පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට ඉදිරිපත් වූ දරුවෙකු ජනාධිපති බොරු කියන බව සඳහන් කිරීමත් සමඟ ආණ්ඩුවට ළමයින් සම්බන්ධ මාධ්‍ය වාර්තාකරණයේදී පිළිපැදිය යුතු මාර්ගෝපදේශ සංග්‍රහයක් එළිදක්වා ඇතැයි සමාජ මාධ්‍ය හරහා මත පලවෙමින් පවතියි.
මේ සඳහා හේතු වූවේ “ළමයා සම්බන්ධ මාධ්‍ය වාර්තාකරණයේදී ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන ජාතික මාර්ගෝපදේශ සංග්‍රහය” හඳුන්වා දී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සැලසුම් හා තොරතුරු අධ්යක්ෂ, නීතිවේදී හා සමාජ විද්‍යාඥ ශානිකා මලල්ගොඩ විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීමයි.
වර්ෂයකට ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි 10,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන පසුබිමක සයිබර් අවකාශය සහ පුරවැසි මාධ්‍යකරණය හරහා දරුවන්ට එල්ල වන නව අවදානම්වලින් ඔවුන් ආරක්ෂා කර සමස්ත පුරවැසි වගකීම තහවුරු කිරීම සඳහා මෙම මාර්ගෝපදේශ සංග්‍රහය හඳුන්වාදෙන බව ඇය සඳහන් කර තිබේ.
ඊයේ (09) දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය පෙන්වාදුන්නේ වර්තමානය වන විට ලිංගික අපයෝජන සහ ළමා කෲරත්වයට අමතරව සයිබර් අවකාශය තුළ දරුවන් අනාරක්ෂිත වීම, යොවුන් ගැබ්ගැනීම් සහ මත්ද්‍රව්‍ය පරිහරණය වැනි නව සමාජ ගැටලු ඉදිරියට පැමිණ ඇති බවයි.
එමෙන්ම වැඩිහිටියන්, වෘත්තිකයන් හෝ පොදු පුද්ගලයන් ලෙස පුරවැසි මාධ්‍යකරණයේ නිරත වීමේදී නොදැනුවත්කමින් සිදුවන වැරදි අවසානයේදී දරුවන්ගේ ආරක්ෂාවට දැඩි ලෙස බලපාන බවද ඇය අවධාරණය කර තිබුණි.
මෙම නව ජාතික මාර්ගෝපදේශ සංග්‍රහය වසර 14ක දීර්ඝ උත්සාහයක අවසන් ප්‍රතිඵලයක් බව සඳහන් කළ මලල්ගොඩ මහත්මිය, 2012 වර්ෂයේදී ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් හඳුන්වා දුන් මාර්ගෝපදේශ අත්පොතෙන් ඔබ්බට යමින් වර්තමාන සමාජ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙය සම්පාදනය කර ඇති බව ඇය පවසයි.
ඒ අනුව පොදු සදාචාරාත්මක මූලධර්ම, අපයෝජන, අපචාර සහ අපරාධ වාර්තාකරණය, ළමා සියදිවි නසා ගැනීම් වාර්තාකරණය, ළමුන් විවිධ වැඩසටහන් සඳහා යොදා ගැනීම යනාදී ප්‍රධාන කාරණා හතරක් මූලික කරගනිමින් මෙම මාර්ගෝපදේශ සංග්‍රහය සකස් කර ඇති බව ශානිකා මලල්ගොඩ සඳහන් කරයි.
1998 අංක 50 දරන පනත මගින් පිහිටුවන ලද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, 2019 වසරේදී ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වූ අතර 2025 වසර වන විට අංශ 10ක දායකත්වය යටතේ පස් අවුරුදු ක්‍රියාකාරී සැලසුමක්ද ඉදිරිපත් කර ඇති බව ඇය සඳහන් කරයි.
කෙසේවෙතත් රූපවාහිනී වෙළඳ දැන්වීම් ප්රචාරණයකට දරුවන් යොදාගැනීම, විවධ වැඩසටහන් සඳහා දරුවන් යොදාගැනීම මෙන්ම දරුවන් සම්බන්ධ තොරතුරු වාර්තා කරණයේදී සීමා පැනවීම අනිවාර්යයෙන් කළ යුතු දෙයකි. නමුත් ඒ පිළිබඳ ආණ්ඩුව පාර්ශවයෙන් කිසිදු සාකච්ඡාවක් නොතියදී මෙවැනි හදිසි මැදිහත්වීම සම්බන්ධයෙන් සැක පහළ වී තිබේ.




