Breaking News

මඩ අවලාද වලට එරෙහිව අන්තරයෙන් පැහැදිලි කිරීමක්

දශක හතක් පුරා මෙරට පාලනය කළ පාලකයන් විසින් සමාජය බරපතල ආර්ථික, දේශපාලනික, සමාජීය අර්බූදයකට ඇද දමා තිබේ. ඒ හේතුවෙන් අදවන විට ජනතාව බරපතල පීඩාවකට පත්ව සිටී. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ එදාවේල සොයාගැනීමටවත් නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. ගෑස්, තෙල්, කිරිපිටි පෝලිංවල මිය ගොස් වැටෙන තෙක් අර්බූදය මෝරා තිබේ. එවන් මො⁣හොතක පවතින පාලන තන්ත්‍රයට එරෙහිව තීරණාත්මක ජනතා විරෝධයක් එල්ල වෙමින් ඇත. රට පුරා විවිධ ප්‍රදේශවල, ගම් නගරවල ජනතාව අරගල බිමට පැමිණ තිබේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අප මෙම අරගලය හමුවේ කොන්දේසි විරහිතව ජනතාවගේ පාර්ශවය තෝරාගනිමු. එසේම ජනතා අරගලය තුළ පවතින විවිධ සීමාකම් ද හඳුනාගනිමින් උපරිම වශයෙන් ඒ සඳහා මැදිහත්වෙමින් සිටිමු.

අරගලය හමුවේ ආණ්ඩුවේ පැවැත්ම අහෝසි වෙමින් පවතින අතර විපක්ෂ කණ්ඩායම් බලය ඩැහැගැනීමේ පොරයක පැටලී සිටී. මෙවන් මොහොතක ජනතා විරෝධය කොල්ලකෑමටත්, බෙදා වෙන්කොට කඩාකප්පල් කිරීමටත් ආණ්ඩුවත්, විවිධ බලලෝභී කල්ලි කණ්ඩායමුත් කුමන්ත්‍රණ දියත් කරමින් සිටියි. ශිෂ්‍ය ව්‍යාපාරයට ඒවා අලුත් අමුතු අත්දැකීම් ද නොවේ.

අරගලය ප්‍රචණ්ඩ කළ යුතු බවත්, ඒ සඳහා අද රාත්‍රියේ එකතුවන ලෙසත් පවසමින් සමාජජාල තුළ අ.වි.ශි.බ.ම කැඳවුම්කරුගේ නම සහිතව හුවමාරු වන සටහන ද එවැන්නකි. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය එවැනි කඩාකප්පල්කාරී මැදිහත්වීම් කිසිවක් අනුමත කරන්නේ නැත. එය ආණ්ඩුවේ හෝ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය සහිතව ක්‍රියාත්මක වන කණ්ඩායමක හෝ වෙනත් පිරිසකගේ කඩාකප්පල්කාරී සැලසුමක් බව පැහැදිලිය. අද රාත්‍රියේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කිසිඳු ක්‍රියාමාර්ගයක් සංවිධානය කර නැත. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග විශ්වවිද්‍යාල සිසුන්, ජනතාව හා ප්‍රගතිශීලී බලවේග සමඟ ප්‍රසිද්ධ තලයේ ගනු ලබන අතර එහි සැඟවුණු අරමුණු කිසිවක් නැත.

පාලකයන්ගේ අවශ්‍යතාව මත ක්‍රියාත්මක වන මෙවැනි ව්‍යාජ ප්‍රචාරයන් හඳුනාගන්නා ලෙසත්, අරගලය කඩාකප්පල් කරන මෙවන් සැලසුම්සහගත කුමන්ත්‍රණ පරාජය කිරීමට දැනුවත්ව මැදිහත්වන ලෙසත් අප සියලු විශ්වවිද්‍යාල සිසුන්ගෙන්, ප්‍රගතිශීලීන්ගෙන් ඉල්ලා සිටිමු.

-අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය –

leave a reply