ගැනීමටයි. අද පැවති මාධ්‍ය හමුවේදී ජන බලවේගය ප්‍රකාශ කර සිටියේ ඔව් අනුර කුමාර දිසානායක ව ඉදිරිපත් කරන බව පවසා ඒ පිළිබඳව සාකච්ඡා කළත් අනෙකුත් පක්ෂ සමඟ සතුටුදායක එකඟතාවයකට පැමිණෙන්නට නොහැකි වුණු බවයි. ඒනිසා අනුර කුමාර දිසානායක මේ තරගයෙන් ජයග්‍රහණය කරයි කියලා තියන්න පුළුවන් විශ්වාසය ඉතාමත් අල්පයි.

සජිත් ප්‍රේමදාස තරඟයට පිවිස සිටින හෙයින් සමගි ජන බලවේගය ඡන්ද සජිත්ට ලැබුණත් පසුගිය දවස්වල ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සියලු දෙනාගේ ඡන්ද සජිත්ට ලැබේවි කියා විශ්වාසය තියන්න බැහැ. සමහරවිට ඒ ඡන්ද ඩලස් අලහප්පෙරුම සහ සජිත් අතර බෙදී යන තියෙන ඉඩ වැඩියි.

එහෙයින් ජූලි මාසේ විසි වෙනිදා පාර්ලිමේන්තුව තුළ කරන්නට සූදානම් වන සූදුව තුළින් පරාජයට පත්වීමට නියමිතව තිබෙන්නේ රටේ පීඩිත ජනතාව. නොහික්මුණු බලලෝභී දේශපාලකයන් ගේ වියරු බල තණ්හාව හේතුවෙන් හෙට දින රටේ ජනතාව යලි වතාවක් දේශපාලනික වශයෙන් පරාජයට පත් කිරීමට ඉඩකඩ නිර්මාණය වෙමින් තිබේ.

රටේ ජනතාව අරගල කරේ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රෙජීමය පරාජයට පත් කළේ, යලි වතාවක් පාර්ලිමේන්තුව තුළින් නිර්මාණය කරන අර්බුදයක ලැබූ ජයග්‍රහණය ගිල්වා දැමීමට නොවෙයි.

මේ අරගලය තුළ ගොඩනැඟුණු විරෝධතාවයක් තමයි 225ම එපා කියන එක. ඇත්ත වශයෙන්ම ජනතාවගේ ඒ දැක්ම නිවැරදි බව අද පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 සිදුවෙමින් පවතින දේශපාලන සූදුව ඇතුලේ සනාථ කරමින් ඉන්නවා. නැවත වතාවක් රටේ ජනතාවට ඉතිරි වී තිබෙන්නේ පාර්ලිමේන්තුවෙන් පිටත නිර්මාණය කරගන්නා ජනතා බලයක් පමණයි. ජනතා අභිලාෂයන් තුට්ටුවකට මායිම් නොකරන පාර්ලිමේන්තුව කුමක් කරගත්තත් ජනතාව තමන්ගේ බලය ගිලිහෙන්නට නොදී රැකගෙන බලපෑම් සහගතව මේ කරන්නට සූදානම් වන දේශපාලන සූදුව ආපස්සට හැරවීමට මහජන නියෝජිතයන් යයි කියාගන්නා තක්කඩින් 225 අබියස කිටි කිටියේ මිට මොළවා ගත් දෑත් සහිතව සිට ගත යුතුයි.

 

leave a reply