Breaking News

අරාජිකත්වයේ පෙරනිමිති ආමර් වීදියේන් මතුවිය

අද ආමර් වීදියේදී ගෑස් ලොරියක් නවතා බලහත්කාරයෙන් ගෑස් සිලින්ඩර් අරගෙන යන සිද්ධියක් වාර්තා වෙනවා. ටික වේලාවකට පසුව පැමිණෙන පොලිසිය ගෑස් රැගෙන යන්න උත්සාහ දරන ජනතාවට රටේ නීතියක් තිබෙන බව පවසා, ඊට පිටින් වැඩ කිරීම නීති විරෝධී බව ද කියා, ජනතාව අත තිබුණු ගෑස් සිලින්ඩර් උදුරා ගෙන නැවත ලොරියට දමනවා අපි දැක්කා.

මෙවැනි සිදුවීම් හරහා අපට පෙන්නුම් කරන්නේ ජනතාව මත කඩා වැද තිබෙන පීඩනය ඉහළ ගොස් තිබෙන බව,. මේ පවතින තත්ත්වය මේ ආකාරයෙන්ම වර්ධණය වෙමින් ඉදිරියට ගමන් කළ හොත් මෙවැනි සිදුවීම් අපට රට වටෙන්ම ආරංචි වන්නට තිබෙන ඉඩකඩ වැඩියි.  පොදු ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා අද බඩු හිගය. එදිනෙදා වේල කාලා ජීවත් වීමට කෑම හිගය. එහෙයින් මිනිසුන් දකින දේ තියෙන දේ කොතනින් හෝ අර ගැනීමට උත්සාහ දැරීම සමාජයක් හැටියට ඉදිරියට ගමන් කිරීමට හොඳ නැති දෙයකි.

ජනතාවගේ කීමට ඇහුම්කන් නොදී තමන්ගේ බල වුවමනාවන් වෙනුවෙන් තවදුරටත් අල්ලාගෙන සිටින මේ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව  කරමින් තිබෙන්නේ රට තුළ අරාජිකත්වය නිර්මාණය වීමට අවශ්‍ය කරන වටපිටාව සූදානම් කිරීමයි. ජනාධිපතිවරයා කෙරෙහි තිබූ විශ්වාසය ජනතාවට නැතිවී තියෙනවා. ආණ්ඩුව කෙරෙහි තිබූ විශ්වාසය ජනතාවගෙන් ඉවත් වී තිබෙනවා. එසේ තිබෙන තත්වයක් යටතේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ටික අඩුපාඩුවකින් තොරව සපුරා දෙන්නට මේ ආණ්ඩුවට අද බැරි වී තිබෙනවා. ඩොලර් නැතිවීම එසේත් නැත්නම් අපේ රටේ ආර්ථිකය ඍණ අගයක් දක්වා ගමන් කිරීම මේ සකලවිධ ව්‍යසනයන් ගේ කේන්ද්‍රස්ථානයයි . මෙසේ රට ගමන් කරන්නේ අරාජිකත්වයේ දිශාවටයි. මේ වළක්වාගැනීමට හැකි කෙටි මග තමයි ජනතාවගේ හඬට ඇහුම්කන් දී  ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් ඉවත්වීම.

රට අරාජික තත්වයට ඇද දැමීමේ වගකීම භාර ගත යුත්තේ වර්තමාන ආණ්ඩුව සහ ජනාධිපතිවරයායි . පවතින තත්ත්වය තවදුරටත් වර්ධනය වී උත්සන්න වීමට ප්‍රථම ඔවුන් කළ යුත්තේ රට බාර දී වේදිකාවෙන් බැස යාමයි. තවදුරටත් රටේ ජනතාව ඔවුන් කෙරෙහි විශ්වාසය තබන්නට හෝ ඔවුන් අනාගතය නිර්මාණය කරයි කියා බලාපොරොත්තු තබා ගන්නට සූදානම් නැත.

අද මහින්ද රාජපක්ෂට අනුරාධපුරයේදී ජනතාව විරෝධය දක්වමින් හු හඬ එල්ල කරන්නේ තවදුරටත් ඔවුන් කෙරෙහි ජනතාවට කිසිම විශ්වාසයක් නොමැති බව මුහුණටම ප්‍රකාශ කිරීමටයි.   ජනතාව ලබා දෙන පණිවිඩය දැන් ඔවුන් වටහා ගත යුතුයි. ජනතාවගේ කෝපය පාරට පැමිණ තිබෙනවා. නමුත් එය ප්‍රචණ්ඩ වීමට ගත විය හැක්කේ තව  කොපමණ කාලයක් ද කියන එක අපි කාටවත් ගණනය කරන්න බැරි වේවි. මේ පවතින ආර්ථික අර්බුද හමුවේ මිනිස්සුන්ගේ ජීවිත පීඩනයට පත්වන විට එය ඉක්මන් වීමට තිබෙන ඉඩකඩ වැඩියි.

රාජපක්ෂලා ප්‍රමුඛ මේ ආණ්ඩුවට රටට කළ හැකි අවසාන උදව්ව නම් හැකි ඉක්මනින් ජනතාවගේ හඬට ඇහුම්කන් දී රට ජනතාවට බාර දී ඉවත්ව යෑම යි.

leave a reply